මැටිල්ඩාගේ නම ජගත් අශ්වාරෝහක සංගමය කපා දමයි | දිනමිණ


 

මැටිල්ඩාගේ නම ජගත් අශ්වාරෝහක සංගමය කපා දමයි

ප්‍රින්ස් ගුණසේකර

මේ වසරේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී අශ්වාරෝහක පැනීමේ ඉසව්වෙන් එම උළෙල නියෝජනය කිරීමේ අපේක්ෂාවෙන් සිටි ශ්‍රී ලාංකේය ක්‍රීඩිකා මැටිල්ඩා කාල්සන් ජාත්‍යන්තර අශ්වාරෝහක සම්මේලනයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඔලිම්පික් උළෙල නියෝජනයෙන් ඉවත්කොට ඇත. ඒ අනුව දහසක් බලාපොරොත්තු මැද ඔලිම්පික් යෑමට සිටි මැටිල්ඩා කාල්සන්ට ටෝකියෝ උ‍ළෙල අහිමිවී යයි.

මේ අසාධාරණයට එරෙහිව ස්ව්ට්සර්ලන්තයේ පිහිටි ක්‍රීඩා බේරුම්කර අධිකරණයේ නඩු පැවැරීමට ශ්‍රී ලංකා අශ්වාරෝහක සම්මේලනය සූදානම් වෙයි. ස්වීඩනයේ ජීවත්වෙමින් එහි පුහුණුවීම්වල නිරතවන මැටිල්ඩා කාල්සන් ඊයේ දිනයේ ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් ඇය පැමිණි පසු අධිකරණ ක්‍රියාමාර්ගවලට එළැඹෙන බවත් ශ්‍රී ලංකා අශ්වාරෝහක සම්මේලනයේ සභාපති සුරන්ජිත් ප්‍රේමදාස මහතා ‘දිනමිණ’ ට පැවැසීය. ජාත්‍යන්තර අශ්වාරෝහක සම්මේලනය හදිසියේම ශ්‍රේණිගත කිරීම් වෙනස් කිරීමෙන් මේ තත්ත්වය උදාවී ඇති අතර එමගින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව ප්‍රේමදාස මහතා පැවැසීය.

“අපගේ නීතීඥ මණ්ඩලය මේ වනවිටත් අවශ්‍ය ලිපි ලේඛන සූදානම් කරමින් පවතිනවා. මැටිල්ඩා කාල්සන් පසුගිය කාලයේ නියමිත පරිදි සුදුසුකම් ලබා ගැනීමේ තරගවලට සහභාගී වුණා. ජාත්‍යන්තර සම්මේලනය ඒ තරග කිහිපයක ප්‍රතිඵල අවලංගු කිරීමෙන් අපගේ ක්‍රීඩිකාව ශ්‍රේණිගත කිරීමේ පහළට වැටුණා. ජාත්‍යන්තර අශ්වාරෝහක සම්මේලනය මේ වසරේ ජනවාරියේ ඒ තරග පිළිගෙන ටෝකියෝ ඔලිම්පික් උළෙලට ඇය සුදුසුකම් ලබාගත් බව පැවැසුවා. නමුත් දැන් හදිසියේම වෙනස් කොට තිබෙනවා. ඒක අප පිළිගන්නේ නෑ. අපට මේ කරුණු ක්‍රීඩා බේරුම්කාර මණ්ඩලයට පැවැසීමෙන් සාධාරණයක් ඉටුකරගත හැකි බව විශ්වාස කරනවා” ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

මේ වසරේ ජනවාරි මාසයේදී ටෝකියෝ ඔලිම්පික් උළෙලට දකුණු නැඟෙනහිර ආසියා ඕෂනියා කලාපයෙන් මැටිල්ඩා කාල්සන් දෙවැනි ස්ථානයට සුදුසුකම් ලබා ඇති බව ජාත්‍යන්තර අශ්වාරෝහක සම්මේලනය නිල වශයෙන් තහවුරු කර තිබූ අතර එම කලාපයේ මුල් දෙදෙනාට ඔලිම්පික් වරම් හිමිව තිබිණි. එහෙත් ජාත්‍යන්තර අශ්වාරෝහක සම්මේලනයේ නවතම යාවත්කාලීන ප්‍රතිඵල අනුව දකුණු නැගෙනහිර ආසියා ඕෂනියා කලාපයෙන් චීන තායිපේ හා හොංකොං යන රටවල ක්‍රීඩිකාවන් ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගීවන බවත් මැටිල්ඩා කාල්සන් ඉවත්කොට ඇති බවත් නිවේදනය කොට තිබේ.

මැටිල්ඩා කාල්සන් ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීම උදෙසා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සහභාගීවූ ප්‍රංශයේ පැවැති අශ්වාරෝහක තරගාවලියේ ප්‍රතිඵල ජාත්‍යන්තර අශ්වාරෝහක සම්මේලනය අහෝසි කිරීම හේතුවෙන් මේ තත්ත්වය උදාවී ඇත. ජාත්‍යන්තර අශ්වාරෝහක සම්මේලනයට ලැබුණු පැමිණිලි සලකා බලා මතභේදයට පත් ප්‍රංශ අශ්වාරෝහක තරගාවලියේ ශ්‍රේණිගත ප්‍රතිඵල අවලංගු කිරීමෙන් මැටිල්ඩා කාල්සන් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනකුගේම ලකුණු සිය ගණනක් අවලංගුවී තිබේ.

එහෙත් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට මේ වසරේ ජූනි මස 29වැනිදා දක්වා සුදුසුකම් ලැබීමේ අවස්ථා උදාවී ඇති හෙයින් මැටිල්ඩා කාල්සන්ට බේරුම්කාර අධිකරණයේ නියෝගයක් ලබා ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථා ඇත.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංගම්වලින් මෙතෙක් කිසිදු ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් ටෝකියෝ ඔලිම්පික් සරිසාධන මට්ටමට ළගාවී සුදුසුකම් ලබා නොමැති තත්ත්වයක් තුළ මැටිල්ඩා කාල්සන්ගේ මතුවීම කැපී පෙනුණු අතර ඇය විසින් ශ්‍රී ලංකාවේදී මාධ්‍ය හමුවක් ද පවත්වා ඔලිම්පික් සුදුසුකම් ලැබීම ප්‍රීතියෙන් යුතුව නිවේදනය කළාය. පසුගිය ජනවාරි මාසයේ ජාතික ඔලිම්පික් කමිටු නිවහනේ පැවැති එම මාධ්‍ය හමුවට ඔලිම්පික් කමිටු මහලේකම් මැක්ස්වෙල්ද සිල්වා මහතා ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

මේ පිළිබඳව ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු මහලේකම් මැක්ස්වෙල්ද සිල්වා මහතාගෙන් විමසීමේදී පැවැසූවේ මැටිල්ඩා කාල්සන්ට සිදුව ඇති අසාධාරණය සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී ඒ සඳහා උපරිම සහයෝගය දක්වන බවයි.

මැටිල්ඩා කාල්සන්ට මාස තුනක් වෙද්දී ශ්‍රී ලාංකේය මවුපියන් යුවල ආර්ථික අපහසුතා හේතුවෙන් ස්වීඩන යුවලකට දරුකමට හදා ගැනීමට ලබාදී ඇති අතර කුඩා කාලයේ සිට ක්‍රීඩාවට ආදරය කරමින් ස්වීඩනයේ පුහුණුවීම්වල නිරත වූවාය. 35 හැවිරිදි මැටිල්ඩා කාල්සන් ස්වීඩනයේ අශ්වාරෝහක පැනීමේ ක්‍රීඩාව ආරම්භ කර ඇත්තේ එරට රයිටාර්සෝල්ස් කැප් ක්‍රීඩා සමාජයේදීය.

“මා අද ඔලිම්පික් වරම් ලැබීම දක්වා විශාල ගමණක් පැමිණියේ විශාල කැපවීමකින්. පසුගිය වසර 16ක කාලයේ මා විවිධ තරග ඉසව් නියෝජනය කළා. ජාත්‍යන්තර තරග රැසකට එක්වී ශ්‍රේණිගත කිරීමෙන් ඉදිරියට පැමිණියා” මැටිල්ඩා පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළාය. මෙතෙක් පැවැති ඔලිම්පික් ඉතිහාසය පුරා අශ්වාරෝහක පැනීමේ ඉසව්වෙන් සුදුසුකම් ලැබූ පළමු පැනීමේ ක්‍රීඩිකාව ලෙස මැටිල්ඩා කාල්සන් ශ්‍රී ලාංකේය ක්‍රීඩා ඉතිහාසයට එක්ව සිටියද දැනට එය ප්‍රශ්නාර්ථයක් බවට පත්ව තිබේ.

නව අදහස දක්වන්න