ජාතියේ සලකුණ! | දිනමිණ

ජාතියේ සලකුණ!

රටක හැම ප්‍රභූ චරිතයක් ම ජාතියේ සලකුණක් බවට පත්වන්නේ නැත. ජාතියේ සලකුණක් යන්නෙන් අදහස් වන්නේ එකී පුද්ගල චරිතය නිරන්තරයෙන් ම භාවිත වන සක්‍රීය ක්‍රියාදාමයක කොටස්කාරයකු යන්න ය. දේශපාලන, ආර්ථික හා සමාජයීය වශයෙන් මහඟු සේවාවන්හි නිරත වූ පුද්ගලයන්ගේ නම් පවා කාලයත් සමඟ ජන මනසින් ගිලිහී යයි. කෙනකුගේ නාමය සුවිශේෂී අවස්ථාවල දී පමණක් සිහිපත් කෙරේ. තව කෙනකුගේ නාමය ජන්ම දිනයේ දී පමණක් සිහිපත් කෙරේ. තවත් කෙනකුගේ නාමය ඉතිහාසඥයන් හා සමාජ විචාරකයන් විසින් පමණක් සිහිපත් කරනු ලැබේ. එහෙත් ඩී.ආර්. විජයවර්ධන යනු අතීත - වර්තමාන - අනාගත ත්‍රෛකාලයෙහිම සැරිසරන ජීවමාන නාමයක් වන්නේ ය.

ඩී.ආර්. විජයවර්ධන මහතාගේ ජාතික සේවාව විෂය ක්ෂේත්‍ර තුනක් යටතේ විවරණයට ලක් කළ හැකි ය. එතුමා පළමුව ශ්‍රී ලංකාවට දේශපාලන නිදහස ලබා ගන්නට මහඟු දායකත්වයක් සැපයූ මැදිහත්කරුවෙකි. දෙවනුව ශ්‍රී ලංකාවේ පුවත්පත් ව්‍යාපාරයේ පුරෝගාමී කාර්යභාරය ඉටුකළ සාර්ථක ව්‍යාපාරිකයෙකි. තෙවනුව පොදු ජන සංස්කෘතිය ඔසොවා තැබීම සඳහා ක්‍රියාකාරී වූ බුද්ධිමතෙකි. එක ම චරිතයක් විෂය - ක්ෂේත්‍ර කිහිපයක ජයග්‍රහණ ලබාගැනීම කලාතුරෙකින් දක්නට ලැබෙන සංසිද්ධියෙකි. විජයවර්ධන මහතා තමන් නියෝජනය කළ විෂය - ක්ෂේත්‍ර තුනෙහිම ඉලක්ක ජය ගන්නට සමත් විය. එතුමාගේ චින්තනය හා ප්‍රතිපත්ති මුද්‍රිත මාධ්‍ය ඔස්සේ අදත් ජාතිය සමඟ ගනුදෙනුවක යෙදෙයි. ඩී.ආර්. විජයවර්ධන ජාතියේ සලකුණක් බවට පත්වන්නේ ඒ අනුසාරයෙන් ය.

ශ්‍රී ලංකාවේ නිදහස් සටන් ව්‍යාපාරය ආරම්භ වන්නේ එක්දහස් අටසිය ගණන්වල ය. පළමුව අධිරාජ්‍යවාදයට එරෙහි ව ආයුධ සටන් ක්‍රියාත්මක වූ අතර දෙවනුව එය චින්තනමය සටනක් බවට පරිවර්තනය විය. ස්ව‍දේශීය නායකයෝ එක්දහස් නවසිය ගණන් වනවිට දේශපාලන නිදහස ගැන කතා කරන්නට හා ඒ සඳහා පෙළ ගැසෙන්නට පටන් ගත්හ. එහෙත් සටන පහසු වූයේ නැත. මහා බ්‍රිතාන්‍යයේ රාජ්‍ය - තන්ත්‍රය සමඟ නිරන්තර අරගලයක යෙදෙන්නට ද ලෝකයට ඇත්ත තතු පහදා දෙන්නට ද අපේ නායකයන්ට සිදු වී තිබිණි. විජයවර්ධන මහතා මෙහිලා ඉටු කළ කාර්යභාරය වන්නේ දේශපාලන නිදහස උදෙසා බුද්ධිමතුන්ගේ මතවාද පෙළගැස්වීමට මණ්ඩපයක් තනා දීම ය. එයින් බුද්ධිමතුන් නිදහස උදෙසා රාශිභූත වූ අතර පොදු ජනයා දැනුමෙන් සන්නද්ධ විය.

මහා බ්‍රිතාන්‍යයේ සුප්‍රකට ඉතිහාසඥයකු වූ ජී.එම්.ට්‍රෙවලියන් දක්වන ආකාරයට රටක ඉදිරි ගමන තීන්දු කරන ප්‍රධාන සාධකය වන්නේ සන්නි‍ෙව්දනය යි. එනම්; ජනසන්නිවේදනය යි. හෙවත් ජනමාධ්‍යය යි. ලෝකයේ මුල් ම විධිමත් ජනමාධ්‍යය හැටියට සලකන්නේ පුවත්පත ය. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සිව්වන බලවේගය ලෙස ද ජනමාධ්‍ය හඳුන්වනු ලැබේ. ජනමාධ්‍යවලට ජාතියේ ඉදිරි ගමන සම්බන්ධයෙන් පැහැදිලි දැක්මක් තිබිය යුතුය. එසේ නොවන අවස්ථාවල දී රටවල් විනාශය කරා ඇදී ගොස් ඇති ආකාරය ලෝක ඉතිහාසය විමසන විට පෙනීයයි.

ඩී.ආර්. විජයවර්ධන මහතා පත්තර ව්‍යාපාරය ආරම්භ කළේ ද එය පවත්වාගෙන ගියේ ද ජාතියේ ඉදිරි ගමන පිළිබඳ පැහැදිලි දැක්මක් ඇතිව ය. ඔහු ක්‍රියා කළේ රටේ නායකයන්ගේ හා ජනතාවගේ හදගැස්ම හොඳින් වටහාගෙන ය. පුවත්පත් නිවැරැදි ආස්ථානයක රඳවන්නටත් සේවක ප්‍රජාව සඳහා විධිමත් පරිපාලන රටාවක් ඇති කරන්නටත් විජයවර්ධන මහතා සමත් විය. සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ශ්‍රී ලංකාවේ තහවුරු වන්නේ දකුණු ආසියාවේ පුවත්පත් කලාව ආධුනික මට්ටමක පවතින කාලයේ ය. එවකට ඉන්දියාව පවා විධිමත් හා දැවැන්ත පත්තර සමාග‍ම් බිහි කර තිබුණේ නැත. මහා බ්‍රිතාන්‍යය ප්‍රමුඛ යුරෝපය පත්තර කර්මාන්තයේ දැවැන්තයන් වූ අතර ඊට අදාළ සම්ප්‍රදාය, තාක්ෂණය හා උපාය මාර්ග ගැන අලුතින් සිතන්නට අපට සිදුවිය. එහෙත් 1950 ගණන් වන විට පත්තර සඳහා අපේම සම්ප්‍රදායයක් බිහි කරන්නට විජයවර්ධන මහතා සමත් විය.

පත්තරයක් ආරම්භ කිරීමටත් වඩා එය පවත්වාගැනීම දුෂ්කර කාර්යයෙකි. 1843 දී ජෝන් බ්‍රවුන් බෙල් විසින් ආරම්භ කරන ලද ‘නිව්ස් වර්ල්ඩ්’ පුවත්පත 1960 ගණන් වනවිට පිටපත් මිලියන ගණනින් අලෙවි වන ජනප්‍රිය ඉංග්‍රීසි පුවත්පතක් බවට පත් විය. පසුව මේ සමාගම රූපට් මර්ඩොක් විසින් මිලයට ගනු ලබන අතර ලෝකය පුරා කතාබහට ලක්වන පුවත්පතක් බිහිකිරීමට ඔහු සමත් විය. එහෙත් 2011 ජූලි 07 දා පුවත්පත වසා දමා අදාළ සමාගම ඈවර කරන්නේ මහජනයාගේ බලවත් අපකීර්තියක් ද සමීප කරගනිමින් ය. පුවත්පත් සමාගමක් සාර්ථකව පවත්වාගැනීම සඳහා ජනතා සහභාගිත්වය පැවැතිය යුතු සේම ශක්තිමත් කළමනාකරණයක් ද පවත්වාගත යුතුය. විජයවර්ධන මහතා ඒ දෙකට ම සමත් විය.

‘නිව්ස් වර්ල්ඩ්’ පුවත්පතෙහි අවසන් හිමිකරුවා වූ ජේමිස් මර්ඩොක් වරක් කියා සිටියේ ජනතාව සමඟ ගනුදෙනු කිරීමේ දී තමන්ට හොඳට ම වැරැදුණු බව ය. එහෙත් විජයවර්ධන මහතා ජනතාව සමඟ ගනුදෙනු කිරීමේ දී කිසි දිනෙක පොට වරද්දා ගත්තේ නැත. ශ්‍රී ලංකාවේ දැනට ජීවමාන පැරණිම ජාතික පුවත්පත වන ‘දිනමිණ’ අදත් ජනතාව අතර කීර්තිමත් නාමයක් පවත්වා ගනිමින් ජාතික සේවාවක නිරත වෙයි. අතීතයේ දී ලේක්හවුස් ආයතනය හැඳින්වූයේ ද ‘දිනමිණ කන්තෝරුව’ යන නමින් ය. විජයවර්ධන මහතා මේ ආයතනයට විධිමත් ප්‍රතිපත්ති සමූහයක් සේ ම වැදගත් ආචාර ධර්ම සමූහයක් ද හඳුන්වා දී තිබේ. එමෙන් ම ශක්තිමත් කළමනාකරණ පද්ධතියක් ද තහවුරු කර තිබේ. ශ්‍රී ලංකාවේ දැවැන්ත ම පුවත්පත් ආයතනය ලේක්හවුසිය වන අතර පුවත්පත් කලාව ප්‍රායෝගිකව හැදෑරීමට ඇති එක ම ආයතනය ද වන්නේ ය.

ඩී.ආර්. විජයවර්ධන සුධීමතුන්ගේ 134 වන ජන්ම දින සැමරුම මේ දිනවල පැවැත්වේ. එතුමා අප ආයතනයට පමණක් නොව මුළු මහත් ජාතියට ම උදාර සේවාවක් ඉටු කළ උත්තම මනුෂ්‍යයකු බව මතු - මතුත් ලියැවෙනු ඇත.

 

නව අදහස දක්වන්න