යළි ඩෙංගු අවදානමක් | දිනමිණ

යළි ඩෙංගු අවදානමක්

මේ වනවිට ඩෙංගු රෝගීන් 27 245 ක් සහ ඩෙංගු මරණ 42ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී පසුගියදා (12) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මේ කරුණු අනාවරණය විය.

ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් 2023 වන විට ඩෙංගු රෝගීන් සියයට පනහකින් අඩු කර ගැනීමට සහ මරණ අනුපාතය සියයට දශම එක දක්වා අඩු කර ගැනීමේ වැඩපිළිවෙලක් ද සක්ස කර තිබෙන බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂක වෛද්‍ය අනුර ජයසේකර මහතා පැවසී ය.

2023 න් පසුව ලංකාවෙන් ඩෙංගු තුරන් කිරීම දක්වා වූ වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාව පවතින බවත් එයට මේ වනවිටත් ජනාධිපති කාර්ය සාධන බලකාය සමඟ එක්ව දීර්ඝ කාලීන සැලසුම් සකස් කරන බවත් පෙන්වා දුන්නේ ය.

ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පවතින අයුරින් සිදුකෙරෙන ඉදිකිරීම් ක්ෂේත්‍ර වලට අදාළව චක්‍රලේකන ඉදිරියේදී නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ ය.

සියලුම දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරු සම්බන්ධ කරගනිමින් සාකච්ඡා පවත්වමින් ඒ ප්‍රදේශ වලට අවශ්‍ය වැඩකටයුතු ,දිස්ත්‍රික් ඩෙංගු මර්දන ඒකක පවත්වාගෙන යන බවත් ප්‍රකාශ කළේ ය.

ඩෙංගු මර්දනය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය , පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ ද සහය ලබා ගනිමින් වැඩසටහන් රැසක් සැලසුම් කර තිබෙන බවත් මෙයට සියලු ජනතාවගේ සහය සහ අවධානයද අවශ්‍ය වෙන බවත් වැඩිදුරටත් පෙන්වා දුන් වෛද්‍යවරයා ඩෙංගු මදුරු වාහකයින් බෝවීම සිදුවිය හැකි ස්ථාන පිළිබඳ අවධානයෙන් සිට අවශ්‍ය පියවර අනුගමනය කළ යුතු බව කීය.

මේ වනවිට ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ප්‍රවනතාව කොළඹ , ගම්පහ , ගාල්ල , මාතර , හම්බන්තොට , මහනුවර දිස්ත්‍රික්ක හඳුනාගෙන තිබෙන බවත් රත්නපුර , කෑගල්ල දිස්ත්‍රික්ක ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාව වැඩිවීම ආරම්භ වී තිබෙන බවත් කීවේ ය.

එහිදී අදහස් දැක්වූ ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය ප්‍රෙෂලා සමරවීර මහත්මිය ,

2018 වර්ෂය සඳහා ඩෙංගු රෝගීන් 51 000 ක් වාර්තා වී තිබෙනවා. මේ වර්ෂයේ දී මේ වනවිට 2018 ට සාපෙක්ෂව වැඩි රෝගීන් ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. ඩෙංගු වෛරස් කාණ්ඩ 4ක් තිබෙනවා. එක් කාණ්ඩයක් වැළදෙන්නේ එක්වරක් පමණයි. ඒ නිසා ඩෙංගු රෝගය ගත්විට 04 සැරයක් වැළදීමේ ඉඩකඩ පවතිනවා. ජනාධිපති කාර්ය සාධන බලකාය හරහා ගම් මට්ටමට යන වැඩපිළිවෙලක් සිදු කෙරෙනවා. ග්‍රාමීය කමිටු ශක්තිමත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මට්ටමින් උපදෙස් ලබාදී තිබෙනවා.

කොළඹ නගරය ආශ්‍රිතව ඉදිකිරීම් ස්ථාන 500 කට වඩා වාර්තා වී තිබෙනවා. ඒවාට අදාළ නීතිමය පියවර ගැනීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මට්ටමින් සිදු කරනවා.

ඩෙංගු මදුරුවන් දෂ්ට කිරීමෙන් වැළැකීම සඳහා ශරීරය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි ඇඳුම් සහ වර්ණය අඩු ඇඳුම් , මදුරු විකර්ශක විකර්ශක අලේපන භාවිත කිරීමට පුළුවන්.

එහිදී වැඩබලය නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් , සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම යන මහත්වරුද අදහස් දැක්වූහ.

චන්දිමා කරුණාරත්න

නව අදහස දක්වන්න