රන්ජන් රාමනායක කළ යුත්තේ අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමයි | දිනමිණ

රන්ජන් රාමනායක කළ යුත්තේ අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමයි

පාර්ලිමේන්තුවේ මත්ද්‍රව්‍ය භාවිතකරන මහජන නියෝජිතයන් සිටිනවා නම් රන්ජන් රාමනායක මහතා කළ යුත්තේ වහා අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීම මිස මාධ්‍ය ඉදිරියේ අසත්‍ය ප්‍රකාශ කිරීම නොවන බව සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ නායක නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ප්‍රකාශ කළේය.

2019-02-11 දින රන්ජන් රාමනායක මහතා මත්කුඩු භාවිතකරන පුද්ගලයන් පාර්ලිමේන්තුවේ සිටින බව ප්‍රකාශ කළ නිසා සත්‍ය ගවේෂකයෝ සංවිධානය 2019-02-17 දින නඩුවක් ගොනුකළ බවත් එහිදී පොලිසියට රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කර ඇත්තේ නිවැරැදි ශාක්කි නොමැතිව එම ප්‍රකාශය කළ බවයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා,

රන්ජන් රාමනායක මහතා කියනවා එතුමා කුඩු කාරයෝ අල්ලන්න තමයි උපාය දූතිකාවක් ලව්වා සාකඡ්චා කළේ කියා. වසර හතර හමාරක් ඔහු බලයේ සිටියත් ඔවු කිසිදු කුඩු කාරයෙක් අල්ලා නෑ. කුඩු කාරයෝ අල්ලනවානම් ඒ සඳහා තිබෙන හොඳම අවස්ථාව නීතිමය ක්‍රමයට අධිකරණය මඟින් විමර්ශනය කිරීමයි. එයා මාධ්‍ය ඉදිරියේ කියනවා මත්කුඩු භාවිත කරන අය පාර්ලිමේන්තුවෙත් ඉන්නවා කියා. කුඩු කාරයෝ ගැන සොයනවා කිව්වත් කවුරුත් අල්ලා නෑ මේ වන තුරු.

රන්ජන් රාමනායක මහතා මත්කුඩුකාරයන් ගැන කියන්නේ 2019-02-11දින. ඉන්පසුව සත්‍ය ගවේෂකයෝ සංවිධානය ඒ සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කළා 2019-02-17 වැනිදා. ඉන්පසුව අධිකරණය සංවිධානාත්මක අපරාධ ඒකකය විසින් විමර්ශන ආරම්භ කර B11/830/1/2019 යනුවෙන් නඩුවක් ගොනුකරනවා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ.

දිගින් දිගටම මේ නඩුව සම්බන්ධයෙන් විමර්ශනය ආරම්භ කිරීම සඳහා 84 අංක 16 දරන විෂ වරද අභිං සහ අන්තරාදායක ඖෂධ සංශෝදන පනතේ 54අ, 54ඈ, 54ආ වගන්ති යටතේ විමර්ෂණ ආරම්භ කළා. රන්ජන් රාමනායක මහතා රූපවාහිනී නාලිකාවල සහ පුවත්පත්වලට සඳහන් කළා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කැබිනට් ඇමතිවරුන් සිටිනවා කියා. සත්‍ය ගවේශකයෝ සංවිධානය පැමිණිල්ලක් ඉදිරිපත් කළා මත්ද්‍රව්‍ය භාවිත කරන ඇමතිවරුන් සඳහන් කරන්න ඒ මඟින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අල්ලන්න පුළුවන් වෙයි කියා.

අපි දැමූ නඩුව යටතේ පොලිසියෙන් රන්ජන් ඇමතිවරයාට දිගින් දිගටම දැනුම් දෙනවා මත්ද්‍රව්‍ය භාවිත කරන ඇමතිවරුන් දැනුම් දෙන්න කියා. බැරිම තැන පොලිසියෙන් රන්ජන් රාමනායක මහතාට කිව්වා ප්‍රකාශයක් ලබානොදුන්නොත් අධිකරණයට දන්වන්න වනවා කියා. ඒ අනුව 2019-08-21 දින රන්ජන් රාමනායක මහතාගේ නිවසට ගොස් පොලිසියෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නවා. ඒ වෙලාවේ රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තුවෙයි, මාධ්‍යවලටයි හිතේ තිබෙන දෙයක් කිව්වේ, නිකමට කිව්වේ, නිවැරැදිව සාක්කි ඇතුව කිව්වා නොමෙයි කියා. ඒ නිසා අද වන විට නඩුව උසාවියෙන් ඉවත්වී තිබෙනවා. රන්ජන් රාමනායක රටට විශාල බොරුවක් කළේ කුඩු කාරයෝ සිටිනවා කියා. අපි එතුමාට අඩිතාලම දමා දුන්නා මත්කුඩු භාවිත කරන පාර්ලිමේන්තුවේ නියෝජිතයන් අධිකරණයට ඉදිරිපත් කරන්න. ඔහු සම්පූර්ණයෙන්ම බොරු කියනවා.

අසේල ලියනගේ

නව අදහස දක්වන්න