යුරෝපා මලල ක්‍රීඩා නියමිත දිනයට | දිනමිණ

යුරෝපා මලල ක්‍රීඩා නියමිත දිනයට

නිරෝෂන් ප්‍රියංකර

කොරෝනා වෛරසය සමස්ත ලෝකයටම බාධාවක් වෙද්දී ක්‍රීඩා පිටියටද ඉන් දැවැන්ත බලපෑමක් එල්ලවී තිබේ. මේ හේතුවෙන් ජාත්‍යන්තර මට්⁣ටමේ ක්‍රීඩා උළෙල රැසක් දින නියමයකින් තොරව කල් දැමීමට සංවිධායකයන්ට සිදුවී ඇත.

මේ යටතේ ජපානයේ පැවැත්වීමට නියමිතව තිබූ ලොව විශාලතම ක්‍රීඩා සැණකෙළිය වන ගිම්හාන ඔලිම්පික් උළෙලත් වසරකින් කල් දැමීමට සංවිධායකයෝ තීරණය කළහ.

මෙවන් තත්ත්වයක් තුළ එළැඹෙන අගෝස්තු මාසයේ දී ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත්වීමට නියමිත යුරෝපයේ මහා ක්‍රීඩා සැණකෙළිය හෙවත් යුරෝපා මලල ක්‍රීඩා තරගාවලිය කිසිදු කල් දැමීමකින් තොරව පැවැත්වීමට හැකි වනු ඇතැයි ප්‍රංශ බලධාරීන් බලාපොරොත්තුවෙන් පසුවීම විමතියට කරුණකි.

මේ මලල ක්‍රීඩා තරගාවලිය අගෝස්තු මස 25 සිට 30 දක්වා පැරිස් නුවර දී පැවැත්වීමට නියමිතය. කෙසේ වෙතත් ලොව පුරා පවතින මේ අනාරක්ෂිත තත්ත්වය හමුවේ තරගාවලිය පිළිබඳ ඉදිරි තීරණයක් ගැනීම ලබන මැයි මස පැවැත්වෙන යුරෝපානු මලල ක්‍රීඩා සංගම් රැස්වීමේ දී සිදු වනු ඇතැයි ද වාර්තා වේ.

ප්‍රංශ මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානී පෙරික්ලිස් ඉකෝවාකිස් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ තවමත් මේ තරගාවලිය සැලසුම් පරිදී පැවැත්වීමේ හැකියාව ඇති බවයි. මේ කාලය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශාල පීඩනයක් ගෙන දෙන්නක් බවද ඔහු පවසයි.

'පැරිස් තරගාවලිය තවමත් ඉදිරියට යා හැකියි. මෙවැනි දුෂ්කර කාලවල දී පවා ධනාත්මක දේ තිබිය හැකියි. මෙය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉතාමත් මානසික පීඩනයක් සහ ව්‍යාකූලතාවයක් ගෙනෙන කාලවකවානුවක් වී තිබෙනවා. මේ වයිරස් තත්ත්වයට මුහුණ දීමේ දී අප සෑම දෙනාගෙම සෞඛ්‍යය හා යහ පැවැත්ම පිළිබඳ අවධානය යොමු කළ යුතුයි' ඉකෝවාකිස් මහතා කියා සිටී.

මේ පිළිබඳ අදහස් දක්වමින් යුරෝපානු මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කරන්නේ ක්‍රීඩකයන්, නරඹන්නන්, ස්වේච්ඡා සේවකයන් ඇතුළුව ක්‍රීඩා උළෙලට එක්වන සියලුම දෙනාගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සැපයීමට සංවිධායකයන් ප්‍රමුඛත්වය දිය යුතු බවය.

 

 

 

නව අදහස දක්වන්න