තුන් කල් දුටු සංගීතවේදියා ආචාර්ය ප්‍රේමසිරි කේමදාස | දිනමිණ

තුන් කල් දුටු සංගීතවේදියා ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

පසුගිය 25 දිනට යෙදුණු ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ  අසූ තුන්වෙනි ජන්ම දිනය නිමිත්තෙනි.

චිත්‍රපටයකට සංගීතය අවශ්‍යද ? විශිෂ්ට චිත්‍රපට සංගීතය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද ? චිත්‍රපට සංගීතයේ ඉතිහාසය හා විකාශනය පිළිබඳව විග්‍රහ කළ හැක්කේ කවරාකාර න්‍යායාත්මක පදනමක පිහිටා ගෙනද ?

චිත්‍රපටයක ආඛ්‍යාන ව්‍යුහය තුළ කවර මෙහෙවරක් ඉටු කරන්නේද ? ආචාර්ය ප්‍රේමසිරි කේමදාසන් සිය සංගීත ගමන් මඟ තුළ පිළිතුරු සෙවූ ගැටලු කිහිපයකි.

සෞන්දර්යාත්මක වශයෙන් චිත්‍රපටය කෙබඳුද? සෞන්දර්යාත්ම හා දෘෂ්ටිවාදාත්මකව සලකා බැලීමේදී චිත්‍රපටයක සංගීතය, හඬපටය කවරාකාර අරමුණු ඔස්සේ නිෂ්පාදනය වන්නක් ද ? යන්න විමසා බලන්න ආචාර්ය කේමදාසයන් අපේ සමාජය තුළ කතිකාවක් ගොඩ නැගීය.

පසුගිය දශක කිහිපය තුළ මනෝ විශ්ලේෂණාත්මක මෙන්ම මාක්ස්වාදී හා සංස්කෘතික න්‍යාය අතර දෝලනය වූ දේශීය චිත්‍රපටය තුළ චිත්‍රපට සංගීත සාධකය අමතක කරනු ලැබූ බව ආචාර්ය ප්‍රේමසිරි කේමදාස පෙන්වීය .

චිත්‍රපට සංගීතයේ සෞන්දර්යාත්මක ගුණය දිනෙන් දින කතාබහට ලක්වුවත් සංගීතවේදීන් සංගීතඥයන් මෙන්ම ප්‍රේක්ෂකයන්ද චිත්‍රපට සංගීතයේ අනන්‍යතාවය තහවුරු කිරීම පිළිබඳ නිරන්තර පර්යේෂණයක අධ්‍යයනයක සිටිය යුතු බව ඔහු තවදුරටත් පෙන්වා දුනි.අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටුවා තිබෙන Los Angeles society for preservation of film music එබඳු සංවිධානයකි. ඇකඩමියාව තුළ චිත්‍රපට සංගීතය ප්‍රධාන විෂය ධාරාවක් බවට පත් විය යුතු බව ඔහුගේ අදහසය.

ශුද්ධ කලාව හා සංයුක්ත කලාව අතර වෙනස පැහැදිලි කර ගැනීමේදී සිනමාව නියෝජනාත්මක නොවන කලාවක් ලෙසත් සංගීතය කේවල නියෝජනාත්මක කලාවක් විදිහටත් විග්‍රහ කළ හැකිබවත් කේමදාසයන්නේ මතය වීය.

ආචාර්ය කේමදාසයන් සිය සෘජු අදහස් වෙනුවෙන් පෙනී සිටියේය. චිත්‍රපටයේදී සංගීතය චිත්‍රපටයේ එන රූප වියමන හා ආඛ්‍යාන ව්‍යුහය සමග අන්තර් සම්බන්ධතාවක් ඇතිකරගැනීම වැදගත්ය. චරිත හා එම චරිතයන්ගෙන් ප්‍රකට කෙරෙන සන්නිවේදනය ඇතුළත් සමස්ත ආඛ්‍යානය චිත්‍රපටයත් සංගීතයත් එකිනෙකින් වෙන් නොවූන ආත්මිය ජීවිතයක් අත්පත් කර දෙන බව කේමදාස අපට විටෙක ප්‍රකාශ කරයි.

සිනමාවේ ආත්මීය රිද්ම සංගීතය වේ. චිත්‍රපටයේ වියමන හෝ ආඛ්‍යාන ව්‍යුහය හෝ සමඟ ඒකාත්මික වීම නිසා චිත්‍රපට සංගීතය, චිත්‍රපටයෙන් වෙන්කොට ආස්වාදනය කිරීමේ හැකියාව පිළිබඳ ගැටලුවක් පවතින බව ඔහුගේ අදහස විය.

චිත්‍රපටයේ වියමන විසින් මතු කරන අර්ථ චිත්‍රපටයේ සංගීතය, හඬ පටය වෙන්කොට අසා රස විඳීමේදී උද්දීපනය නොවේ. ආඛ්‍යානමය චිත්‍රපටයක සංගීතයද ආඛ්‍යානමය ස්වරූපයක් ගන්නා බවත් චිත්‍රපට සංගීතය චිත්‍රපටයෙන් බාහිරව නැතහොත් විවෘතව රසවිදීමේදී එය ආඛ්‍යානමය නොවන සංගීතයක් බවත් ඔහුගේ අදහස විය.

චිත්‍රපට සංගීතය වූ කලී චිත්‍රපටය තුළ පිළිබිඹු කරන අවස්ථා කෙරෙහි නැඹුරු වූ භාවික හා නාටකීය ප්‍රති ධ්වනියකි. එකී අවස්ථාවලදී පවතින නිසර්ග ගුණවලින් මතුවන්නකට වඩා සංගීතය හා ප්‍රතිරූප ශබ්ද අතර පවතින අපොහාත්මක සම්බන්ධතාවය මත උපදින්නකි. චිත්‍රපට සංගීතය චරිත හා පසුතල පිළිබඳ ප්‍රේක්ෂක හැඟීම් තීව්‍ර කරන කාලය හා අවකාශය පිළිබඳ සහෘද සංජානනය කෙරෙහි බලපෑමක් ඇති වේ. චිත්‍රපටයේ ආකෘතිය නැතහොත් සන්දර්භයේ පැවැතිය යුතු සුසංයෝගීතාව හා අඛණ්ඩතාව සුරකින එමෙන්ම හඬ පටයේ එන අනෙකුත් ශබ්ද පිළිබඳ සංවේදී මෙවලමක් බවටත් වේ.

ඒ සංගීතය චිත්‍රපටයක සජීව කේන්ද්‍රීය කොටසක් බවට පත්වීමට නම් නිෂ්පාදකවරයා, තිර නාටක රචකයා ,අධ්‍යක්ෂකවරයා ,නළු නිළියන් කැමරා ශිල්පියා, කලා අධ්‍යක්ෂකවරයා, ශබ්ද පටිගත කරන්නා හා ප්‍රධාන සම්මාදම් කරුවන් සියලු දෙනා සමග සංගීත අධ්‍යක්ෂකවරයා අවබෝධාත්මක සම්බන්ධතාවක් ඇතිකර ගතයුතු යැයි ජොර්ජ් මැනුවල් වැනි විචාරකයන් විසින් අවධාරණය කරයි.

ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් නිතැතින්ම මෙරට සිනමා සංගීතය පිළිබඳව සම්මර්ශනය දී දේශීය සිනමා පඨිතය තුළ දෘශ්‍යමාන පෘථුල සාධකයක් බව ට පත්වන්නේ අවිවාදයෙනි.

 

ෂර්ලි සමරසිංහ

 

නව අදහස දක්වන්න