ශ්‍රී ලංකා-කොදෙව් අද එස්.එස්.සි පිටියේදී එක්දින ගැටුමක | දිනමිණ


 

ශ්‍රී ලංකා-කොදෙව් අද එස්.එස්.සි පිටියේදී එක්දින ගැටුමක

නිරෝෂාන් ප්‍රියංකර
දිමුත් කරු­ණා­රත්න සහ කිරොන් පොලාර්ඩ්

වසර 9කට පසු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (22) එස්.එස්.සී පිටියේදී එක්දින තරගයකට එක්වෙයි.

මේ තරගයෙන් දෙපිල අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ වන අතර දිවා තරගයක් ලෙස පැවැත්වෙන අද තරගය ආරම්භ වන්නේ පෙ.ව.9.45 ට ය.

අවසන් වරට මේ කණ්ඩායම් දෙක 2011 වසරේ පෙබරවාරි මස 6 වැනිදා මේ පිටියේදී එක්දින තරගයකට එක්වූ අතර ඉන් ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක් හිමිවිය.

එමෙන්ම දෙපිල ද්වීපාර්ශ්වික තරගාවලියට එක්වන්නේ වසර 4කට පසුවය. 2016 වසරේදී කොදෙව්වන් අවසන් වරට ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලියකට එක්වූ අතර ඉන් 3-0ක ජයක් ශ්‍රී ලංකාවට හිමිවිය.

එස්.එස්.සී ක්‍රීඩාංගණ ඉතිහාසයේ මේ කණ්ඩායම් 2 සිවුවරක් මුණගැසුණු අතර ඉන් වැඩි වාසි අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත්තේ තරග 2ක ජය ගනිමිනි. කොදෙව්වන්ට හිමිව ඇත්තේ එක් ජයක් පමණි. තරගයක් විසඳුමකින් තොරව නිමාවී තිබේ.

ශ්‍රී ලංකා පිල එක්දින තරගයක් සඳහා එස්.එස්.සී. පිටියේදී තරග වදින්නේ 2017 වසරෙන් පසුවය. කණ්ඩායමක් ලෙස ගත් කළ කොදෙව්වන්ට එස්.එස්.සී පිටිය එතරම් හිතකර වී නැත. එහිදී එක්දින තරග 7ක් ක්‍රීඩා කර ඇති ඔවුන් ඉන් ජයගෙන ඇත්තේ තරග 2ක් පමණි. තරග 4ක් පරාජය වෙද්දී ශ්‍රී ලංකාව සමග තරගයක් විසඳුමකින් තොරව නිමාවී තිබේ.

මේ තරගාවලියෙන් කොදෙව්වන්ට ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ඒමට අවස්ථාවක් හිමිව තිබෙන අතර ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගත්තද ස්ථානයේ වෙනසක් සිදු නොවන අතර ප්‍රසාද ලකුණු සංඛ්‍යාව පමණක් ඉහළ යයි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර එක්දින පිටියේ ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි ස්ථානයේ පසුවන අතර කොදෙව් පිල 9 වැනි ස්ථානයේ පසුවෙයි. ශ්‍රී ලංකාව ලකුණු 81ක්ද, කොදෙව්වන් ලකුණු 80ක්ද ලබා සිටින අතර කොදෙව්වන් මේ තරගාවලිය 3-0කින් හෝ 2-1කින් ජය ගතහොත් ශ්‍රී ලංකාව අබිබවා 8 වැනි ස්ථානයට පත්වීමේ අවස්ථාව හිමිවෙයි.

ශ්‍රී ලංකාව-කොදෙව් පිල මින් පෙර අවස්ථා 57කදී ජාත්‍යන්තර එක්දින පිටියේදී හමුව ඇති අතර ඉන් තරග 28ක් ජය ගැනීමට කොදෙව් පිලද, තරග 26ක් ජය ගැනීමට ශ්‍රී ලංකාව ද සමත්ව තිබේ. අවසන් වරට පසුගිය වසරේ එංගලන්තයේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේදී දෙපිල හමුවූ අතර ඉන් ලකුණු 23ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. මේ තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවන දිමුත් කරුණාරත්න කොදෙව්වන්ට එරෙහිව නායකත්වය ලබාදුන් එකම තරගය මෙයයි.

ශ්‍රී ලංකා පිල අවසන් වරට සහභාගිවූ එක්දින තරගාවලියේදී පාකිස්තානය හමුවේ 2-0කින් පරාජයට පත්වුවද එම තරගාවලියට එක් නොවූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක් මෙවර සංචිතයට එක්වීමෙන් ශ්‍රී ලංකා කඳවුර ශක්තිමත්ව තිබේ. ඒ අනුව නායක දිමුත් කරුණාරත්න සමගින් කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල මේ සංචිතයට එක්ව සිටිති. අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස දිමුත් කරුණාරත්න සහ අවිශ්ක ප්‍රනාන්දු පිටියට පිවිසෙන අතර ඩෙංගු උණ රෝගයට ගොදුරුව ඉන් සුවය ලබා සිටින නිරෝෂන් දික්වැල්ල අද තරගය ක්‍රීඩා කිරීම අවිනිශ්චිත තත්ත්වයක පවතී.

මේ තරගාවලිය නවක ක්‍රීඩකයන්ට හොඳ අවස්ථාවක් වනු ඇතැයි කොදෙව් නායක කිරොන් පොලාර්ඩ්ගේ අදහස වී තිබේ. එය සනාථ කරමින් පෙරේදා පැවැති දෙවැනි පුහුණු තරගයේදී ශතකයක් රැස් කිරීමට රොස්ටන් චේස් සමත් විය. ඔහු තවමත් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගයක් ක්‍රීඩා කර නැත. එමෙන්ම අල්සාරි ජෝශප්, බ්‍රැන්ඩන් කිං, කීමෝ පෝල්, නිකලස් පූරන්, රොමාරියෝ ෂෙපර්ඩ් සහ හේඩ්න් වෝල්ෂ් ද තවමත් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගයකට ක්‍රීඩා කර නැත.

ශ්‍රී ලංකා එක්දින සංචිතය - දිමුත් කරුණාරත්න (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, වනිඳු හසරංග, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර

කොදෙව් එක්දින සංචිතය - කිරොන් පොලාර්ඩ් (නායක), ෆේබියන් ඇලන්, සුනිල් අම්බ්‍රිස්, ඩැරන් බ්‍රාවෝ, රොස්ටන් චේස්, ශෙල්ඩන් කොට්රල්, ජේසන් හෝල්ඩර්, ෂායි හෝප්, අල්සාරි ජෝශප්, බ්‍රැන්ඩන් කිං, කීමෝ පෝල්, නිකලස් පූරන්, රොව්මන් පවෙල්, රොමාරියෝ ෂෙපර්ඩ්, හේඩ්න් වෝල්ෂ්

නව අදහස දක්වන්න