දුෂ්කර ක්‍රියාවක් | දිනමිණ

දුෂ්කර ක්‍රියාවක්

දිමුතු චින්තක

මේක ප්‍රහසනය  අන්තර්ගත වෙලා තියෙන දේශපාලනික කතා පුවතක්.  නමුත් ප්‍රහසන  නාට්‍යයක පවතින සාම්ප්‍රදායික  විහිළුවලට  එහා ගිය සමාජ  පණිවිඩයක් රැගත් අතිශයෝක්තියෙන් තොර සාමාන්‍ය  ජීවිතය තුළ අප  අපටම සිනාසිය යුතු තැන් මතු කරන නිර්මාණයක්.

දක්ෂ රංගන ශිල්පියකු වන දිමුතු චින්තක ගේ කුළුඳුල් වේදිකා නාට්‍ය නිර්මාණය "දෙන්නෙක් නෑ එක්කෙනෙක්" මේ මස මස 31 වනදා සවස 3ට සහ 6.30ට කොළඹ ටවර් රඟහලේදී වේදිකාගත වේ.

දශක තුනකට අධික රංගන ජීවිතය අතරතුර ඔබ නාට්‍ය නිෂ්පාදනයට ඇවිත්. මේ ප්‍ර වේශය ගැන කතා කලොත්?

මගේ කුළුඳුල් නාට්‍ය නිෂ්පාදනය "දෙන්නෙක් නෑ එක්කෙනෙක්" බොහෝ කාලයක් සිට තිබූ අදහසක්. රංගන කටයුතුවල යෙදී සිටිය දී මගේම නාට්‍යයක් නිර්මාණය කිරීම ගැන බොහෝ දෙනා විමසුවත් ඒ සඳහා මූල්‍යමය දායකත්වය දක්වන්නට කෙනෙක් සොයා ගැනීම පහසු වුණේ නෑ. ඒ නිසාම ඒ අදහස ටිකෙන් ටික කල් ගියා. අනුරාධපුර මැදි විදුහලේ මාත් සමඟ එකට අධ්‍යාපනය ලබා, දැන් සන්කෙන් ඉංජිනේරු සමාගමේ ව්‍යාපෘති කළමනාකරුවෙක් ලෙස කටයුතු කරන ලීලසිරි උපාලි මගේ මිත්‍රයා නාට්‍යයක් නිර්මාණය කරන්නට අවශ්‍ය කරන මූල්‍යමය දායකත්වය ලබාදෙන්නට ඉදිරිපත් වුණා.

"දෙන්නෙක් නෑ එක්කෙනෙක්" නාට්‍ය නිර්මාණය වන්නේ වසර තුනක් තිස්සේ මා හිත තුළ නිර්මාණය කරගත් කතාවක් ඇසුරෙන්. මෙහි පිටපත සකස් වුණේ රාජ්‍ය සම්මානලාභී පිටපත් රචක පොළොන්නරුවේ ඩී. කේ ආටිගල අතින්. මම සිතින් නිර්මාණ්‍ය කළ සම්පූර්ණ කතාව ඔහුට ප්‍රකාශ කළ පසු ඔහු මට අවශ්‍ය ආකාරයට මෙහි පිටපත් සකස්කර දුන්නා. අනුරාධපුරයේදී පැවැත්වුණු මුහුරත් උළෙලකින් පසුව 2019 ඔක්තෝබර් 31 නාමෙල් මාලනී පුංචි තියටර් හිදී "දෙන්නෙක් නෑ එක්කෙනෙක්" මුලින්ම වේදිකාගත වුණා. නොවැම්බර් මාසයේ 26 අනුරාධපුරයේදී රඟදැක්වුණු "දෙන්නෙක් නෑ එක්කෙනෙක්" නාට්‍යයට සිතා ගන්නත් බැරි තරම් විශාල ජනතා ප්‍රතිචාරයක් හිමි වුණා.

මේ සඳහා තේමා කර ගත්තේ?

මේක ප්‍රහසනය අන්තර්ගත වෙලා තියෙන දේශපාලනික කතා පුවතක්. නමුත් ප්‍රහසන නාට්‍යයක පවතින සාම්ප්‍රදායික විහිළුවලට එහා ගිය සමාජ පණිවිඩයක් රැගත් අතිශයෝක්තියෙන් තොර සාමාන්‍ය ජීවිතය තුළ අප අපටම සිනාසිය යුතු තැන් මතු කරන නිර්මාණයක්.

"දෙන්නෙක් නෑ එක්කෙනෙක්" බොහෝ දුෂ්කරතා මත නිර්මාණය වූ නාට්‍යයක් බව ඔබ සඳහන් කළා?

මගේ කලා ජීවිතයේ ගෙවුණු වසර තිස් දෙකම මා කටයුතු කළේ මා ජීවත් වූ අනුරාධපුර ප්‍රදේශයේ සිටයි. මේ නාට්‍යය නිර්මාණය කරන්නෙත් අනුරාධපුරයේ සිට. මෙහි රංගන කටයුතු සඳහා කොළඹ සහ අනුරාධපුරය ප්‍රදේශ දෙකෙහිම රංගන ශිල්පීන් දායකත්වය දක්වනවා. දුර බැහැර බව හේතුවෙන් පුහුණුවීම් කටයුතුවලදී දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදුවුණා. වර්තමාන කලාකරුවන් ආර්ථිකය සමඟ තරග වදින්නට සිදුවීමත් සමඟ මෙහි පුහුණුවීම් සිදුකළේ ඉතාම අසීරුවෙන්.

ළමාවියේ සිටම යම් කිසිවක් ආරම්භ කළහොත් එය අතරමග අතහැර දැමීමේ පුරුද්දක් මට ඇත්තේ නැහැ. ඒ නිසාම කොතෙක් දුෂ්කරතා මැද වුවත් මම නාට්‍යය ඉදිරියට රැගෙන ආවා. ඇතැම් අවස්ථාවල මට මෙය අතහැර දමන්නට පවා සිතුණු වාර තිබුණා. තමුත් මා තුළ වූ නොසැලෙන විශ්වාසය සහ ධෛර්යය මෙම නාට්‍ය මෙතෙක් දුරට රැගෙන ආවා. මගේ ශිල්පීන් පිරිසත් හැකි උපරිම මට සහාය ලබා දුන්නා.

ඔබේ රංගන ජීවිතය පිළිබඳවත් යමක් සඳහන් කළොත්?

මම රංගනයට සඳහා අවතීර්ණ වන්නේ පාසල් අවධියේ සිටමයි. මගේ වෘත්තිය ගුරු භූමිකාව වුණත් ජීවිතයේ වැඩි කාලයක් රංගන කටයුතු සඳහා මම යොදවා තිබෙනවා. කොළඹ ප්‍රදේශයේ ඉපදුණත් මම ජීවත් වුණේ සහ අධ්‍යාපනය ලැබුවේ අනුරාධපුර ප්‍රදේශයේ. උසස් අධ්‍යාපන කටයුතු සිදු කළ අනුරාධපුර මැදි විදුහලේ දී රංගන කටයුතු සඳහා යොමු වී ඉතා දිගු දුෂ්කර ගමන් මගක් ඔස්සේ මේ දක්වා පැමිණියා. මම දිගටම රංගන කටයුතුවල යෙදුණේ අනුරාධපුර ප්‍රදේශයේම පදිංචි වී සිටින අතර. වන්නි වේදිකා නාට්‍ය සංගමයෙන් ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ වී ඇරඹුණු ගමන මේ වනවිට සසාරා නමින් මගේම වේදිකා නාට්‍ය පාසලක් පවත්වාගෙන යන තැනට පැමිණ තිබෙනවා.

කැළණි පාලම, ජයසිරිට පිස්සු, මායාදේවි ඇතුළු ජනප්‍රිය වේදිකා නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වී තිබෙනවා. වන්නි වේදිකා සංගමය මඟින් කරන ලද බොහෝ නාට්‍ය සඳහා උතුරු මැද කලාපයේ සම්මාන ලබා ගන්නට මා ඇතුළු කණ්ඩායමට හැකි වුණා .

ටෙලි නාට්‍ය 188ක්, චිත්‍රපට තිස්තුනක් ඇතුළු තවත් නිර්මාණ බොහෝ ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. කොළඹ ප්‍රදේශයේ පදිංචි වන්නට තිබූ අකැමැත්ත හේතුවෙන්ම වසර ගණනාවක් පුරා කිලෝමීටර් 19 ලක්ෂයකට අධික ප්‍රමාණයක් අනුරාධපුරයේ සිට කොළඹට කොළඹ සිට අනුරාධපුරට ගමන් කරමින් ලක්ෂ විසිපහකට අධික මුදල් ප්‍රමාණයක් වැය කරමින් තවමත් මම මේ කලා ජීවිතය තුළ රංගන ශිල්පියකු ලෙස දුෂ්කරක්‍රියා කරනවා.

දිල්රූ ජයසේකර

නව අදහස දක්වන්න