සිසුන්ගේ ගණිත විෂය සාධනයට විශේෂ වැඩසටහන් රැසක් | දිනමිණ

සිසුන්ගේ ගණිත විෂය සාධනයට විශේෂ වැඩසටහන් රැසක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත විෂය සාධන මට්ටම පදනම් කරගනිමින් තෝරාගත් පාසල් 500ක ගණිත ඉගෙනුම වැඩිදියුණු කිරීමේ වැඩසටහන් මාලාවක් අඛණ්ඩ ව ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

1 සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන්ගේ ගණිත විෂය සාධන මට්ටම ඉහළ නැංවීම සහ 1-5 සහ 6-11 ශ්‍රේණිවල ගණිත ගුරුවරුන්ගේ ගුරු ධාරිතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම වැඩසටහන් ක්‍රියාවට නැංවෙයි.

මේ යටතේ 1-11 ශ්‍රේණි සිසුන්ගේ ගණිත සාධනය ඉහළ නැංවීම සඳහා ගණිත ඉගැනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පිළිබඳ ධාරිතා සංවර්ධනයට අමතර ව ප්‍රධාන වැඩසටහන් හතක් (7ක්) ක්‍රියාත්මක කෙරේ.

ප්‍රාථමික අංශය(1-5) සඳහා වන වැඩසටහන් තුනක්, 6-9 ශ්‍රේණි සඳහා වැඩසටහන් 3ක් සහ 10-11 ශ්‍රේණි සඳහා එක් වැඩසටහනක් මීට ඇතුළත් වේ.

ඒ අනුව 1-5 සහ 6-9 ශ්‍රේණි සඳහා දැලිස, ‘ගණිතය පහසුවෙන්’පොත් පෙළ භාවිතය හා ක්‍රියාකාරකම් පාදක ගණිතය ඉගැන්වීමේ වැඩසටහන යන වැඩසටහන් හඳුන්වා දෙන අතර, 10-11 ශ්‍රේණි සඳහා අත්‍යවශ්‍ය ගණිත ඉගෙනුම් ඵල පදනම් කරගත් ප්‍රතිකාර්යය ඉගෙනුම් ක්‍රියාවලිය මේ යටතේ හඳුන්වා දෙනු ලැබේ.

පාසල් මට්ටමින් මෙම වැඩසටහන් හා ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා පාසල් අභ්‍යන්තර අධීක්ෂණ ක්‍රියාවලිය හා තත්ත්ව කව (Quality Circles ) යොදා ගැනේ.

ඊට අමතර ව කලාප හා පළාත් මට්ටමින් බාහිර නියාමනය සෘජු නිරීක්ෂණ හා ප්‍රගති සමාලෝචන රැස්වීම් මගින් සිදුකරනු ලැබේ.

මෙම වැඩසටහන නිසිපරිදි නියාමනය සඳහා නියමිත උපකරණ හා නියාමන ක්‍රමවේද පිළිබඳ පළාත් මට්ටමින් සියලු ම පළාත් සහ කලාපයන්හි ගණිත සහ ප්‍රාථමික අධ්‍යක්ෂවරුන්, විෂය භාර නිලධාරීන්, ගුරු උපදේශකවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් නවයක් ද (9) අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සැලසුම් කර තිබෙන අතර ඊට අදාළ වයඹ පළාත් වැඩසටහන පසුගිය දා (2020-02-17) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය (GEMP) යටතේ මෙම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක වේ.

නව අදහස දක්වන්න