නමේ වටිනාකම | දිනමිණ


 

නමේ වටිනාකම

හොඳින් විමසූ විට පෙනී යන අනෙත් කරුණ වන්නේ ෆිල්ටර් දාගෙන සිටියේ නයනා හා සාමා පමණක් නොවන බව ය. ඉතිරි අය ද තමන්ගේ නෙත්වලට ෆිල්ටර් දමාගෙන සිටි බව ය. නමට නොගැළපෙන චරිත බවට පත් විමට ඒ ෆිල්ටර් ද බලපාන්නට ඇති බව ය. ඔවුන් සියල්ල එකම පවුලක සහෝදර සහෝදරියන් බව ය. එකම මවකගේ දරුවන් බව ය. එකම ජානයකින් පොහොසත් බව ය.

හැම දෙයකට ම නමක් තබන්නට මිනිසුන්ට වුවමනා ය. ඒ හඳුනා ගැනීමේ පහසුවට ය. බොහෝ විට නම් තබන්නේ නම තබන දෙයෙහි යම් ගුණයක් ද සලකාගෙන ය. බුද්ධ ධම්ම සංඝ යන්න නම් කරනු ලබන්නේ තුණුරුවන ලෙසිනි. තුන් රුවණ යනු මැණික් තුනක් යන්න ය.

මිනිසුන්ට නම් තබන්නේ ඔවුන් කුඩා කල ය. ලොකු වූ පසු කවරකු වන්නේ දැයි නොදැන ය. ඒ නිසා කුඩා අවදියේ චරිතය අර්ථවත් කරන නමක් දීම අභියෝගයකි.

අනෙක් අතට කෙනකුට නමක් තබන්නේ එයින් ඒ පුද්ගලයාගේ ජීවිතයට ආලෝකයක් වැටෙතැයි යන අපේක්ෂාව ද ඇතිව ය. ඒ නිසා ආවාට ගියාට නම් තබන්නේ ද නැත. මුලින් කේන්දරය සකස් කොට නමට වඩාත් සුදුසු අකුර සොයා ඒ අනුසාරයෙන් නමක් සොයා ගැනීමේ ක්‍රියාවලිය දිගු ය. ඒ සඳහා මාපියන්ට දින 30 ක සහන කාලයක් ද ලැබෙන්නේ එය එතරම් ම කල් ගත වන වැඩක් නිසා ය.

ඒ වුනාට සමහරු අහන්නේ නමක කුමක් තිබේ දැයි කියා ය. එහෙම අහන්නේ ම සීලවතීලා හැම කෙනෙක්ම සිල්වන්ත නැති නිසා විය හැකි ය.

සමහරු නමට ම ගැළපෙන්නට ජීවත් වෙන නමුත් සමහරු, ඇතැම් සීලවතීලා ද ඇතුළත්ව, නමට අදාළම නැති ජීවිත ද ගත කරන බව ද සත්‍යයකි.

තමන්ගේ ම නම අසන්නට අප බොහෝ දෙනකු කැමති ය. අපේ අනන්‍යතාවය අප ගොඩ නගා ගන්නේ අපේ නම වටා ය. රූපං ජීරති මච්ඡානං නාම ගොත්තං නජීරතී යනුවෙන් පාලියෙන් කියවෙන වාක්‍යයේ තේරුම රූපය දිරුවත් නාමය නොදිරන බව ය. එය සමහර නාමයන් සම්බන්ධයෙන් ඇත්ත වුව ද හැම නමටම අදාළ වන්නේ නැත.

නම ගැන ඇති වූ මේ කුහුල නිසා නමේ බලපෑම සොයා අපි රට වටේ ගියෙමු. පළමුවෙන් හමු වූයේ නයනා ය. ඇයට තිබුණේ ලස්සන ඇස් දෙකකි. පළමු ප්‍රශ්නය ඇයට යොමු කළෙමු.

නයනා

නයනා, ඇයි ලස්සන ඇස් දෙකක් තියාගෙන ඒකෙන් බලන්නෙ නැතුව ෆිල්ටර් එකක් දාගෙන ලෝකය දිහා බලන්නෙ?

මට ඕන මම කැමති දේ විතරක් දකින්න. අනිත් ඒවා දැක්කහම මළ වදයක්. දැන් මෙහෙම ගන්නකො මම අහවලාට කැමතියි. ඉතින් එයාගෙ නුගුණ දැක්කොත් මට ඒ කැමැත්ත අස්කර ගන්න වෙනව. එහෙමකරගෙන ගියහම අන්තිමට කවුරුවත් ම ඉතිරි වෙන එකක් නෑ. කවුරු හරි කෙනකු ඉන්න එපා යැ.

බැලුවහම ඒකත් ඇත්ත ය. බඩගිනි වෙලාවක අපට තෝරා ගැනීමට ඉතිරිව ඇත්තේ හොඳටම ඉදුණු කෙසෙල් ඇවරියකින් නම් ඉතින් තෝරාගත් කෙසෙල් ගෙඩියේ ඇද හොයමින් ලත වීමේ තේරුමක් නැත. එය නරක යැයි ඉවත දැම්මහම වෙන්නේ බඩ ගින්නේ ඉන්න ය. එහෙම බැලුවහම ඔය කියන ෆිල්ටරය අපේ මිතුරෙකි.

හේතු තියෙන්නෙ එච්චර ද? තව අතුරු ප්‍රශ්නයකි.

නෑ. තව තියෙනව සමහර දේවල් දැක්කහම මොනව හරි කරන්න ඕන කියල හිතෙනව. එහෙම ඒව පේන්නෙ නැති ෆිල්ටර් එකක් දා ගත්තහම වැඩේ ඉවරයි.

ඒ මොන වගේ ඒව ද?

අනිත් මිනිසුන්ගේ ප්‍රශ්න. බලවත් මිනිස්සුන් අහිංසක මිනිසුන්ට කරන අඩම්තේට්ටම්. වංචනිකයො කරන බොරු. පූජකයන්ගෙ ආත්ම වංචා. ඔය කොයිවටත් තරහ යනව. ඒ දැක්කොත් නෙ. ෆිල්ටරේ දාගත්තහම ඉවරයි. මුකුත්ම පේන්නෙ නැහැ. ඇහෙන්නෙ නෑ. දැනෙන්නේ නෑ. ඒ නිසා ඒ වගේ දේවල් වෙනුවෙන් මුකුත් ම කරන්න ඕන නෑ. මගේ පාඩුවෙ ජීවත් වෙතෑකි.

ඒ උත්තර දෙක වුනත් ඇති ඇයි ෆිල්ටරේ දාගෙන ඉන්නෙ කියල තේරුම් ගන්න. ඒත් තව හේතු තියෙනව ද?

අපොයි ඔව්. මගේ වැරදි ඒකෙන් පෙරල දෙන්නෙ. ඒ කියන්නෙ ඒව මට පේන්නෙ නෑ. ඒ නිසා මට වෙනස් වෙන්න ඕන වෙන්නෙ නෑ. ඉන්න විදිහටම ඉන්න පුළුවන්. හරි ෂෝක් නෙ.

ඔව් ඇත්තටම වෙනස් වෙන එක අමාරු වැඩක් නේන්නම්. අලුතින් ඉගෙන ගන්න ඕන. පරණ ඒව අත් ඇරල දාන්න ඕන. මළ ලෙඩක් තමයි. හරි ඉතින් එච්චර ද?

අනේ නෑ. තව තියෙනව. අනාගතේ වෙන්න තියෙන දේ එහෙම ඕක දාගත්තහම පේන්නෙ නෑ. හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරල කියල චූන් එකේ ඉන්න පුළුවන්. හෙට අරක වෙයි මේක වෙයි කියල දැන ගත්තහම ආතල් ඉවරයි නෙ.

ඒකත් ඇත්ත නේන්නම්. බලාගෙන ගියහම ෆිල්ටරයක් කීයක් දීල හරි ගත්තට පාඩු නෑ.

තවත් වාසි තියෙනව. වෙලා තියෙනව නම් කියන්නම්.

කියන්න කියන්න අහන්න ආසයි, කියන්න නයනා.

බොරුව රසවත් නම් ඇත්ත වගේ පේනව. ඇත්ත තිත්ත නම් ඒක බොරුව වගේ පේනව. මරු නේද? හැම තිස්සෙම රස විඳ විඳ ඉන්න පුළුවන්. වද වෙන්න දෙයක් නැහැ. මේ ආත්මෙට දුක් වෙන්න, දුක් විඳින්න, සිද්ධ වෙන්නෙ නෑ.

මේක ඉවර වෙන පාටක් නැත. තවත් විසඳාගන්නට දැවෙන ප්‍රශ්න ඇති නිසා අපි ඇයට ස්තුති කොට සමු ගතිමු. මේ ඔක්කොම පැත්තකින් තියලා ෆිල්ටරයක් ගත්ත නම් වැඩේ ඉවරයි කියා සිතමින් ම අපි පය ඉක්මන් කළෙමු.

සාමා

ඊළගට අපට හමුවුණේ සාමා ය.

සාමා, ඔයාගෙ නම හරි ම සෞම්‍ය යි. ඒත් ඇයි ඔයා සාමයටම වෛර කරන්නෙ?

අයියෝ ඔය ගොල්ලො මහ නොන්ජල් පොරවල් නෙ. සාමය හොඳයි මුකුත් කර ගන්න බැරි දුර්වල කබ්බන්ට. සටන කියන්නෙ කොච්චර ආතල් වැඩක් ද? ඔයගොල්ලො ජයගන්නවා කියන එක කවදාවත් විඳලා නෑ මගේ හිතේ. ඒකයි මේ මෝඩ ප්‍රශ්න අහන්නෙ.

ඇය දිගටම කියවා ගෙන යයි.

ජයග්‍රහණය කියන්නෙම සමරන්නට අවස්ථාවක්. ප්‍රීති වෙන්න අවස්ථාවක්. කිරිබත් කන්න සව්දිය පුරන්න ලැබෙන අවස්ථාවක්. යුද්ධය තමයි සැබෑ ජය ගේන්නෙ. මිනිස්සු වඩාත් උද්දාමයට පත් වෙන්නෙ. සාමය කියන්නෙ එහෙම කිසි දෙයක් නැති බෝරිං දෙයක්. වස කම්මැළි එකක්. ඒක හොඳයි දුර්වල මිනිසුන්ට. වයසක අයට. ඇවිදගන්න බැරි අයට. අත පය කැඩුණු අබාධිත වුණු අයට.

සාමාගෙන් ප්‍රශ්න අහන්නට දෙයක් නැත. ඇය ගලන ගඟක් වගේ ය. ජීවය උතුරන වතුර නටන කේතලය වගේ ය.

ඉතිහාසය මතක් කරන කවුරුවත් සාමකාමී කාල ගැන කියනව අහල තියෙනව ද? කියන තරමක් රස කර කර කියන්නෙ යුද්ධ ගැන. රණකාමිත්වය කියන්නෙ ශක්තිය ජවය බය නැති කම එකතු කරල හදපු රස රෙසිපියක්. ඒකෙ රස දන්න මිනිහෙක් නෙවෙයි ගෑනියෙක් වුනත් මුළු ගැන්විල ඉන්නෙ නෑ.

සාමා කියන්නෙ නයනගෙ නිවුන් සහෝදරියක් ද මන්ද? මෙයත් ෆිල්ටරයක් දාගෙන ඉන්නව වගෙයි පේන්නෙ.

එසේ සිතුන නිසා ම මේ ගලන ගඟ නතර කරෙ වේල්ලක් බැඳ මෙවැනි ප්‍රශ්නයක් ඇසීමට අපි කටයුතු කළෙමු.

මේ සාමා, යුද්ධයෙදි මිනිසුන් මැරෙනව. තුවාල වෙනව. අංග විකල වෙනව. පවුල් පිටින් අනාථ වෙනව. දරුවන්ට මාපියන් අහිමි වෙනව. මාපියන්ට දරුවන් අහිමි වෙනව. ඒව ඔයාට පේන්නෙම නැද්ද?

මේ මට වැඩ තියෙනව. චීත්ත ඇඳ ගත්ත මිනිස්සුත් එක්ක කතා කරනවට වඩා වටින වැඩ තියෙනව. කොටින් ම යුද්ධ කරන්න තියෙනව. පරාජය කරන්න තියෙනව. මම අදහන දහම මෙච්චරයි. දින්නෙ නැත්නම් පරදිනව. මට පරදින්න ඕන නෑ.

අපට පෙනුණේ ඇයට දා ඇති නම කොහෙත්ම නොගැළපෙන බව ය. කියන්නට තිබුණේ සාමා කියා නොවේ. ගිනි පුපුර කියා ය. ඒ චරිතය ඒ තරමට ම අවුළුවන සුළු ය.

ධර්මපාල

ඊළගට අපට හමුවුණේ ධර්මපාල ය. ඔහු කොඩියක් ලෙලවමින් කෑ ගසමින් සිටියේ ය.

අන්න බණ පොත වැටිල. මොකද මේ කොඩියක් උස්සගෙන කෑ ගහන්නෙ.

මේක අපට අයිති රට. බුදුන්ගේ දේශය. එක එකාට මේක යටත් කර ගන්න දෙන්න බෑ. ඔයගොල්ලොත් එන්න. එකතු වෙන්න. නිදාගෙන හිටිය ඇති. පරදේසක්කාරයින්ට මේක දෙනව ද නැත්නම් රැක ගන්නව ද?

බණ පොත වැටුණු බවට අප කී කතාව ඔහුගේ දෙසවනට වැටුණේ නැත. වැටී ඇති බණ පොත පැහැදිලිව පෙනෙන්නට තිබුණ ද ඔහුට ඒ දෙස බලන්නට ඉස්පාසුවක් තිබුණේ නැත.

එහෙම තර්ජනයක් තියෙනව ද? අපි ඒ ගැන දැනුවත් නෑනෙ. අපි කීවෙමු.

දැනුවත් නෑ. ඒක තමයි ප්‍රශ්නෙ. ජාත්‍යන්තර කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනව. ඒත් දැනුවත් නෑ. ඉතින් සිංහලයා බෞද්ධයා නිදා ගෙන ඉන්නව කියන්නෙ බොරු ද?

මේ ඉතිහාසයේ සිටි අනගාරික ධර්මපාල තුමා නොවෙතත් වැඩ ඒ වගේ ය. සමාවෙන්න. වැඩ කෙසේ වෙතත් කතාව ඒ වගේ ය. හෙතෙම නමින් ධර්මපාල වීමෙන් නොනැවතී ජාතිය රැක ගැනීමට ධර්මපාල තුමා මෙන්ම ප්‍රතිඥා දී සිටින්නෙකි.

නමේ තේරුම ධර්මය විසින් පාලනය කරනු ලබන හසුරුවන ලබන පුද්ගලයෙකිය යන්න ය. එහෙත් ඔහුව හසුරුවමින් තිබෙන්නෙ බිය විසිනි. රටට ජාතියට විරුද්ධව කුමන්ත්‍රණකාරයින්ගෙන් ඒ දෙකට අවැඩක් වෙතැයි යන බියෙන් ඔහු පෙළෙන්නේ ය. ඔහුගේ ජීවිතය ම සකස් වී ඇත්තේ ඒ බිය මත ය.

ඔහු විසින් අමතක කර දමා තිබුණු බිම වැටී පෑගෙමින් තිබුණු බණ පොත අහුලා ඔහුට පිළිගැන්නුවෙමු. එවෙලේ ආ හුළඟකින් කොඩිය ආම්බාම් කර ගත නොහැකි වූ ඔහු බණ පොතින් නෙත් ඉවතට ගෙන නැවතත් කොඩිය දෙස බැලුවේ ය.

කුඩාපොල හාමුදුරුවො සුද්දන්ට කෑ ගහල නැවත ඔසවපු කොඩිය, අපේ අභිමානය. ඔහු අපට ඇසෙන සේ තමාට ම කියා ගත්තේ ය.

බණ පොත පැත්තකින් තියන්න. අප බණ පොත ඔසවා ගෙන ඔහු වෙත දික් කරමින් ඉන්නා බව දැන ඔහු නැවතත් කීවේ ය.

ධර්මයට අනුව මම ය මාගේ ය යන්න හිතළුවක් පමණ ය. ඒවා සම්මුති සත්‍යය මිසක සැබෑ සත්‍යය නොවේ. ඒ ගැන යමක් කියන්නට හැකි දැයි අපි ධර්මපාලගෙන් ඇසුවෙමු.

ධර්මයේ හැසිරෙන්න කලින් ඒ ධර්මය රැකල ඉන්න ඕන. බොහෝ දෙනකුට ඒක තේරෙන්නෙ නෑ. ඒ ධර්මපාලගේ පිළිතුර ය.

බුදුන් වහන්සේ තමන්ගේ ධර්මය සසරින් එතෙර වෙන පහුරක් හැටියට සලකන ලෙස උපදෙස් දී ඇති බවත් ගඟකින් පහුරක් යොදා ගෙන එතෙර වූ යමෙක් ඒ පහුර කර තබා ගෙන නොයන්නා සේ ධර්මයට ද නොඇලී අතහැරිය යුතු බවත් දේශනා කර ඇති බව අපි ඔහුට මතක් කළෙමු.

පළමුව ධර්මය රැකගන්න. දෙවනුව ධර්මයේ හැසිරෙන්න. ප්‍රමුඛතාවය හදාගන්න. වරද්ද ගන්නෙ නැතිව.

ධර්මපාල සමග ධර්මය කතා කිරීම ඵල රහිත බව තේරුම් ගත් පසු ඔහුට නිවන් සුව පතමින් ඔහුගෙන් වෙන් වුණෙමු. නිවන් සුව පැතීමෙන් ඔහු සැලී ගිය බව දැනුණ නමුත් ගිය නුවණ ඇතුන් ලවා වත් නැවත අද්දා ගත නොහැකි නිසා ඒ බව අමතක කොට අපි මාරු වුනෙමු. ධර්මයේ පරම සැපත ලෙස නිවන දක්වා තිබුණ ද පොදු ජනයා නිවන් සුව පතන්නේ මැරුණ මිනිසුන්ට බව අපට අමතකව ගියේ කෙසේ ද?

මෙත්තානන්ද

අපට ඊළගට හමුවුණේ මෙත්තානන්ද ය. ඒ ඔහු වැටෙන් මෙපිට සිට අල්ලපු වැටේ ඉන්නා එකාගෙන් ගේම ඉල්ලා සිටි මොහොතක ය. නහර වැල් කැඩෙන තරමට පුප්පාගෙන ඔහු බණිමින් සිටියේ ය. දන්නා සියලු පරුෂ වචනයෙන් බණිමින් සිටියේ ය. ලෝස් නැතිව බණිමින් සිටියේ ය.

සුභ දවසක්. ඔහුව මේ ලෝකයට කැඳවමින් අපි ආශිංසනය කළෙමු.

සුභ! හොඳ සුභ! මේ වගේ හොරිකඩයො අසල් වාසීන් වුනහම සුභ වෙන්නෙ කොහොම ද? පර හැත්ත. මුන්ව තොලොංචි කරල දාන්න ඕන.

ඇයි මෙත්තානන්ද මහත්තයා ඔය තරමට තරහ ගිහිල්ල තියෙන්නෙ අහවල් දෙයකට ද? ඔහුගේ ප්‍රශ්නය තේරුම් ගැනීමේ අභිප්‍රායෙන් අපි විමසුවෙමු.

තරහ යන්නෙ නැද්ද? පිටගම් කාරයො මෙතැන ඇවිල්ල දැන් මුදුනො වෙන්න දඟලනව. මේක අපේ ගම. මුන් මේ ඊයේ පෙරේදා ආපු උන්. ඔහු තවමත් දත් මිටි කන්නේ ය.

අවුල පැහැදිලි නැත. මෙත්තානන්ද එය අපට පැහැදිලි කර දෙන්නේ ද නැත. අපට ඇසෙන්නට ලැබුන දෙයින් පැහැදිලි වන්නේ එක් දෙයකි. මෙත්තානන්දගේ ප්‍රශ්නය අනෙක් පාර්ශ්වය පිටගම්කාරයින් වීමට ය. පිටගම්කාරයින් පිටගම්කාරයින් විදිහට ඉන්නේ නැතුව මුදුණන් වීම ය.

එය කෙසේ කවර ආකාරයකින් වුණා දැයි මෙත්තානන්ද අපට කියන්නේ නැත. පිටගම් කාරයා පේන්න හිටියේ නැත. වෛරය උතුරන මෙත්තානන්දගේ පරුෂ වචනයට පිටගම්කාරයාගේ පැත්තෙන් ප්‍රතිචාරයක් ලැබුණේ ද නැත. මෙත්තානන්දට ද දැන් ඇති වෙලා වගේ ය.

නයනාට නමටම ගැළපෙන ලස්සන ඇස් දෙකක් තිබුණු නමුත් ඇය එය නිසි ලෙස භාවිතා කළේ නැත. සාමාට සෞම්‍ය නමක් තිබූ මුත් ඇය සාමය ප්‍රිය කළේ නැත. ධර්මපාල ද ධර්මය මායිම් කළේ නැත. ඔහු කළේ එය ආරක්ෂා කිරීමට තමන් දන්නා එකම දේ කිරීම පමණ ය. මෙත්තානන්ද සම්බන්ධයෙන් ද වැඩ කරන්නේ නමේ ප්‍රතිපක්ෂය ය. අපේ ප්‍රශ්න හැමටම යොමු කරන්නට උත්සහ කළේ නමේ තේරුම ද මතු කරමින් නිසා මෙත්තානන්දට වෙනසක් නොකරන්නට තීරණය කළෙමු.

ඔබතුමාගෙ නමේ තේරුම?

මෛත්‍රියට ආදරේ කියන එක නොවැ. ඒ වුනාට මහත්තයො කාට මෛත්‍රිය කළත් මුන්ට නම් මෛත්‍රිය කරන්න බෑ. බණ පොතේ තියෙන්නෙ සිල් ගත්ත ණයාව අන්තිමට දර මිටියක් බඳින්න යොදා ගත්ත කියල. ඒ නිසා පෙනේ පුප්පන්න ඕන. නැත්නම් මුන් .....

ඉතිරි ටික ඔහු ගිල ගත්තේ ය. ඒ ගිල ගත්ත ස්වරූපයෙන් පෙනුණේ අප වැනි ආගන්තුකයින් නොවන්නට ඔහු අතින් කුණු හරුප පවා කියවෙන්නට ඉඩ තිබූ බව ය.

ධර්මපාලට වඩා මෙත්තානන්ද ධර්මය දන්නේ ය. මෛත්‍රිය නොදන්නා වුව ද ධර්මය දන්නේ ය. මෙතැන ඇත්තේ නම්වල අවුලක් පමණ ද?

පොදු ගුණාකාරය

මේ සම්මුඛ සාකච්ඡාවලින් තහවුරුව ගිය එක දෙයක් නම් නමක ඒ හැටි අරුතක් නැති බව ය. නමේ හැටියට මිනිසුන් ජිවත් වන්නේ නැති බව ය. ඒවාට අපේ ජීවිතවලට එහෙමට බලපෑමක් කළ නොහැකි බව ය. ඒවා නිකම් වචන පමණක් බව ය. හඳුනාගැනීමේ ලේබල් පමණක් බව ය.

බෞද්ධ යැයි තමන්ව හඳුන්වා ගන්නා බොහෝ දෙනා තුළ බෞද්ධ හැදියාවවත් නැත්තේ ද බුදුන්ගේ දේශය යැයි කියන රට තුළ බුදුන්ව පිටු දැක ඇත්තේ ද ඒවා කොහේ හෝ අලවනු ලබන අරුත් සුන් ලේබල් පමණක් වීම නිසා යැයි ඒ අනුව අපට තවදුරටත් නිගමනය කළ හැකි ය.

හොඳින් විමසූ විට පෙනී යන අනෙත් කරුණ වන්නේ ෆිල්ටර් දාගෙන සිටියේ නයනා හා සාමා පමණක් නොවන බව ය. ඉතිරි අය ද තමන්ගේ නෙත්වලට ෆිල්ටර් දමාගෙන සිටි බව ය. නමට නොගැළපෙන චරිතයන් බවට පත් විමට ඒ ෆිල්ටර් ද බලපාන්නට ඇති බව ය. ඔවුන් සියල්ල එකම පවුලක සහෝදර සහෝදරියන් බව ය. එකම මවකගේ දරුවන් බව ය. එකම ජානයකින් පොහොසත් බව ය.

ප්‍රශ්නයක් ලෙස ඉතිරි වන්නේ ලේබල්වල අර්ථයට පිටුපාන මිනිසුන්ට ලේබල් පමණක් වටින්නේ කෙසේ ද යන්න ය. ඇතැම් තැනක ලේබල් වෙනුවෙන් මරාගෙන මැරෙන්නට පවා මිනිසුන් ඉදිරිපත් වන්නේ ඇයි ද යන්න ය. සමහර විට ඊට උත්තරය ඇත්තේ ඔවුන් පැළඳ ගෙන ඉන්නා ෆිල්ටර්වල ය. ලේබල් වටින්නේ ෆිල්ටර්වලින් බලන නිසා විය හැකි ය.

මාපිය ගුරුවරුන් හා මුල් ළමා විය සංවර්ධන අවදියේ දී සමාජය ද විසින් උරුම කර දී ඇති විශ්වාසයන්ට හුරු පුරුදු හා ඇබ්බැහිකම්වලට ඔවුන් ඇලී සිටීම හේතුවෙන් මේ ෆිල්ටර් සැකසී ඇතැයි අපට අනුමාන කළ හැකි ය. ඒවා කොතෙක් ශරීර අභ්‍යන්තරයට කා වැදී ඇද්ද යත් තමන් ෆිල්ටරයක් පැළඳ සිටින බවවත් මේ අයට අවබෝධ නොවනවා ද විය හැකි ය. .

නව අදහස දක්වන්න