බැඳුම්කර ගනුදෙනුවේ සැක 11කගේ විදෙස් ගමන් තහනම් | දිනමිණ

බැඳුම්කර ගනුදෙනුවේ සැක 11කගේ විදෙස් ගමන් තහනම්

කොටුව  මහේස්ත්‍රාත්  නියෝග කරයි

හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු 12 දෙනාගෙන් සැකකරුවන් 11 දෙනකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ(4) සිදු කළ ඉල්ලීමට අදාළ නියෝගය ලබන 06 වනදා ප්‍රකාශ කිරීමට නියෝග කළ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සැකකරුවන් 11 දෙනාගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.

මෙලෙස විදේශ ගමන් තහනම් කරනු ලැබුයේ සන්ද්‍රේශ් රවින්ද්‍ර කරුණානායක, ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ජෝසෆ් ඇලෝෂියස්, පළිසේන අප්පුහාමිලාගේ දොන් කසුන් ඕෂධි, ජෙෆ්රි ජෝසෆ් ආලෝෂියස්, චිත්ත රංජන් හුළුගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන්, අජාන් ගාර්දියෙ පුංචිහේවා, තුයිය හැන්නදිගේ බුද්ධික සරත්චන්ද්‍ර, සංගරපිල්ලේ පදුමනාපන්, පදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර යන අයවළුන්ගේ වේ.

එම නියෝගය ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේය.

රවී කරුණානායක මහතා ඇතුළු 12 දෙනා සම්බන්ධයෙන් වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට සිදු කළ නියෝගයට අනුව හිටපු මුදල් අමාත්‍යවරයා රාජ්‍ය බැංකු පාලනය කළ බවත් හිටපු මහ බැංකු අධිපතිවරයා ප්‍රාථමික අලෙවිකරුවන් පාලනය කළ බවත් නිලධාරි මඩුල්ලක් විසින් ඔවුන් සුවිශේෂී බැදුම්කර නිකුතුවන් දෙකක් සම්බන්ධයෙන් දීර්ඝ කරුණූ දැක්වීමක් සිදු කරමින් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ ජ්‍යේෂඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය රවී කරුණානායක මහතා ඇතුළු 12 දෙනා ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 51.98ක අලාභයක් සිදු කළ බවටත් කර ඇති බවටත් සූක්ෂමව සිදු කරන ලද මෙම බැදුම්කර වංචාව මගින් සමස්ත ජාතීන් අතර ජීවන වියම ඉහළ යාමට විහාලතම බලපෑමක් කර ඇති බවත් පවසමින් ඔවුන්ට වරෙන්තු නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරුවන්ට වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා සිටි ජයසුන්දර මහත්මිය ඔවුන් රජයට සිදු කර ඇති සම්පූර්ණ අලාභය මේ වනතෙක් ගණනය කර නැත.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බැදුම්කර නිකුත්වන් සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළා. වසරකට ආසන්න කාලයක් පැවැති එම කොමිසම යම් යම් නිර්දේශ ඉදිරිපත් කළා. යම් යම් පාර්ශ්වයන්වලට නඩු පවරන ලෙසට උපදෙස් ලබා දුන්නා. නීතිපති දෙපාර්තමේන්තුවට අල්ලස් කෙමිසමට නිර්දේශ ඉදිරිපත් කරනු ලැබූ බවද ජ්‍යේෂඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණය හමුවේ කියා සිටියාය.

අන්දෝලනාත්මක සුපිරි නිවාස සංකීර්ණයක් වන මොනැක් නිවාස සංකීර්ණයේ අනිකා විජෙසූරිය යන අයට මාස 9ක් නැවතී සිටීමට කුලී නිවසක් ලබා දී තිබූ බවත් එම නිවස පී ටී එල් සමාගමේ ප්‍රධානි අර්ජන් ඇලෝසියස් යන අයට අයත් වෝල්ට් ඇන්ඩ් රෝ සමාගම විසින් මිලදී ගෙන ඇති බවත් එම නිවස මිලදී ගෙන ඇත්තේ රවී කරුණානායක මහතාගේ නමට බවට අනාවරණය වූ බවත් අධිකරණයට කියා සිටි ජයසුන්දර මහත්මිය අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමෙන් රවී කරුණානායක මහතාට රුපියල් මිලියන 3ක චෙක්පත් 3ක් ලබා දී ඇති බවත් සිදු කර ඇති බවත් කොමිසම හමුවේ හෙලි වී ඇතැයි ජයසුන්දර මහත්මිය අධිකරණය හමුවේ තවදුරටත් කියා සිටියාය.

මෙම කොමිසම හමුවේ සාක්ෂි 170ට අධික ප්‍රමාණයක් ලබා දුන් බවත් ලේඛන 500ක් පමණ ඉදිරිපත් කර ඇති බවත් කියා සිටි හරිප්‍රියා ජයසුන්දර මහත්මිය සුවිශේෂී බැදුම්කර නිකුතුවන් දෙකක් සම්බන්දයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා තමන් යටතේ ඇති ලංකා බැංකුව ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ මහජන බැංකුවට අඩු ලන්සුවලට බැදුම්කර සඳහා ලන්සු තබන ලෙසට උපදෙස් ලබා දී ඇති බවට කොමිසිම හමුවේ හෙලී වි ඇති බව කියා සිටි අතර හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකුවේ සහ සේවක අර්ථසාදක අරමුදලේ නිලධාරීන් සමඟ සෘජුවම සම්බන්ධ වෙමින් මෙම වංචාවට උපදෙස් ලබා දී ඇති බවට හෙළි වී ඇති බවත් අධීකරණය කියා සිටියාය.

බැදුම්කර නිකුත්වන් සිදු වන අවස්ථාවන්වලදී රජයට අයුතු පාඩුවක් ඇති කරමින් හිටපු මුදල් අමාත්‍යවරයා රාජ්‍ය බැංකු පාලනය කළ බවත් හිටපු මහ බැංකු අධිපතිවරයා ප්‍රාථමික අලෙවකරුවන් පාලනය කළ බවත් කියා සිටි ජ්‍යේෂඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය සෘජුවම බැදුම්කර ගනුදෙනු සිදු කිරීමට අවස්ථාව ඇති සේවක අර්ථසාධක අරමුදල පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ලබා ගත් බැදුම්කර අතරමැදියකු හරහා මිලදී ගැනීමිට පොළඹවමින් රජයට විශාල අලාභයක් සිදු කර ඇති බවටත් අධිකරණය හමුවේ කියා සිටියේය.

2016.03.29 වැනිදා සහ 2016.03.31 වැනිදා පැවැත්වුණු බැඳුම්කර වෙන්දේසිවල සිදු කරන ලද අපරාධමය වැරදිවලට අදාළ චෝදනා සම්බන්ධයෙන් නම් කර ඇති සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් කරුණු (සාධාරණ සැකයක්) ඉදිරිපත් වී ඇති බවට නීතිපතිවරයා අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණය කරුණු දක්වා සිටි අතර ඉහත සැකකරුවන් 12 නම් කර ඇත්තේ 2016.03.29 බැඳුම්කර ගනුදෙනුවට වන බවත් මෙහි මුදල් අමාත්‍යාංශයේ , මහ බැංකුවේ මෙන්ම සේවක අර්ථසාධක අරමුදලේ ඉහළ නිලධාරීන් සිටින බවත් දන්වා සිටියාය.

මෙහිදී අධිරණයට කරුණු දක්වමින් වරෙන්තුවක් ඉල්ලා සිටි අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය මෙම අදහස් අධිකරණයෙ හමුවේ කියා සිටියේය.

2016.03.31 ගනුදෙනුවට අදාළ සැකකරුවන් 12 දෙනකු සිටින බව අධිකරණයට දන්වා සිටිනවා. මෙම විමර්ශනය සිදු කරන ලෙස හිටපු මහ බැංකු අධිපතිවරයකු වන ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඉකුත් 2016.11.25 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016.03.29 වැනිදා සහ 2016.03.31 වැනිදා පැවැත්වුණු බැඳුම්කර වෙන්දේසිවල සිදු කරන ලද අපරාධමය වැරදිවලට අදාළව පොලිස්පතිවරයා පැමිණිල්ලක් සිදු කර තිබුණා.

රවී කරුණානායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියන්සි අරසකුලරත්න මහතා කරුණු දැක්වීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර ඒ සඳහා අවසර ලබා දීමට නෛතික ප්‍රතිපාදන නැති බව කියමින් මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අම්පාවිල මහතා සැකකරුවන් වෙනුවෙන් සහතිකයක් අධිකරණයට ඉදිරිපත් කළ අතර විමර්ශන නිලධාරණිය වන ධර්මලතා කැප්පෙටිගේ මහත්මිය එහිදි සාක්ෂි ලබා දීම සිදු කළේය.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ ජ්‍යේෂ්ඨ නීතිඥ ලක්මිණී ගිරිහාගම උදාර කරුණාතිලක සහ චතුරි විජේරත්න යන නිලධාරීන් අධිකරණයට හවුවේ පෙනී සිටියහ.

සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න