රොඩ්රිගෝ ට්‍රම්ප්ට යන්න කියයි | දිනමිණ


 

රොඩ්රිගෝ ට්‍රම්ප්ට යන්න කියයි

ධම්මික සෙනෙවිරත්න

පිලිපීන ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයා පවසා ඇත්තේ තම රටේ ආරක්ෂාව තමන් විසින්ම ශක්තිමත් කරගැනීම මිසක වෙනත් රටක් මත යැපීම සුදුසු නොවන බවය. පිලිපීනයේ තීරණය පිළිබඳ ප්‍රතිචාර දක්වමින් එරට අමෙරිකා තානාපති කාර්යාලය කියා සිටියේ, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සැලකිල්ලෙන් අධ්‍යයනය කරමින් සිටින බවය. ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් පැවසුවේ, එය වැරැදි දිශානතියකට යොමුවූ තීරණයක් බවය.

අමෙරිකා හමුදාවට සිය රට තුළ පහසුකම් සලසන VFA,(Visiting Forces Agreement) Sofa යනුවෙන් හැඳින්වෙන්නේ ද මේ සම්මුතියම යි. සම්මුතියෙන් ඉවත්වන බව පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ට් අමෙරිකාවට දැනුම් දී තිබේ. පිලිපීනය ආසියා ශාන්තිකර කලාපයේ සමීප අමෙරිකානු මිතුරකු ලෙස ප්‍රකටය. අමෙරිකා හමුදා කඳවුරු 5 ක් පමණ එහි පිහිටා ඇති අතර භට පිරිස්ද ඇතුළුව අමෙරිකානුවෝ 25000ක් පමණ පිලිපීනයේ රැඳී සිටිති. ඉහත දැනුම් දීමෙන් අනතුරුව ක්‍රියාත්මකවීමට දින 180 ක පමණ කාලසීමාවක් ගත වේ. මේ කාලසීමාව තුළ තීරණය සමාලෝචනය කිරීමටද ඉඩ ඇත. හමුදා ලේකම් රයන් මැකාති මේ පිළිබඳ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, අතරමැදි කාලසීමාව තුළ දෙපාර්ශ්ව‍යට සාකච්ඡා කර තීරණයකට එළැඹීමට හැකිවන බවය. මෙහිදී අමෙරිකාවේ වැඩි අවධානයක් යොමුවී ඇත්තේ VFA සම්මුතිය අවසන් වීමත් සමඟ තමන්ට උපායමාර්ගිකව වැදගත් මෙම කලාපය කෙරෙහි චීනය කවර අන්දමින් ප්‍රවේශ වනු ඇතිද යන්න කෙරෙහිය. 2016 දී බලයට පත්වීමෙන් පසු ජනාධිපති රොඩ්රිගෝ අවස්ථා කිහිපයකදීම අමෙරිකාව හා අමෙරිකා හමුදාව විවේචනය කර තිබේ. විසිවැනි සියවසේ පළමු අර්ධය තුළ පිලිපීනය පැවැතියේ අමෙරිකානු යටත් විජිතයක් වශයෙනි. තවමත් දෙරට අතර සමීප සබඳකම් පවතී. 

වැරදි දිශාන්තිය

පිලිපීන ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයා පවසා ඇත්තේ තම රටේ ආරක්ෂාව තමන් විසින්ම ශක්තිමත් කරගැනීම මිසක වෙනත් රටක් මත යැපීම සුදුසු නොවන බවය. පිලිපීනයේ තීරණය පිළිබඳ ප්‍රතිචාර දක්වමින් එරට අමෙරිකා තානාපති කාර්යාලය කියා සිටියේ, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සැලකිල්ලෙන් අධ්‍යයනය කරමින් සිටින බවය. ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් පැවසුවේ, එය වැරැදි දිශානතියකට යොමුවූ තීරණයක් බවය. අමෙරිකාවේ මතය වන්නේ දෙරටේ ආරක්ෂක අංශ අතර ඉතා ශක්තිමත් හා දැඩි සබඳතා තිබියදී මෙවැනි තීරණයක් ගැනීම සැලකිල්ලට ගත යුතු බවත් මේ තීරණය ඉදිරියේදී සිදුවිය හැකි හමුදා අභ්‍යාස සිය ගණනකට හා ආරක්ෂක හමුදා අතර සහයෝගිතාවට බලපාන්නක් බවයි. අමෙරිකා හමුදා විසින් පිලිපීන හමුදා භට පිරිස් පුහුණුකිරීම්ද සිදුවේ. VFA සම්මුතිය හේතුවෙන් තම රටේ ස්වෛරීභාවයට එල්ලවන බලපෑම් පිළිබඳ පිලිපීනය ගැඹුරින් අවධානය යොමුකර ඇති බවත් ජනාධිපතිවරයා ගත් තීරණයෙන් පැහැදිලි වේ. පිලිපීනය මෙවැනි තීරණයක් ගත් පළමු අවස්ථාවද මෙය නොවේ. 1991 දී ද එරට ආරක්ෂක සම්මුතියකින් ඉවත් වූ අතර, එය සතික් බොක්කේ පිහිටි ශාන්තිකර කලාපයේ විශාලම අමෙරිකා කඳවුර වූ නාවික කඳවුර වසාදැමීමටද, අමෙරිකා භට පිරිස් ඉවත්කර ගැනීමටද හේතුවිය. සම්මුතියෙන් ඉවත් වූ පසු VFA වැනි සම්මුතිවලට එළැඹීම සඳහාද ඒවාට එළැඹීමෙන් පසු අපරානුමැතිය ලබාගැනීම සඳහාද යම් කාලසීමාවක් බලා සිටීම දැකිය හැකිවිය. පිලිපීනය VFA සම්මුතියට අත්සන් තැබුවේ 1998 දීය. ඒ, කලාපයේ ඔස්ට්‍රේලියාව, ජපානය ආදී සෙසු රටවල් ඊට අත්සන් තැබීමෙන් අනතුරුවය. ‘ඩිප්ලෝමැට්’ සඟරාවේ පළ වූ විවරණයක සඳහන් වූයේ පිලිපීනයට තවමත් කලාපයේ දුර්වල ආරක්ෂක ශක්තියක් ඇති පසුබිමක මෙවැනි තීරණයක් ගැනීම අවධානයට ලක්විය යුතු බවය. කෙසේ වුවද, තම රටේ ස්වෛරීභාවය පළමුතැන තබා දෙවනුව අනෙක් කාරණා ගැන අවධානය යොමු කිරීම පිලිපීනයේ අභිලාෂය බව පිළිබිඹුවේ. එය අචල ස්ථාවරයක පිහිටා සිටීමත්ද කියා පැහැදිළි වනු ඇත්තේ ඉදිරි දින 180 ක කාල සීමාව තුළදීය.

අමෙරිකා භට පිරිස්වලට VFA සම්මුතිය යටතේ පිලිපීනයේ සිය ක්‍රියාකාරකම් බාධාවකින් තොරව කරගෙන යාමේ පහසුකම් සැලසේ. වාර්ෂිකව යුද අභ්‍යාස 300ක් පමණ පැවැත්වෙන්නේ ද ඒ යටතේය. දකුණු චීන මුහුදු ප්‍රදේශයේ ඒකාබද්ධ මුර සංචාර ද සිදුවේ. චීන යාත්‍රා පිලිපීන මුහුදු සීමාවට ඇතුළු වන්නේද යන්න නිරීක්ෂණය කිරීමද ඊට අයත්ය. දකුණු චීන මුහුදේ චීන ක්‍රියාකාරකම් පිළිබඳ අමෙරිකාව ඉතා‍ උනන්දුවෙන් පසුවන පසුබිමක පිලිපීනය VFA සම්මුතියෙන් ඉවත්වීමට තීරණය කිරීම කිසිසේත් අමෙරිකාවේ සතුටට හේතු නොවනු ඇති බව පැහැදිලිය.

සම්මුතියෙන් ඉවත්වීමත් සමඟ මීට පෙර ඇති කරගත් තවත් සම්මුති 2 ක් බල රහිත වන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඒ, 1951 දී ඇතිකරගත් අන්‍යෝන්‍ය ආරක්ෂක සම්මුතිය (MDT) හා 2014 දී ඇතිකරගත් ආරක්ෂක සහයෝගිතාව ඉහළ නැංවීමේ සම්මුතියයි.

(EDCA) අමෙරිකානු මාධ්‍ය පෙන්වාදෙන ආකාරයට පිලිපීනය මෙම තීරණය ගෙන ඇත්තේ උපායමාර්ගිකව එය අධ්‍යයනය කිරීමෙන් පසුව නොව පිලිපීනයේ හිටපු පොලිස් ප්‍රධානියා වන ඩෙලා රොසා ට වීසා ලබාදීම අමෙරිකාව ප්‍රතික්ෂේප කිරීමත් සමඟය. එය පිලිපීන ජනාධිපතිවරයාගේ උදහසට හේතුවන්නට ඇති බව මාධ්‍යවල සඳහන්ය. මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ජනාධිපති රොඩ්රිගෝ ගෙනගිය දැඩි සටනේදී ඩෙලා රොසාගේ භූමිකාව කැපී පෙනිණි.

උපායමාර්ගික ප්‍රතිලාභ

ජනාධිපති රොඩ්රිගෝ පෙන්වා දෙන්නේ මෙම සම්මුතිය ඉතිහාසයේ ක්‍රියාත්මක වී ඇත්තේ ද සාධාරණ ලෙස නොවන බව ය. ඉන් ගම්‍ය වන්නේ එය අමෙරිකාවට වාසිසහගත වුවද පිලිපීනයට යහපතක් රැගෙන නොආ බවය. අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්‍ප්ගේ ප්‍රතිචාරය වී ඇත්තේ ඔවුන් එසේ කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් අප ඊට ඉඩ හරිමු යන්නය. ‘අපට විශාල මුදලක් ඉතිරිකර ගැනීමටත් පුළුවනි.’ යනුවෙන් ඔහු පවසා තිබිණි.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශිත අදහස එය වුවද, පිලිපීනය ගත් තීරණය ආපසු හැරවීමට පෙන්ටගනය වෑයම් කරමින් සිටින බව මාධ්‍ය වාර්තාවල දැක්වේ. එය ජනාධිපතිවරයාගේ අනුදැනුම මත සිදුවන්නේ ද යන්න පැහැදිලි නැත. ජනාධිපති ට්‍රම්ප්ම පවසන පරිදි අමෙරිකාව මේ ක්‍රියාකාරකම් සඳහා විශාල මුදලක් වැයකරමින් සිටී. එසේ නම් ඒ නිෂ්ඵල වියදමක්ද යන්න මෙහිදී මතුවන ප්‍රශ්නයකි. අමෙරිකාව ඒ සා වියදමක් දරමින් සිටින්නේ නිකරුණේ නොවන බව පැහැදිලි කාරණයකි. ඔවුන් මුල්‍යමය වශයෙන් පමණක් නොව උපායමාර්ගිකවද ප්‍රතිලාබ අපේක්ෂා කරන බව නොරහසකි. මේ තත්ත්වය තේරුම් ගැනීමට VFA සම්මුතිය සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදකාරී වාතාවරණය ඉතා සුදුසුය.

සම්මුතියෙන් ඉවත්වීම දින 180 න් පසුව තහවුරු වුවහොත් එතැනින් ඔබ්බට පිලිපීනය හා අමෙරිකාව අතර සම්බන්ධතා ද කාම්බෝජය, ඉන්දුනීසියාව හා වියට්නාමය වැනි රටවල් සමඟ අමෙරිකාවට ඇති සම්බන්ධතා මෙන් විය හැකි ද යන්න විශ්ලේෂකයන්ගේ අවධානයට ලක්ව ඇත.

දශක 7 ක පමණ කාලයක් අමෙරිකාව හා පිලිපීනය අතර සමීප මිත්‍ර සම්බන්ධතා ගොඩනැගී තිබේ. එම කාලසීමාව තුළ වරින්වර ආරක්ෂක සම්මුතීන්ට එළැඹීම මෙන්ම ඒවායින් ඉවත්වීම ද සිදුවිය. සම්මුතීන්ට එරෙහිව ජනතාව විරෝධය පළ කළ අවස්ථාද තිබේ. සාමාන්‍යයෙන් මෙම සම්මුති මඟින් ආරක්ෂාව, ආපදා සහන සේවා, ත්‍රස්තවාදයට එරෙහි පියවර, සමුද්‍රීය අභ්‍යාස වැනි අංශ ආවරණය කෙරේ. VFA සම්මුතිය බිඳවැටීම නිසා මෙතෙක් දකුණු චීන මුහුදු කලාපයේ පහසුවෙන් සිදු කළ අමෙරිකානු හමුදා ක්‍රියාකාරකම්වලට බාධා ඇතිවේ. අමෙරිකාවට වඩාත් සංවේදී වනු ඇත්තේ ඒ සම්බන්ධයෙනි.

මින් පෙර සිදු වූ මෙවැනි ඉවත්වීම් දකුණු චීන මුහුදේ සිය ක්‍රියාකාරකම් පුළුල් කිරීමට චීනයට වාසිසහගත ලෙස බලපෑ බව ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහසය. VFA සංමුතිය යටතේ දෙරට අතර ආරක්ෂක සහයෝගිතාව, පුහුණුවීම්, යටිතල පහසුකම් ආදිය වෙනුවෙන් ඉදිරි දෙවසර සඳහා අමෙරිකා ඩොලර් මිලියන 200ක් වෙන්කර තිබූ බව අමෙරිකා විදේශ සබඳතා ලේකම් තියඩෝර් ලොක්සින් පවසා ඇත.

අමෙරිකාව පිලිපීනයේ තුන්වැනි විශාලම වෙළෙඳ හවුල්කරුවාද වේ. පිලිපීනයේ විශාලම අපනයන වෙළෙඳ පොළ සම්බන්ධයෙන් ද අමෙරිකාව වැදගත්ය. පිලිපීනය 2018 දී ඇ.ඩො.බිලියන 1.7 ක ආදායමක් ඒ හරහා ඉපැයීය. අමෙරිකාව, පිලිපීනයේ පස්වැනි විශාලම ආයෝජකයා ද වේ. පිලිපීනයට පැමිණෙන සංචාරකයන් අතරින් තුන්වැනියට වැඩිම පිරිසක් පැමිණෙන්නේද අමෙරිකාවෙනි. මෙවැනි අවස්ථාවකදී එම කාරණාද සැළකිල්ලට ලක්වේ. VFA සම්මුතියෙන් පිලිපීනය ඉවත් වූ පමණින් ඒ සියල්ල බිඳවැටෙනු ඇතැයි කල්පනා කළ නොහැකිය. එසේ වුවද, අඩු - වැඩි මට්ටමින් එවැනි ක්ෂේත්‍රයන්ට බලපෑම් ඇතිවනු ඇත. ඒ පිළිබඳ පිලිපීනයේ අවධානයට ලක්ව නැතැයි කීමට නොහැකිය. සිය තීරණය ක්‍රියාත්මක කිරීමේදී ඔවුන් නොයෙක් අංශවලින් එය අවධානයට ලක්කිරීමට කටයුතු කරනු ඇත.

සීතල යුද්ධය

නොබැඳි ව්‍යාපාරය බිහිවීමට මුල් වූ 1955 දී පැවැති ආසියා - අප්‍රිකා සමුළුවේදීද (බැන්ඩුන් සමුළුව) පිලිපීනයේ භූමිකාව කැපී පෙනුණු බව විශ්ලේෂකයෝ සිහිපත් කරති. එරට නොබැඳි රටක් බවට පත්වූයේ 1993 දීය. ඒ එහි තිබූ අමෙරිකා යුද කඳවුරු ඉවත් කරගැනීමෙන් පසුවයි. සීතල යුද්ධය නිමාවීමත් සමඟ නොබැඳි ව්‍යාපාරයේ ශක්තිය ඉස්මතු නොවුණත් එහි අරමුණු විවිධ මට්ටමින් අදටද අදාළ වන බව බැහැර කළ නොහැකිය. මෙහිදී පිලිපීනයට සිය අතීත භාවිතාවෙන් පාඩම් උගත හැකිය. තවත් විකල්පයක් නම් වියට්නාමයෙන් පාඩම් ඉගෙන ගැනීමයි. වියට්නාමය අමෙරිකාව හෝඅන් රටක් සමඟ මෙවැනි ආරක්ෂක සම්මුතින්ට එළැඹ නැති අතර එරට තුළ විදේශීය හමුදා කඳවුරුද නැත. වියට්නාමය යනු ආර්ථික ශක්තියක් ගොඩනඟා ගනිමින් නැඟී එන රාජ්‍යයකි. පිලිපීනයට අවශ්‍ය නම් චීනයේ සමීප මිතුරකු වන කාම්බෝජයෙන්ද ආදර්ශ ලැබිය හැකි බව වි‍ශ්ලේෂකයන්ගේ අදහසය. මෙහිදී පිලිපීන ජාතිකයන් තුළ මෙන් සම්ප්‍රදායිකව ඇති අමෙරිකානු රුචිකත්වය වැනි කාරණා ද සැලකිල්ලට ගැනීමට සිදුවනු ඇත.

අවසාන විග්‍රහයේදී වඩා වැදගත් වනු ඇත්තේ ස්වෛරී රාජ්‍යක් ලෙස පිලිපීනයට ඇති පැවැත්ම හා අභිමානයයි. පිලිපීනයට පමණක් නොව ඕනෑම රටකට එය අදාළය. සිය අභිලාෂයන් හෝ අභිමානය ඩොලර්වලට යට කර දැමීමට පිලිපීනය තීරණය කරනු ඇති ද යන්න ඉදිරි සය මස තුළ දැකගත හැකිවනු ඇත.

නව අදහස දක්වන්න