කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට අස්ගිරි මහ විහාරයෙන් ලක්ෂ 50ක් | දිනමිණ

කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට අස්ගිරි මහ විහාරයෙන් ලක්ෂ 50ක්

සියම් මහ නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහ නාහිමියන් ප්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභික හිමිවරු ඒකමතිකව ගත් තීරණයකට අනුව රුපියල් ලක්ෂ 50ක මුදලක් ජනපති විසින් ආරම්භ කළ කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබේ. මහ නාහිමි ප්‍රමුඛ කාරක සංඝ සභික ස්වාමින්ද්‍රයන් වහන්සේලා හැකි පමණින් ලබාදුන් දායකත්වය මත මේ මුදල ඒකාරාශි කළ බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි නාහිමියෝ පැවැසූහ.අදාළ මුදල් කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට බැර කිරීමට අදාළ බැංකු රිසිට් පත අස්ගිරි මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාට බාර දීම ඊයේ (27) අස්ගිරි මහ විහාරීය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරුණි.

මේ අවස්ථාවට සමගාමීව රුපියල් ලක්ෂ 5ක වටිනාකමින් යුත් සහල් මිටි දහසක් මහනුවර දිස්ත්‍රික්කයේ දුගී ජනතාව අතර බෙදා දීම පිණිස මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට බාරදීම අස්ගිරි මහනාහිමි අතින් සිදු කෙරුණි.

කොරෝනා ව්‍යසනයෙන් රට මුදා ගැනීම පිණිස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා කැපවීමෙන් මෙන්ම උනන්දුවෙන් කටයුතු කරන බවත් එතුමාට ශක්තියක් ලබාදීම පිණිස අස්ගිරි මහ විහාර පාර්ශ්වය අදාළ තීරණය ගනු ලැබූ බවත් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නාහිමියෝ ප්‍රකාශ කළහ.

අස්ගිරි පාර්ශ්වය විසින් ගනු ලැබූ මේ තීරණය සියලු රට වැසියන්ට ආදර්ශයක් වනු ඇතැයිද උන්වහන්සේ කීහ.

ඉතා ඉක්මනින් මේ රටත් ලෝකයත් කොරෝනා ව්‍යසනයෙන් මිදී සුවපත් වේවායි ප්‍රාර්ථනය කරන බව ද අනුනාහිමියෝ ප්‍රකාශ කළහ.

මේ අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි, ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද, නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරංපනාවේ ආනන්ද, කාරක සංඝ සභික හිමිවරුන් වන කුඹුක්කදන්වල පුඤ්ඤරතන, මුරුද්දෙනියේ ධම්මරතන යන නාහිමිවරුද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කුමුදුනී කරුණාරත්න, මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න යන මහත්ම මහත්මීහුද සහභාගි වූහ.

අසේල කුරුළුවංශ හා එස්. කේ. සමරනායක

නව අදහස දක්වන්න