මානසික සෞඛ්‍ය ආරක්ෂා කරගන්නේ කෙසේ ද ? | දිනමිණ


 

මානසික සෞඛ්‍ය ආරක්ෂා කරගන්නේ කෙසේ ද ?

කොරෝනාවෛරසය ලෝකය අවිනිශ්චිතතාවකට ඇද දමා ඇති අතර, මෙම වසංගතය පිළිබඳ පුවත් නිතර ඇසීමෙන් හෝ දැකීමෙන් ඔබට මානසික ව්‍යාකූලතා ඇති විය හැකිය. මේ සියල්ල පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍යය නිසි ලෙස පවත්වාගෙන යාමට බලපානු ඇත. දැනටමත් සාංකාව සහ ඕසීඩී (Obsessive-Compulsive Disorder) වැනි රෝගී තත්වයන්ගෙන් පීඩා විඳින පුද්ගලයෙකුට නම් මෙවැනි අවස්ථාවකදී මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම දැඩි අභියෝගයක් වනු ඇත.

කොරෝනාවෛරසය පැතිරී යන අවස්ථාවේදී ඔබේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ උපදෙස් මාලාව සමාජ මාධ්‍යවල විශාල වශයෙන් සංසරණය වනු දක්නට ලැබිණි.

විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන මෙම කාලය ඇතුළත මානසික සෞඛ්‍යය පවත්වාගත යුතු ආකාරය පිළිබඳව ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මධුභාෂිණී දයාබණ්ඩාර බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවක නිරත විණි.

  1. සාමාන්‍ය ජනතාව.
  2. කොවිඩ් 19 වැළඳුණ රෝගියෙකු සමග සම්බන්ධ වීමෙන් රෝගය වැළඳීමේ අවදානමක සිටින පුද්ගලයන්.
  3. වෙනත් මානසික රෝගවලින් පීඩා විඳින පුද්ගලයන්.

"මේ දිනවල පවතින ඇඳිරි නීතිය නිසා ගෙදරට ම වෙලා ඉන්න සිදුවීමෙන් සහ වෙන දා ඇසුරු කරන පුද්ගලයන්ගෙන් ඈත් වී සිටින්න සිදු වීමෙන් මානසික සුවයට යම් බලපෑම් ඇති වී තිබෙන තත්ත්වයක් ද දකින්න පුළුවන්. ඒ වගේ ම රෝගය වැළඳීමේ අවදානමක් ඇති පුද්ගලයන් සිය දෙමාපියන් සහ වැඩිහිටි පුද්ගලයන්ගෙන් ඈත් වී ජීවත් වීමට සිදු වීමත් මනසට දැඩි ලෙස බලපා තිබෙනවා," වෛද්‍යවරිය පැවසීය. 

සමාජ මාධ්‍ය ජාල සහ පුවත්වලින් ඈත් වී සිටිය යුතු ද ?

 

පුවත් පිළිබඳ සැලකිලිමත් වීම සාමාන්‍ය දෙයක් විය හැකි නමුත් එයින් බොහෝ දෙනෙකු තුළ පවතින මානසික සෞඛ්‍ය ගැටලු උග්‍ර අතට හැරීමට ද පුළුවන.

කොරෝනාවෛරසය සම්බන්ධයෙන් පළවන පුවත් නිරන්තරයෙන් නැරඹීමෙන් සහ කියවීමෙන් දැඩි මානසික පීඩනයකට මුහුණ දෙන බව පිළියන්දල පදිංචි සමාධි දළුවත්ත බීබීසී සිංහල සේවයට පැවසුවාය.

"මට පොඩි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේ අම්මාත් අපි එක්ක ජීවත් වෙන්නේ. මේ නිව්ස් කියෙව්වට පස්සේ මට පාලනය කර ගන්න බැරි තරම් බයක් දැනෙනවා. ඒ නිසා ගෙදර අයටත් පරිස්සම් වෙන්න කියලා ඕනෑවට වඩා කෑ ගහනවා," ඇය පැවසීය.

"සාමාන්‍යයෙන් මම කලබල කෙනෙක් වුණාට ඉස්සර මේ තරම් බයක් ඇති වෙලා නැහැ. හැබැයි දැන්නම් පාලනය කර ගන්න අමාරුයි."

කෙසේනමුත්, පුවත් සහ සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවිවලින් වැඩි කාලයක් ඈත් වී සිටීමෙන් සිය මනස යම් තාක් දුරකට "සන්සුන්" වූ බව ද ඇය පැවසීය.

මේ අතර, කොරෝනාවෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල ව්‍යාජ පුවත් බොහොමයක් ද සංසරණය වෙමින් පවතී. සෑම අවස්ථාවක ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය, පොලිසිය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ වෙනත් වගකිව යුතු ආයතන නිකුත් කරන පුවත් සහ දැන්වීම් පමණක් අනුගමනය කළ යුතු බවට රජය නිරන්තරයෙන් නිවේදන නිකුත් කරමින් සිටී.

ප්‍රියයන්ගෙන් ඈත් වී සිටීම

"මම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වෙන්නේ. අපි මනසින් සෑහෙන ශක්තිමත්ව ඉන්න පුළුවන් උපරිම උත්සහ කරනවා. නමුත් විශාල බයක් තියෙනවා මගෙන් ගෙදර අයට මේ ලෙඩේ බෝවෙයි කියලා," කොළඹ ජාතික රෝහලේ සේවයේ නියුතු නම හෙළි කිරීමට අකමැති කාන්තාවක පැවසීය.

"විශේෂයෙන් මගේ වයසක දෙමාපියන්ට මේ වෛරස් එක බෝ වෙයි කියන බය නිසා මම ඔවුන්ගෙන් ඈත් වෙලා ඉන්නේ. ඒක මනසට හරි අමාරු දෙයක්. නමුත් හරි අමාරුවෙන් හිත හදාගන්න උත්සහ කරනවා. පුළුවන් උපරිම විදිහට ආරක්ෂා වෙනවා," ඇය තවදුරටත් පැවසුවාය.

ඔබේ අත් සෝදන්න - නමුත් ඕනාවට වඩා නොකරන්න

ඕසීඩී (Obsessive-Compulsive Disorder) යනු, සුලබව දැකිය හැකි නිදන්ගත මානසික රෝගී තත්ත්වයක් වන අතර, මෙහිදී යම් ක්‍රියාවක් අනිවාර්යයෙන් ඉටුකළ යුතු යැයි නැගෙන සිතුවිල්ල පාලනය කළ නොහැකි මට්ටමකට පැමිණෙනු දැකිය හැකිය.

කොරෝනාවෛරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර අතර, නිතර දෑත් සේදීම වැනි ක්‍රියාවන් ඕසීඩී වැනි මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන්ට දැඩි ලෙස බලපා තිබේ.

ඕසීඩී මානසික රෝගය සමග දිවි ගෙවීම පිළිබඳ සිය අත්දැකීම් 'Because We Are Bad' නම් ග්‍රන්ථයෙන් හෙළි කළ ලිලී බේලි පවසන්නේ වෛරසයක් ආසාදනය වේ යැයි ඇති බිය සිය මානසික රෝගී තත්ත්වයේ එක් අංගයක් බවය.

මෙම මානසික රෝගී තත්ත්වයෙන් මිදුණු පුද්ගලයන්ට අත් සේදීම පිළිබඳ උපදෙසින් නැවත බලපෑම් එල්ල විය හැකි බව ඇය පවසයි.

"මම මග හැර සිටි හැසිරීම් රටා කිහිපයක් දැන් නැවත සිදුකළ යුතු වීම ඇත්තෙන් ම දුෂ්කර ක්‍රියාවක්."

"මම අවවාදය තදින් අනුගමනය කරනවා. නමුත්, මට සබන් සහ සනීපාරක්ෂක දියර භාවිතය ඇබ්බැහි වීමකට සමාන කරන්න පුළුවන්," ලිලී බේලි පැවසීය.

ඕසීඩී මානසික රෝගයෙන් පීඩා විඳින බොහෝ දෙනෙකුට නිවසින් පිටව යෑම වඩාත් පහසු වන හෙයින් ස්වයං හුදකලා වීම අභියෝගයක් වනු ඇති බව ඇය පෙන්වා දෙයි.

ගම්පහ ප්‍රදේශයේ දිවි ගෙවන සුනිලා විජේවීර පැවසුවේ, කොරෝනාවෛරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු සනීපාරක්ෂක පියවරවලින් ඕනෑවට වඩා සිය මනසට බලපෑම් එල්ල වන බවය.

"මගේ විතරක් නෙමෙයි, පවුලේ අය අත් සෝදන එක ගැනත් මම ඕනෑවට වඩා සැලකිලිමත් වෙනවා. ගෙදර කවුරුහරි එළියට ගිහින් ආවා ම මම ඒ අයගේ ඇඳුම්, භාණ්ඩ ඔක්කොම පිහනවා, සෝදනවා. මමත් සෑහෙන වාරයක් අත් සෝදනවා," සුනිලා පැවසුවාය.

එසේ නම්, අපගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගන්නේ කෙසේ ද ?

මෙම කාලය තුළ යම් පුද්ගලයෙකු මානසික සුවය පවත්වාගෙන යාම සඳහා අනුගමනය කළ යුතු පියවර පිළිබඳ විශේෂඥ මනෝ වෛද්‍ය මධුභාෂිණී දයාබණ්ඩාර පැහැදිලි කලාය.

  • ඔබට හොඳ හැඟීමක් ඇති නොවන දේවල් කියවීමට හෝ නැරඹීමට වැය කරන කාලය සීමා කරන්න.
  • අන් අය සමග සම්බන්ධ වීම සඳහා සමාජ මාධ්‍ය ජාලවල සැරිසරන්න, නමුත් කොරෝනාවෛරසය ගැන කියවීම සීමා කරන්න.
  • දරුවන් සිටී නම් ඔවුන් සමග වැඩිපුර කාලයක් ගත කරන්න.
  • සිය සැමියා, භාර්යාව, දෙමාපියන් හෝ පවුලේ අය සමග වැඩිපුර කාලයක් ගත කරන්න.
  • ආතතිය, පීඩනය අවම කර ගැනීම සඳහා හාස්‍ය උත්පාදක දේ කියවන්න, නරඹන්න.
  • තමන්ට කාලයක සිට මඟ හැරුණු දෙයකට නැවත යොමු වෙන්න.
  • පොත් කියවීම්, අත්කම්, මැහුම් ගෙතුම්, ගෙවතු වගාව වැනි දේට යොමුවන්න.
  • එකිනෙකා අතර නියමිත පරතරය තබාගෙන, නිවසින් පිටත, නිවස තුළ හෝ ගෙමිදුලේ ව්‍යායාම්වල නිරත වන්න. මෙමගින් මොළය තුළ රසායන ද්‍රව්‍යයක් වර්ධනය වන අතර, එය මානසික සෞඛ්‍ය පවත්වාගෙන යාමට බලපායි.
  • සංගීතයට සවන්දෙන්න. ගායනය, වාදනය, නර්තනය සහ චිත්‍ර සඳහා යොමු වන්න.
  • බොහෝ කලකින් කතා නොකළ මිතුරෙකුට දුරකතන ඇමතුමක් දෙන්න.
  • වැරදි පුවත් නොබලා, වගකිව යුතු මාධ්‍ය ආයතනවල පුවත් පමණක් නරඹන්න, කියවන්න.
  • හැකි සෑම විට ම සමබර ආහාර වේලක් ලබා ගන්න.
  • අන් අයට පිහිට වන්න.
  • "මේ වන විටත් මානසික රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට මෙවැනි කාලයක් තුළ සිය රෝගී තත්ත්වය උත්සන්න වීමේ ඉඩකඩ තිබෙනවා. මෙම සතියේ සිට (මාර්තු 30) ඔවුන්ට අවශ්‍ය බෙහෙත් වර්ග තැපැල් කිරීමට කොළඹ ජාතික රෝහලේ මානසික රෝග අංශය ක්‍රියා කරමින් ඉන්නවා."

    "ඒ වගේ ම මේ කොරෝනාවෛරසය වැළඳුණ කෙනෙකු, එය රහසක් වශයෙන් තියාගෙන ඉන්න අවශ්‍ය නැහැ. එය හෙළි කිරීමෙන් සමාජයට යහපතක් වන අතර, අන් අය තමන්ට උදව් කරන්න ඉදිරිපත් වීම තුළින් මානසික සහනයක් ද ලැබෙනවා," යැයි වෛද්‍යවරිය තවදුරටත් පැවසුවාය.

නව අදහස දක්වන්න