ලෝක ටෙස්ට් ශූරතාවලියේ කාලය දීර්ඝ කරන්නැයි ඉල්ලීමක් | දිනමිණ


 

ලෝක ටෙස්ට් ශූරතාවලියේ කාලය දීර්ඝ කරන්නැයි ඉල්ලීමක්

නිරෝෂාන් ප්‍රියංකර
මිස්බා උල් හක්

කොරෝනා වෛරසය ලෝකයේ සියලු කටයුතු අඩාල කරද්දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියටත් ඉන් එල්ලවූ බලපෑම මත තරගාවලි සියල්ල තාවකාලිකව අවලංගු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ එහි සාමාජික රටවල් කටයුතු කළේය.

මේ හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පසුගිය වසරේ හඳුන්වාදුන් 'අයි.සී.සී.ලෝක ටෙස්ට් ශූරතාවලිය' ට ද දැඩි බලපෑමක් එල්ල වී තිබේ. රටවල් 9ක් එක්ව සිටින මේ ශූරතාවලියට තරගාවලි 27කදී තරග 72ක් ඇතුළත් වන අතර එහි අවසන් මහා තරගය ලබන වසරේ දී එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ති⁣බේ.

එහෙත් කොරෝනා හේතුවෙන් තරගාවලි කල් යද්දී නියමිත කාලය වනවිට සියලුම රටවලට අදාළ තරගාවලි ක්‍රීඩා කර අවසන් කිරීමට නොහැකි වෙයි.

මේ වනවිට ද්වීපාර්ශික ටෙස්ට් තරගාවලි 10කදී නිමාවී ඇති තරග සංඛ්‍යාව 28කි. එහිදී පාකිස්තානයේ සත්කාරකත්ව⁣ය යටතේ බංග්ලාදේශය සමග තරග දෙකකින් සමන්විත තරගාවලියේ එක් තරගයක් පමණක් පැවැති අතර අනෙක් තරගය ⁣ඊයේ කරච්චි නුවරදී ආරම්භවීමට නියමිතව තිබිණි. එම තරගයද දින නියමයකින් තොරව කල්දමා තිබේ.

මේ හේතුවෙන් තරගාවලිය නියමිත දිනයට අවසන් කර ගත නොහැකිවන අතර පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ තේරීම් කමිටු ප්‍රධානී මිස්බා උල් හක් පවසන්නේ ලෝක ටෙස්ට් ශූරතාවලියේ කාලය දීර්ඝ කිරීමට අයි.සී.සීය කටයුතු කළ යුතු බවය.

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට තරගාවලි රැසක් කල්දමා ඇති බැවින් අයි.සී.සී. ය මේ තීරණය ගතයුතු බවත්, එසේ ⁣කරන්නේ නම් ශූරතාවලියට අයත් තරගාවලියන්හි තරග කාලසටහන් සංශෝධනය කළ හැකි බවත් පවසන මිස්බා මෙයට වඩාත් සුදුසුම විසඳුම එය බවත් කියා සිටී.

ශූරතාවලියේ තරග අවසන් වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට එක්වෙයි. මේ වනවිට නිමාවී ඇති තරග අනුව ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ ලකුණු 360ක් සමගිනි.

ඔවුන් තරගාවලි 4කින් 3ක් ජයගෙන ඇති අතර නවසීලන්තය හමුවේ තරග 2කින් සමන්විත තරගාවලිය පරාජයට පත්විය. බටහිර ඉන්දීය කොදෙව් (2), දකුණු අප්‍රිකාව (3) සහ බංග්ලාදේශය (2) ඉන්දියාව හමුවේ පරාජයට පත්විය.

තරගාවලි 3කින් 2ක් ජයගත් ඔස්ට්‍රේලියාව තරග 7ක් දිනා ලකුණු 296ක් සමගින් දෙවැනි ස්ථානයේ පසුවන අතර නවසීලන්තය තෙවැනි තැන පසුවන්නේ තරගාවලි 3කින් එකක් ජය ගනිමිනි. එංගලන්තය සහ පාකිස්තානය පිළිවෙළින් සිවුවැනි සහ පස්වැනි ස්ථානවල පසුවන අතර ශ්‍රී ලංකාව තරගාවලි 2කදී එකක් ජය පරාජයෙන් තොරව නිමා කරමින් 6 වැනි තැන සිටී. එහිදී නවසීලන්තයට එරෙහිව තරගයක් ජයගත් ශ්‍රී ලංකාව, නවසීලන්තය සහ පාකිස්තානය හමුවේ තරගයක් බැගින් පරාජයට පත්විය. දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කො⁣දෙව් සහ බංග්ලාදේශය පිළිවෙළින් හත, අට සහ නමවැනි ස්ථානවල පසුවෙයි. බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශය තවමත් ප්‍රසාද ලකුණු ලබාගැනීමට සමත්ව නැත.

 

 

 

නව අදහස දක්වන්න