අල්ලස් ගත් තක්සේරු නිලධාරියා වසර 5ක් හිරේ | දිනමිණ

අල්ලස් ගත් තක්සේරු නිලධාරියා වසර 5ක් හිරේ

ඉඩමක රජයේ තක්සේරු වටිනාකම අඩුකර තක්සේරු වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් දසදහසක අල්ලසක් ලබාගැනීම ඇතුළු අධිචෝදනා හතරකට වරදකරු වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තු මාතර ශාඛාවේ ජ්‍යෙෂ්ඨ තක්සේරුකරු එච්. පී. ජගත් යන අයට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (13) වසර පහක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කෙළේය.

මාතර තුන්මෝදර පදිංචි ප්‍රියංක ලහිරු රූපසිංහ යන අය අල්ලස් කොමිසමට කළ පැමිණිල්ලක් මත අල්ලස් කොමිසම මඟින් විත්තිකරුට එරෙහිව අධිචෝදනා හතරක් මත මෙම නඩුව පවරා තිබුණි.

චෝදනා හතරටම විත්තිකරු වරදකරු කළ විනිසුරුවරයා එක් චෝදනාවකට පස් වසර බැගින් වසර 20 ක සිරදඬුවමක් නියම කර එය එකවර ගෙවී යාමට නියෝග කෙළේය.

ඊට අමතරව විත්තිකරුහට රුපියල් විසිදහසක දඩ මුදලක් ගෙවීමට නියම කළ විනිසුරුවරයා අල්ලස් ලෙස ලබාගත් මුදල දණ්ඩනයක් ලෙස ගෙවීමට හා පැමිණිලිකරු හට රුපියල් විසිපන්දහසක වන්දි මුදලක් ගෙවීමට ද නියෝග කෙළේය.

මෙම වන්දි මුදල් හා දඩ මුදල් නොගෙවන්නේ නම් අමතර සිරදඬුවම් ද විත්තිකරු හට නියම කෙරුණි.

අල්ලස් කොමිසම වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂිකා නීති සශ්‍රිකා චන්ද්‍රවංශ මහත්මිය පෙනී සිටියාය.

නව අදහස දක්වන්න