පී.එච්.අයි. ට පිහි පහර දුන් බාලවයස්කරු අත්අඩංගුවට | දිනමිණ


 

පී.එච්.අයි. ට පිහි පහර දුන් බාලවයස්කරු අත්අඩංගුවට

ස්වයං නිරෝධායන නිවසක් පරීක්ෂාවට ගිය

කළිනුත් පරිවාසයේ සිටි කසිප්පු ජාවාරමෙක්

කොවිඩ් 19 වෛරසය පැතිර යෑම පාලනය කිරීමට ප්‍රජා සෞඛ්‍ය සම්බන්ධයෙන් නිරන්තර කරුණු සොයා බලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට රඹුක්කන පතරම්පිටියේ දී පිහියකින් ඇණ කැලෑ පැන සිටි බාලවයස්කරු අත්අඩංගුවට ගත්බව සබරගමුව පළාත් බාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස්. පතිනායක මහතා සදහන් කළේය.

මෙම පිහි ඇණුම සිදුව ඇත්තේ පෙරේදා (04) සවස 3.00ට පමණය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා රඹුක්කන මහජන සෞඛ්‍ය කාර්යාලයට අනුයුක්තව සේවයේ නිරතව සිටින්නෙකි. පතරම්පිටිය ගම්මානයේ පවුල් කිහිපයක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර ඒ අය සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේ දී ඔහු මෙම ප්‍රහාරයට ලක්ව තිබේ.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා සඳහන් කරන්නේ ස්වයං නිරෝධායනය වන පුද්ගලයන් ගැන කරුණු සොයා බැලීමට ගම්මානයට ගිය අවස්ථාවේ දී එම ගම්මානයේ වැසියන්ට ජලය නොමැති බව දැනගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ග්‍රාමසේවක මඟින් ජල බවුසරයක් ගෙන්වාගෙන නිවෙස්වලට බෙදා දීම ටද පියවර ගෙන ඇති බවයි. ජලය බෙදමින් යන විට ගම්මානයේ නිවසක් ඉදිරිපිට ගෙවත්තක බැරලයක් තිබෙනු දුටු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එම බැරලයට ජලය පිරවීමට හැකිදැයි සොයා බැලීමට ගිය අවස්ථාවේ දී එකවරම එතැනට දුවගෙන පැමිණි සැකකරු පයින් ගසා බැරලය බිමට පෙරළා නිවසට දිවගොස් ඇතැයි ද විමර්ශනවලින් අනාවරණය වී තිබෙන බවද පතිනායක මහතා සඳහන් කළේය. ඒ සමඟම එම සැකකරු නිවසේ තිබුණු පාන් කපන පිහිය රැගෙනවිත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ඇණ කැලෑවැදී ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

එම බැරලයේ තිබී ඇත්තේ නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා බව ද පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත. මෙම සැකකරු බාලවයස්කාරයෙක් වුවත් සිය මිත්තනියගේ නිවසේ රැඳී සිටිමින් මත්පැන් පෙරීම් කරන බවද අනාවරණය වී තිබේ. 2015 වසරේ මෙම සැකකරු පරිවාසයට යොමු කර තිබී ඇති බවද අනාවරණය වන බවත් ගෝඩා බැරලය තිබුණේ ද ඔහුගේ මිත්තනිගේ ගෙවත්තේ බවත් පතිනායක පැවැසීය. මෙම සැකකරු වැඩි වශයෙන් රැඳී සිටින්නේ කැලෑබඳව බවත් ඔහුට ගම්මානය අවට ඇති කැලෑව හොඳින් හුරු පුරුදු බවත් විමර්ශනවලින් පෙනී යන බව ලලිත් පතිනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න