අර්බුදයේ දෙවන පියවර! | දිනමිණ

අර්බුදයේ දෙවන පියවර!

ඊළඟ මාස කිහිපය දෙස අවධානය යොමු කරන ජගත් ආයතන ගණනාවක් ම අනතුරු හැඟවීම් දෙකක් ඉස්මතු කර තිබේ. පළමුවන්න ගෝලීය ආර්ථික අර්බුදය උත්සන්න විය හැකි බව ය. දෙවන්න අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟය නිසා රටවල් විශාල ප්‍රමාණයක් දැඩි අර්බුදයකට යා හැකි බව ය. ආර්ථික අර්බුදයේ කැපී පෙනෙන ලක්ෂණ තුනක් දැනටම දැක ගන්නට ලැබේ. රැකියා අහිමිවීම, කර්මාන්ත හා අපනයන ඇද වැටීම මෙන්ම මූල්‍ය ගනුදෙනු ඇණ හිටීම එම ලක්ෂණ තුන ය. මේ තත්ත්වය මත ලෝක බලවතා වන අමෙරිකාවේ ආර්ථික සංවර්ධනය සියයට 14කින් ඇද වැටෙන බව පර්යේෂණ ආයතන පෙන්වා දී ඇත. අමෙරිකාව ඇතුළු යුරෝපය ඇද වැටෙන විට ආසියාවේ අපට එය තදින්ම බලපාන්නට පුළුවන.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළිත් ජගත් මූල්‍ය ආයතන වෙත ඉල්ලීමක් කර තිබේ. එම ඉල්ලීමෙහි කරුණු දෙකක් සඳහන් ය. එක, දියුණු වෙමින් පවතින රටවල් කෙරෙහි අවධානය යොමු කොට ජගත් මූල්‍ය ආයතන කිසියම් සහන වැඩපිළිවෙළක් සැලසුම් කළ යුතු බව ය. දෙක, මේ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ජගත් මූල්‍ය ආයතන වෙත කිසියම් බලපෑමක් සිදු කළ යුතු බව ය. මෙය දුරදක්නා ඥානයකින් යුතුව කරන ලද ඉල්ලීමක් බව ඉතා පැහැදිලි ය. ශ්‍රී ලංකාවට සමගාමීව අනෙක් රටවල නායකයන් ද මේ තත්ත්වය වටහාගෙන ක්‍රියා කිරීම ඉතා වැදගත් ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන් ද සහන ඉල්ලා සිටීමේ අයිතියක් ද ශ්‍රී ලංකාව වැනි රටවලට තිබේ.

ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන ඉපැයීම් මාර්ග කිහිපයක් මේ වන විට අර්බුදයකට ලක් වී ඇත. සංචාරක කර්මාන්තය, විදේශ රැකියා අංශය, ඇඟලුම් ඇතුළු ප්‍රධාන අපනයන, හා ව්‍යාපාර ඒ අතර පවතී. පාස්කු ප්‍රහාරයෙන් පසු බිඳ වැටුණු සංචාරක කර්මාන්තය යළි හිස ඔසවමින් පැවති අවස්ථාවක කොරෝනා වසංගතය කඩා වැදී එය මුළුමනින්ම විනාශ මුඛයට ඇද දමා ඇත. විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයෝ රැකියා අහිමි කරගෙන යළි මව්බිමට පිමිණෙති. ඇඟලුම් කෝටා විශාල ප්‍රමාණයක් අත්හිටුවා ඇත. අපේ ඇඟලුම් ප්‍රධානම ගැනුම්කරුවා වූ අමෙරිකාව සිය ආර්ථික කටයුතු යථා තත්ත්වයට ගැනීමට තවත් වසරක පමණ කාලයක් ගත කරනු ඇතැයි පුරෝකථනය වී තිබේ.

රජයට ප්‍රධාන අභියෝග දෙකක් ජයගැනීම සඳහා සටන් කිරීමට සිදු වී ඇත. පළමු අභියෝගය වන්නේ කොරෝනා වසංගතය පරාජය කිරීම ය. ඒ සඳහා කොපමණ කාලයක් ගතවේ ද යන්න කිව නොහැකි ය. ජනතාවගේ හැසිරීම් මත ඒ කාලය වඩාත් දීර්ඝ වන්නට ද පුළුවන. දෙවන අභියෝගය වන්නේ වසංගතයෙන් පසුව කඩා වදින ආර්ථික අභියෝග ජය ගැනීම ය. එය පහසුවෙන් ජයගත හැකි සටනක් නොවේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානියා ද මේ ගැන අනතුරු හඟවා ‍තිබේ. එක්තරා පර්යේෂණ ආයතනයක් පෙන්වා දෙන අන්දමට කොරෝනා වසංගතයේ දෙවන රැල්ලක් ඇතිවීමට ද ඉඩ තිබේ. එවැන්නක් අති වුවහොත් ශ්‍රී ලංකාව වැනි රටවල් තවත් අසීරු තත්ත්වයකට ඇද වැටෙනු ඇත.

කොරෝනා වසංගතය පිටු දැකීමේ සම්බන්ධයෙන් සේම මේ මොහොතේ ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් ද ආසියානු රාජ්‍යයන් යොදනු ලබන උපාය මාර්ග කෙරෙහි ‍ලෝක අවධානය යොමු වී ඇත. බහුතරයකගේ මතයට අනුව බටහිරට වඩා පෙරදිග සාර්ථක ය. ආසියානු රටවල පවත්නා පෙර සූදානම, සීමා පැනවීම් මෙන්ම නිරෝධායනය ද සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගනිමින් සිටින බව පෙනී ගොස් තිබේ. එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් සමඟ මෙරට කොරෝනා මර්දන කාර්ය සාධක කමිටුවේ සාකච්ඡාවක් පෙරේදා පැවැත්විණි. එම නියෝජිතයන් ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ පැසසුමට ලක්කර ඇති අතර අවශ්‍ය සහයෝගය ලබාදීමට කැමැත්ත පළ කර තිබේ. එය මේ මොහොතේ අපට ලැබෙන ශක්තියකි.

ශ්‍රී ලංකාවේ වැඩසටහන් නිරීක්ෂණය කළ විදේශීය නියෝජිතයන් වැදගත් විචාරයක් සිදු කර තිබේ. ඊට අනුව අපේ වැඩසටහන්වල කැපී පෙනෙන සාධනීය ලක්ෂණ හතරක් ඇත. එක, අවශ්‍ය දේවල් කඩිනමින් ක්‍රියාවට නැංවීම ය. දෙක, සියල්ල සැලසුම් සහගතව ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක වීම ය. තුන, සෑම ක්‍රියාවලියක්ම විනිවිදභායකින් යුතුව පවත්වා ‍ ගැනීම ය. හතර, රොගීහු හඳුනා ගැනීම සඳහා නිවැරැදි ක්‍රමවේදයක් අනුගමනය කිරීම ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී කියා ඇත්තේ දෙවන ලෝක යුද්ධයෙන් පසු දරුණු ම අර්බුදය අප හමුවේ ඇති බව ය. අමෙරිකන් ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් කියා ඇත්තේ මෙය බරපතළ යුද්ධයක් බව ය. ශ්‍රී ලංකාව ඉහත තත්ත්ව දෙකම වටහාගෙන ක්‍රියාකරන බවත් පෙනෙයි.

මේ අර්බුදයේ නිමාවක් දක්නට වසරක කාලයක් ගතවනු ඇතැයි අමෙරිකානු පර්යේෂණ කණ්ඩායමක් කියා තිබේ. ටෙක්සාස් සරසවියේ වෛද්‍ය පර්යේෂණ ආයතනය පෙන්වා දෙන අන්දමට කොරෝනා මර්දන එන්නතක් සොයා ගැනීමට ද වසරක කාලයක් ගත වනු ඇත. බලවත් රටවල් සේම ජගත් ආයතන කෙරෝනා වසංගතය සම්බන්ධයෙන් විවිධ මත පළ කරති. ඔවුන් එය මර්දනය සඳහා විවිධ උපාය මාර්ග යොදන බවද පෙනී යයි. ඇතැම් උපාය මාර්ග අසාර්ථක ය. ඇතැම් උපාය මාර්ග සාර්ථක ය. ශ්‍රී ලංකාව මේ තත්ත්වයට මුහුණ දෙන්නේ තමන්ගේ ම සැලසුම් හා උපාය මාර්ග ඔස්සේ ය. තිස් අවුරුදු යුද්ධය ජයගත්තේ ද එබඳු ක්‍රමවේදයක් ඔස්සේ ය.

කොරෝනා වසංගතය ජයගැනීම සඳහා සියල්ලන්ටම යම් කැපකිරීමක් කිරීමට සිදු වී ඇත. එය ඉටු නොවුණහොත් අප නවත්වන්නේ මහා ඛේචදවාචකයක් ළඟ ය.

 

නව අදහස දක්වන්න