මුළු රටේ ම හඬ එකයි! | දිනමිණ

මුළු රටේ ම හඬ එකයි!

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව පනවා ඇති අමෙරිකන් සංචාර තහනමත් සමඟ මුළු රට ම එක හඬක් නංවන බව පෙනී යයි. ආගමික සංවිධාන, ආගමික නායකයන්, ප්‍රභූන් පමණක් නොව; විපක්ෂය ද ඊට එරෙහිව හඬක් නංවයි. අමෙරිකාවේ හිතුවක්කාරී තීන්දුව ගැන සාමාන්‍ය ජනතාව තුළ පවා දැඩි විරෝධයක් පවතී. රජය මේ තීන්දුව වෙනස් කරන්නැ’යි අමෙරිකාවෙන් ඉල්ලීමක් කර ඇත්තේ තර්කානුකූලව හේතු - සාධක දක්වමින් ය. එහෙත් සාර්ථක ප්‍රතිචාරයක් තවම ලැබී නැත. ශ්‍රී ලංකාව කිසිදු රාජ්‍යයක් සමඟ එදිරිවාදිකම් පවත්වන රටක් නොවේ. අපේ විදේශ ප්‍රතිපත්තිය ස්වාධීන ය. පවතින තත්ත්වය මත අමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර හොඳහිත පලුදුවීමට ඉඩ තිබේ. එවන් අවස්ථාවක් ඇති නොවීමට දෙරට ම වග බලා ගත යුතුව තිබේ.

අමෙරිකන් රජයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව ශවේන්ද්‍ර සිල්වා මහතාට හා ඔහුගේ පවුලේ සාමාජිකයනට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කර ඇත්තේ යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය යන සාධක මතය. ජිනීවා මානව හිමිකම් කොමිසමට ඒ සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නිලධාරිනියක වූ යස්මින් සූකා ය. සූකා මහත්මිය ප්‍රකට ව ඇත්තේ කොටි සංවිධානයට සහයෝගය දක්වන තැනැත්තියක් හැටියට ය. ඇගේ වාර්තාව පිටු 137 කින් සමන්විත වන අතර අදාළ සිදුවීම්වල සාක්ෂිකරුවන් ලෙස කොටි සාමාජිකයෝ පනස් ගණනක් ඉදිරිපත් කරති.

එම සාමාජිකයෝ දැනට ප්‍රංශය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, බ්‍රිතාන්‍යය, නෝර්වේ යන රාජ්‍යවල දේශපාලන රැකවරණ මත පසුවෙති.

ශ්‍රී ලංකාවේ කිසිදු රණවිරුවකු යුද අපරාධ සිදුකර ඇතැ’යි අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් වී නැත. දැනට පවතින්නේ කොටි ත්‍රස්තවාදයට හා බෙදුම්වාදයට සහයෝගය පළකරන පුද්ගලයන් හා සංවිධාන වෙතින් ඉදිරිපත් වූ චෝදනා සහිත වාර්තා පමණි. ඒවා පිළිගැනීමට තරම් බොළඳවීම අමෙරිකාවේ ප්‍රතිපත්තිය නම්; ඒ ගැන කනගාටු විය යුතුය. එලෙස ම අමෙරිකාවට මෙහි සත්‍ය තත්ත්වය පැහැදිලි කරදීමට ක්‍රියාමාර්ගයක් ද ගත යුතුව තිබේ. ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු තවත් රණවිරුවන් පනස් ගණනකගේ නම් යස්මින් සූකාගේ වාර්තාවෙහි සඳහන් වී ඇති බව දැනගන්නට ලැබේ. මෙහි අර්ථය වන්නේ ඒ සියලු දෙනාටම මෙබඳු සංචාරක තහනම් පැනවීමට ඉඩ ඇති බව ය. අමෙරිකාව මෙන් ම තවත් බලවත් රටවල්ද ඉහත තීන්දුව අනුගමනය කළහොත් ඇති වන්නේ බලවත් අවුලකි.

මේ තත්ත්වය උදාවීමට බලපා ඇති තවත් ප්‍රධාන සාධකයක් තිබේ. එනම්; 2015 සිට 2019 අවසන් කාර්තුව වන තෙක් යහපාලන ආණ්ඩුව ක්‍රියා කර ඇති ආකාරය යි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපට යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා නැතැ’යි ප්‍රකාශ කර සිටිය ද ඒ වන විටත් ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත වාර්තා කිහිපයක් ලැබී තිබිණි. යස්මින් සූකාගේ වාර්තාව ඉන් එකකි. මානව හිමිකම් කොමිසමේ දී එම වාර්තාවලට ප්‍රති - උත්තර ලබා දිය යුතුව තිබුණ ද, යහපාලන ආණ්ඩුව සිදුකර ඇත්තේ මානව හිමිකම් කොමිසමේ නිර්දේශ පිළිගනිමින් ඒවා ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබාදීම ය. ප්‍රති - උත්තර ලබා නොදීමෙන් හැඟවෙන්නේ ඉදිරිපත් වූ චෝදනා පිළිගන්නා බවකි. එය ඉතා නරක ආදර්ශයකි.

යුද අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ද, අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ සොයා බැලීම සඳහා කාර්යාලයක් පිහිටුවීමටද, වින්දිතයන් සඳහා වන්දි ලබාදීමට ද යහපාලන ආණ්ඩුව එකඟ වී ඇත. 30/1 හා 40/1 යන වගන්තිවලින් ඒවා ක්‍රියාවට නැංවීමට රජය බැඳී සිටී. ඊට අදාළ එකඟතාවන් ඇති කරගෙන තිබුණේද එවක ශ්‍රී ලංකා රජයේ හා මානව හිමිකම් කොමිසමේ කැමැත්තක් හැටියටය. රටේ ජනතාවගෙන් හෝ පාර්ලිමේන්තුවෙන් හෝ මේ පිළිබඳ කරුණු විමැසීමක් සිදුකර තිබුණේ නැත. එය බලවත් වරදක් සේ සැලැකිය හැකි ය. රටේ නිදහස හා ඒකීයභාවය වෙනුවෙන් ජීවිත පූජාවෙන් සටන් කළ රණවිරුවන් දංගෙඩියට යැවීම වගකිව යුතු ජනතා රජයකට කළ නොහැකි ය. එයින් පෙනී යන්නේ ඉහත කී විෂය සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේදී යහපාලනය ප්‍රඥාගෝචර නොවන විනාශකාරී තීරණ ගෙන ඇති බව ය.

2009 වන තුරුම ශ්‍රී ලංකාවේ ජනතාව නිදහසේ හුස්ම ගත්තේ නැත. එය දකුණට පමණක් නො ව; උතුරට ද පැවැති අතිශය පීඩාකාරී ත්‍රස්තවාදයක් විය. කොටි නායක ප්‍රභාකරන් හැඳින්වූයේ ලෝකයේ ම්ලේච්ඡ ම ත්‍රස්තවාදී නායකයා හැටියට ය. එම සංවිධානය හැඳින්වූයේ ලොව බිහිසුණුම ත්‍රස්ත සංවිධානය හැටියට ය. මෙබඳු සංවිධානයක් සමඟ සටන් කිරීම සේම ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමත් පහසු කටයුත්තක් නොවේ. ලෝක දේශපාලන විචාරකයන්ගේ හා යුද විශේෂඥයන්ගේ මතය වූයේ කොටි සංවිධානය කිසිකලෙකත් පරාජය කළ නොහැකි බව ය. ඒ සියල්ල අනාථ කරමින් ත්‍රස්තවාදය නිමා කිරීමට හැකි වූයේ ශවේන්ද්‍ර සිල්වා වැනි අභීත රණවිරුවන් නිසා ය. ඔවුන් යුද අපරාධකරුවන් ලෙස නො ව; යුද වීරයන් ලෙස සැලැකීම ‍වඩා නිවැරැදි ය.

පිලිපීනයේ පොලිස් ප්‍රධානයකුට ද අමෙරිකාව මෙබඳුම සංචාරක තහනමක් ප්‍රකාශයට පත් කළේය. ඊට එරෙහිව ක්‍රියා කළ පිලිපීන නායකයා අමෙරිකාව සමඟ අස්සන් කර තිබූ ගිවිසුම් ගණනාවක් අහෝසි කළේ ය. පිලිපීන පොලිස් ප්‍රධානියා එරට මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා බලවත් කැපවීම් කළ නිලධරයෙකි. ඔහුගේ ප්‍රයත්නයට අනුව පිලිපීනයේ මත්ද්‍රව්‍ය ජාවාරම බොහෝ සෙයින්ම දුර්වල විය. එබඳු නිලධාරීන් වීරයන් ලෙස සලකා ඔවුනට ගෞරවය හා පහසුකම් ලබාදීම රජයක යුතුකම වෙයි. ශ්‍රී ලංකාව ද රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරමින්, ජනතාවට නිදහස ලබා දුන් රණවිරුවන්ට සලකා තිබේ. එය වරදක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදයට අනුව රටේ බහුතරයකගේ කැමැත්ත මත බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා යුද හමුදාපති ධුරයට සුදුසු ම පුද්ගලයා පත්කර තිබේ. අමෙරිකාවේ තීරණ මත එය වෙනස් නොවේ.

ඉහත සංචාරක තහනම ගැන යුද හමුදාපතිවරයා දක්වන අදහස සියල්ලට ම වඩා වැදගත් ය. ඔහු කියා සිටින්නේ අමෙරිකාවට පිළිතුරු දීමට වුවමනාවක් තමන්ට නැති බව ය. රණවිරුවන් ක්‍රියා කළ යුත්තේ ද එසේ ම ය.

නව අදහස දක්වන්න