ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපතිවරයාගේ ප්‍රථම මහජන හමුව අද | දිනමිණ


 

ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපතිවරයාගේ ප්‍රථම මහජන හමුව අද

රට හදන “සෞභාග්‍යයේ දැක්මෙහි” තවත් අදියරක් ක්‍රියාවට නංවමින් විකල්ප සහ ග්‍රාමීය මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (19) ආරම්භ විය.

රටේ ඕනෑම තැනක සිට ප්‍රධාන මාර්ගවලට පහසුවෙන් පිවිසීමේ හැකියාව සැලසීමෙන් ජන ජීවිතය පහසු කිරීම මෙම වැඩසටහනේ අරමුණකි.

ව්‍යාපෘතිය ආරම්භ වූයේ පේරාදෙණිය, ගලහ දෙල්තොට හරහා රිකිල්ලගස්කඩ මාර්ගය සංවර්ධනයට මුල පිරීමෙනි.

මාර්ගයේ සම්පූර්ණ දුර කි.මි 52කි. වැය කෙරෙන මුදල රුපියල් කෝටි 60 කි.

ව්‍යාපෘතිය යටතේ මාර්ගය කාපට් අතුරා නවීකරණයෙන් පසු රථ වාහන ගමනා ගමනයට මෙතෙක් වැය වූ කාලය විනාඩි 45කින් පමණ අඩු වේ.

ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපතිවරයා සහභාගී වූ පළමු මහජන හමුව මෙය වෙයි.මැතිවරණ පොරොන්දුවක් ඉටු කරමින්හ මුවට සහභාගීවීමට ලැබීම සතුටට කරුණක් බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ජනතාව හමුවේ තමා කියා සිටි “සුරක්ෂිත රට” බිහිකිරීමට පසුගිය තෙමස තුළ කැපවීමෙන් ක්‍රියාකළ බව එතුමා පැවසීය. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත විශාල ජාලයක් හඳුනාගෙන ඇත.

තරුණ පරපුර ඉන් මුදා ගැනීමට අවශ්‍ය පසුබිම සකසා ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය.

දුප්පත්කම තුරන් කිරීමට රැකියා ලක්ෂයක් ලබාදීම, රැකියා විරහිත උපාධිධාරීන් සේවා නියුක්ත කිරීම, දුගී ජනතාව සඳහා “එක ගමකට එක නිවසක්” වැඩසටහන සහ අද පටන් ගත් ග්‍රාමීය මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීම “සෞභාග්‍යයේ දැක්මේ” පොරොන්දු අතර වෙයි.

ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සෑම පොරොන්දුවක්ම ඉටුකරන බව කී ජනාධිපතිතුමා ඒ සඳහා ශක්තිමත් රජයක් ලබාදීමට ජනතාව ක්‍රියා කරනු ඇතැයි විශ්වාසය පළ කළහ.

නව අදහස දක්වන්න