විපක්ෂයේ කාර්ය හරිහැටි ඉටුකිරීම නිසා පොහොට්ටුවට ආණ්ඩුවක් හදන්න හැකි වුණා | දිනමිණ

විපක්ෂයේ කාර්ය හරිහැටි ඉටුකිරීම නිසා පොහොට්ටුවට ආණ්ඩුවක් හදන්න හැකි වුණා

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලැගුම්දෙණියේ පියරතන හිමි

පසුගිය ආණ්ඩු සමයේ දී විපක්ෂයේ කාර්යභාරය නිසියාකාරව සිදු කළ නිසා වත්මන් ආණ්ඩුව පිහිටුවීමට හැකි වූ බව කැළණිය විශ්වවිද්‍යාලය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලැගුම්දෙණියේ පියරතන හිමියෝ පැවැසූහ.

උන් වහන්සේ මේ බව පැවැසුවේ රාජගිරිය සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ ද පැවැසූහ.

රටකට ප්‍රබල විපක්ෂයක් අත්‍යාවශ්‍යයි. මේ ගැන විපක්ෂයේ මන්ත්‍රීවරුන්, හිටපු ඇමැතිවරුන් එකට එකතු වී සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. එසේ නොමැති වුවහොත් ආර්ථික, සමාජීය, සංස්කෘතික ආදී සෑම අංශයක්ම බිඳ වැටෙනවා. ප්‍රබල විපක්ෂයක් පසුගිය කාලයේ තිබු නිසා ඔවුන්ට ආණ්ඩු බලය ගන්න පුළුවන් වුණා. ඒ වාගේම පසුගිය ආණ්ඩුව බිඳ වැටෙන්න අප්‍රේල් මස 21 වැනි දා බෝම්බ ප්‍රහාරය සහ බැඳුම්කර සිදුවීම විශාල වශයෙන් බලපෑවා.

අද විපක්ෂය ගමට, රටට විශාල වැඩ කොටසක් සිදු කරන්න අවශ්‍යයි. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස මහත්වරුන් එකට එකතු වී කටයුතු කළ යුතුයි. එසේ නොමැතිව ප්‍රබල විපක්ෂයක් හදන්න වෙන්නේ නෑ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කෙනඩි ගුණවර්ධන මහතා

එක් දේශපාලන පක්ෂයක් මත බලය ඒකරාශීවීමක් පෙනෙන්න තිබෙනවා. ප්‍රධාන ආගමික නායකයන් වක්‍රව හෝ සෘජුව මේ සම්බන්ධව දායක වෙනවා. ජනතාව නොයෙක් දේවලට හසුවී තනි පක්ෂයක් බිහි කිරීමට සම්බන්ධ වී තිබෙනවා. මෙහි දී විරුද්ධ පක්ෂය ඉතාම පහළ මට්ටමට දුර්වල වී තිබෙනවා. අද වන විට එක්සත් ජාතික පක්ෂය දෙකට තුනට හතරට කැඩී යෑමේ අවධානමක් ඇති වී තිබෙනවා. තනි පක්ෂයක් විශාල බලයක් ඒකරාශී කර ගැනීමේ දී ප්‍රබල විපක්ෂයක් අවශ්‍යයි. පසුගිය වතාවේ ප්‍රබල විරුද්ධ පක්ෂයක් තිබූ නිසා ඔවුන් බලයට ආවා. නමුත් මෙවර විරුද්ධ පක්ෂය දුර්වල වී ඇණකොටා ගැනීම් දක්නට ලැබෙනවා. ඒ අය තවම ගමට ගිහින් නෑ. ගමේ ජනතාව මුණ ගැසී නෑ. විරුද්ධ පක්ෂය වෙන වෙනම න්‍යාය පත්‍ර ඔස්සේ ගමන් කරන බවක් පෙනෙන්න තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් ජනතාවට සේවය කර නෑ. ප්‍රබල විපක්ෂයක් ගොඩනඟා ගන්න නම් එජාප මන්ත්‍රීවරුන් ගමට ගිහින් ගමේ මිනිස්සු සමඟ කටයුතු කළ යුතුයි.

ඒ නිසා අපි විද්වතුන් ලෙස ඉල්ලන්නේ මේ ගැටලු ඉක්මනින් විසඳන්න පියවර ගන්න. ප්‍රබල විපක්ෂයක් ගොඩනඟා ගත යුතුයි. එසේ නොමැති වුවහොත් එහි ආදීනව අනාගතයේ දී විඳින්න සිදු වෙයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය (විශ්‍රාමික) සිසිර පින්නවල මහතා

රටට ස්ථාවර ශක්තිමත් පාලනයක් සහ පාලකයෙක් අවශ්‍ය බව අපි පිළි ගන්නවා. නමුත් එය සිදු කරන්න හදන ආකාරයේ යම් යම් ගැටලු සහගත තත්ත්වයන් සහ පිළිගන්න බැරි කාරණා තිබෙනවා. ස්ථාවර පාලනයක් කියන්නේ තුනෙන් දෙකක් ලබාගැනීම නොවේ. ඒ කියන්නේ ස්ථාවර ආණ්ඩුවක් කියන දෙයයි. නමුත් රටකට අවශ්‍ය කරන්නේ ස්ථාවර ආණ්ඩුවක් නොවේ. ඊට වඩා පුළුල් රාජ්‍ය සම්ප්‍රදායක්. සමාජ එකඟතාව තුළ රටේ පාලන තත්ත්වයන් ගොඩනඟා ගන්න අවශ්‍යයි.

එහි දී කැළණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සම්පත් රාජපක්ෂ මහතා ද අදහස් පළ කළේය.

චන්දිමා කරුණාරත්න

ඡායාරූපය - සාලිය රූපසිංහ

නව අදහස දක්වන්න