එළවළු මල්ලෙන් කොරෝනා ගෙදරට එයි ද? | දිනමිණ


 

එළවළු මල්ලෙන් කොරෝනා ගෙදරට එයි ද?

කොරෝනා වෛරසය වර්ධනය වන්නේ ආම්ලික පරිසරයක් තුළ බව සොයා ගෙන තිබේ. සෛල තුළ භාෂ්මික තත්ත්වයක් ඇති කිරීම පිණිස මෙම රෝගයට ප්‍රතිකාරයක් ලෙස මැලේරියා රෝගය සඳහා භාවිතා කළ ඖෂධය භාවිතා කරන්නේ එබැවිනි. දෙහි වැනි කොළ යොදා ගනිමින් හුමාලය ආඝ්‍රාණය කළ විට එම හුමාලය සහිත ජලය ආම්ලික වන අතර එවිට එය වෛරසය තව දුරටත් වර්ධනය වීමට උපකාර වීමේ ඇති හැකියාව බැහැර කළ නොහැකිය.

මරණ කිහිපයක් ද වාර්තා කරමින් අපේ රටේ පැතිර යන කොරෝනා ආසාදනය ව්‍යාප්ත වීම වෙනත් රටවල් හා සසඳා බලන විට රජය සහ සෞඛ්‍ය අංශ එකතුවෙන් යම්තාක් දුරට පාලනය කොට තිබේ. මේ තරමට හෝ රෝගීන් වාර්තා වන්නේ කිහිප දෙනකුගේ නොමනා ,විනයක් නැති හැසිරීම නිසාය.

හඳුනා ගෙන තවමත් මාස තුන හතරක් වන ලෝකයටම අලුත් මෙම වෛරසය ඉතා කෙටි කාලයක් තුළ විශාල ප්‍රමාණයක් මිනිසුන් ආසාදිතයන් බවට පත් කර අවසන්ය. තරාතිරමකින් තොරව මුළු ලෝකයම මාරාන්තික තත්වයකට ඇද දැමූ මෙම රෝග කාරක වෛරසය පිළිබඳව සහ එහි හැසිරීම පිළිබඳ ව ලෝකයේ විද්‍යාඥයන්ට තවමත් නිසි පරිදි සොයා ගැනීමට නොහැකි වී ඇත. එම නිසා මෙම රෝගය ට මුහුණ දීමේදී අපට බුද්ධිමත්ව කටයුතු කළ යුතුය.

වෛරසය ආක්‍රමණය කරන්නේ අපගේ ස්වසන පද්ධතියේ ස්වසන පටකයයි.මේ දක්වා යම් අයකු රෝග ලක්ෂණ පෙන්නුම් කරන විට ඔහු PCR ( polymerase chain reaction ) නමැති පරීක්ෂණයට භාජනය කර ස්වසන පටකයෙන් ලබා ගන්නා සෙම පටලයක් පරික්ෂා කරනු ලබයි. එම සෙම පටලයේ අඩංගු වෛරසවල ප්‍රවේණික ද්‍රව්‍ය කෘතිමව වර්ධනය කිරීමක් සිදු කොට ඒ තුළ මෙම වයිරසයේ ප්‍රවේණික ද්‍රව්‍ය දාමයන් තිබේදැයි පරික්ෂා කිරීම මෙහිදී සිදු කරයි. නමුත් ඇතැම් විට ලබාගන්නා සාම්පලයේ එම වෛරසය අඩංගු නො වන්නට ඉඩ තිබේ. එසේ ම සාම්පල ලබා ගන්නා ක්‍රමවේදය අනුව සහ උෂ්ණත්වය අනුවත් මෙම වෛරස ලබාගන්නා සාම්පලය තුළ සජීවීව නොපවතින්නටද ඉඩක් තිබේ. මෙවන් හේතු නිසා මෙම පරීක්ෂණයෙන් සාර්ථක ප්‍රතිඵල ලබා දෙන්නේ සියයට හැත්තෑවකට ආසන්න පිරිසකට බවට සොයා ගෙන ඇත.

එවිට සිදු වන්නේ ඉතුරු තිස් දෙනා සමාජයට මුදා හැරීම මගින් ඔවුන්ගෙන් විශාල ප්‍රමාණයකට මෙම රෝගය ආසාදනය වීමට ඇති අවදානම වැඩි වීමයි.

රෝග ලක්ෂණ නොමැති වුවත් ආසාදිත යැයි සැක කටයුතු රෝගීන්ට දින කිහිපයක දී නැවත නැවත තෙවරක් වත් මෙම පරීක්ෂණය සිදු කළ යුතු බවට දැන් නිර්දේශ කර තිබේ.

එසේ ම මතක තියා ගත යුතු වැදගත්ම දෙය වන්නේ ආසාදිත පුද්ගලයන්ගෙන් අප දන්නා රෝග ලක්ෂණ පහළ වන්නේ ආසන්න වශයෙන් 20% කට පමණක් වන බවයි. ඉතිරි 80%න් රෝග ලක්ෂණ නොමැති වුවත් රෝගය සම්ප්‍රේෂණය වීමේ හැකියාව තිබේ .

නිරෝධායන කඳවුරු සහ සිය නිවෙස් තුළ ම ස්වයං නිරෝධායනය වශයෙන් ක්‍රම දෙකකට සිදු කරන නිරෝධායන ක්‍රියාවලිය දින 14ක කාලයක් සිදු වන නමුත් මෙම වෛරසය ඊට වඩා වැඩී කාලයක් සිරුර තුල රෝග ලක්ෂණ නොමැති ව පැවතීමේ හැකියාව තිබේ. එම නිසා යම්කිසි පුද්ගලයකු නිරෝධායනය වූ පමණින් තමන් තුළ වෛරසය නොමැති බවට ප්‍රත්‍යක්ෂ කොට සිතා ගත යුතු නැත. නිවස තුළ නිරෝධායනය වන පුද්ගලයන් සාර්ථකව නිරෝධායනය සිදුකරනවාද යන්න ද ගැටලුවකි. විශේෂයෙන් කලක් විදෙස්ගතව සිට පැමිණි එසේ නිරෝධායනයට ලක්වන පුද්ගලයන් නිරෝධායනය පසෙක තබා සාමාන්‍ය අඹු සැමි සබඳතා පවා පවත්වන බව දැන ගන්නට ලැබේ.

වෙළෙඳ පොළෙන් අප මිලදී ගන්නා එළවළු සහ පලතුරු මගින් මෙම රෝගය ආසාදනය වීමට ඇති හැකියාව බොහෝ දෙනාගේ අවධානයට යොමු නොවූ කරුණකි. අපේ රටේ බොහෝ විට එළවළු අළෙවිය සිදු වන්නේ බිම තබාගෙනය. වෛරසය සහිත ආසාදිත පුද්ගලයන්ගේ මුඛය සහ නාසය ආශ්‍රිත ව පිටවන රෝග කාරක වෛරස අඩංගු බිඳිති මීටරයක් පමණ ඇතුළත බිම පතිත වන බව අප දන්නා කරුණකි. ඇතැම් විට මේවා පතිත වන්නේ එළවළු සහ පලතුරු මත විය හැකිය. වෙළෙඳ පොළේ පාරිභෝගිකයන් සඳහා විකිණීමට තබා ඇති අවස්ථාවල සහ එළවළු ප්‍රවාහනයේ දී වුවත් මෙය සිදු විය හැකිය. මේ නිසා එළවළු මිලට ගැනීමේදී සහ ආහාරයට සැකසීමේ දී ඒ සඳහා අත් ආවරණ යොදා ගෙන එම කටයුතු සිදු කරන්නේ නම් එය වඩා ආරක්ෂා සහිතය. පලතුරු ආහාරයට ගැනීමට පෙර ඒවා විනාඩි කිහිපයක් උණුවතුරේ හෝ ලුණු වතුරේ බහා තැබීම වඩාත් සුදුසු වේ. ඉහළ උෂ්ණත්වයේදී වෛරසය විනාශ වීම නිසා හොඳින් පිස ගත් ආහාර අනුභව කිරීමෙහි කිසිදු ගැටලුවක් නැත.

මෙම වෛරසය ලෝකයට අලුත් වෛරසයක් වීම හේතුවෙන් ඒ සඳහා නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් තවම සොයා ගෙන නොමැති නිසා අප භාවිතා කරන අත් බෙහෙත් හෝ වෙනත් ක්‍රමවේදයක් මෙහිදී කොතරම් දුරට ඵලදායි වේදැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක. මිනිස් ජීවිත අවදානමකට ලක් කිරීම කළ නොහැකි නිසා එවන් ක්‍රමවේදයන්හි සාර්ථක අසාර්ථක බව පරීක්ෂා කිරීමට මෙම වසංගත කාලය සුදුසු නොවේ.

යම් යම් කොළ වර්ග යොදා හුමාලය ඇල්ලීම සහ ලුණු වතුර මගින් උගුර සේදීමත්. නිරතුරුව උණුවතුර පානය සහ තේ පානය කිරීමත් සුදුසු බවට සමාජ මාධ්‍ය ජාල තුළ විවිධ පුද්ගලයන් විසින් පතුරුවා හරිනු දක්නට ලැබෙන අතර බොහෝ දෙනා විචාරයකින් තොරව මේවා පිළිගන්නා බවක් ද දක්නට ලැබේ. දේශීය හෝ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබඳව නිසි අධ්‍යයනයක් සිදු කර නොමැති සමහර බටහිර වෛද්‍යවරුන් ද එම ක්‍රියාමාර්ග අනුමත කොට තිබේ.

තමන් ප්‍රත්‍යක්ෂව නොදන්නා දෙයක් නිර්දේශ කිරීම වෛද්‍ය ආචාර ධර්ම කඩ කිරීමකි.

අපේ ශරීරයෙහි ප්‍රතිශක්තිකරණ පද්ධති දෙකක් තිබෙන අතර පළමු පද්ධතිය මගින් සිදු කරන්නේ සිරුරේ සමහර සෛල යොදා ගනිමින් සිරුරට ඇතුළු වෙන ආගන්තුක ද්‍රව්‍යයන්,ක්ෂුද්‍ර ජීවීන් වැනිදේ විනාශ කිරීමයි. මෙය සෛල මගින් සිදුවන ක්‍රියාවක් බැවින් එහි ක්‍රියාකාරීත්වය ඉතා මන්දගාමී වේ. එසේම ප්‍රචණ්ඩ බවින් වැඩි රෝගකාරක සඳහා මෙම ප්‍රතිශක්තිය ප්‍රමාණවත් නොවේ. යම්කිසි රෝග කාරකයක්, විශේෂයෙන්ම වෛරසයක් සිරුරට ඇතුලු වූ විට සිරුරේ දෙවන ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් එම රෝග කාරකය හඳුනාගෙන එය විනාශ කිරීම සඳහා විශේෂිත වූ ප්‍රතිදේහ නම් ප්‍රෝටීනයක් නිපදවනු ලබයි. එම ප්‍රෝටීනය මගින් අදාල රෝග කාරක වෛරසය සීග්‍ර වශයෙන් විනාශයට පත් කරයි.

මෙම සුවිශේෂී ප්‍රෝටීනය අදාළ පුද්ගලයාගේ රුධිර පරීක්ෂාවකින් හඳුනා ගැනීම මගින් ඔහුට එම රෝගය වැළඳී තිබේද යන්න හඳුනා ගැනීමට හැකියාව ලැබේ. මෙම නිශ්චිත සහ ප්‍රබල ප්‍රතිශක්තිය සිරුර තුළ ඇති වීම සඳහා අදාල වෛරසය සිරුරට ඇතුළුවීම අත්‍යවශ්‍ය වෙනවා. යම්කිසි කොළ වර්ගයක්, පානයක් හෝ ඖෂධයක් මගින් එම ප්‍රතිදේහ සිරුර තුළ නිපදවීමට හැකියාවක් නැත. නමුත් ප්‍රතිදේහ යනු ප්‍රෝටීන වන බැවින් ප්‍රෝටීන සහිත ආහාර බහුලව ලබා ගැනීමත් මියයන වෛරස කොටස් සිරුරෙන් ඉවත් කිරීම පිණිස ජලය වැඩිපුර පානය කිරීමත් සිරුරේ මෙම ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට ආධාර වේ.

උණු වතුර හුමාලය ආග්‍රහණය කිරීම බටහිර වෛද්‍ය විද්‍යාවේදී යොදා ගන්නේ ස්වසන මාර්ගයේ ඇති ඝනකම් සෙම තුළට ජලය ඇතුලු කොට එහි ඝණකම අඩු කොට පහසුවෙන් පිට කිරීම ට ඉඩ සැලැස්වීම සඳහාය. ඒ මඟින් ශ්වසන මාර්ගයේ අවහිරතා අඩුවන නමුත් රෝග නිවාරණය සඳහා විවිධ කොළ වර්ග සහිත හුමාලය ඇල්ලීම බටහිර වෛද්‍ය ක්‍රම තුළ නිර්දේශ කොට නැත.

බොහෝ රෝග කාරක සිරුරේ උණුසුමට මදක් ඉහළ උෂ්ණත්වයේදී හොඳින් වර්ධනය වන බව අප දනිමු. හුමාලය ආඝ්‍රාණය කිරීමේදී සහ උණුවතුර පානය කිරීමේදී ස්වසන පටක හෝ ආහාර ජීරණ පද්ධතිය අඛණ්ඩව ඉතා ඉහළ උෂ්ණත්වයක පවතින්නේ නැත. අප පානය කරන්නේ හෝ ආග්‍රහණය කරන්නේ සිරුරට දැරිය හැකි උෂ්ණත්වයක ඇති හුමාලය හෝ පාන වර්ගය. මේවා සිරුර තුළට ගැනීමේදී සිරුරේ පටක මගින් උෂ්ණත්වය අඩු කොට සිරුරේ උෂ්ණත්වයට සමාන කරගනු ලබයි. උණුසුම් පානයන් පානය කිරීම සහ.

.කොරෝනා වෛරසය වර්ධනය වන්නේ ආම්ලික පරිසරයක් තුළ බව සොයා ගෙන තිබේ. සෛල තුළ භාෂ්මික තත්ත්වයක් ඇති කිරීම පිණිස මෙම රෝගයට ප්‍රතිකාරයක් ලෙස මැලේරියා රෝගය සඳහා භාවිතා කළ ඖෂධය භාවිතා කරන්නේ එබැවිනි. දෙහි වැනි කොළ යොදා ගනිමින් හුමාලය ආඝ්‍රාණය කළ විට එම හුමාලය සහිත ජලය ආම්ලික වන අතර එවිට එය වෛරසය තව දුරටත් වර්ධනය වීමට උපකාර වීමේ ඇති හැකියාව බැහැර කළ නොහැකිය. එමෙන්ම තද ලුණු වතුර මගින් කිහිප වතාවක් උගුර සේදීමෙන් එහි ඇති ශ්ලේෂ්මල පටලය විනාශ වීමට ඉඩ තිබේ. එවිට රෝගකාරකයන්ට සිරුර තුළට පහසුවෙන් ඇතුළු වීමේ හැකියාව ලැබේ. එම නිසා මෙම ක්‍රම නිර්දේශ කිරීමේදී ඒ පිළිබඳව විද්‍යාත්මකව සිදු කළ පරීක්ෂණවල ප්‍රතිඵල මත මිස තම සිතැඟි අනුව පෞද්ගලික මතයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම සුදුසු වන්නේ නැත.

මේ අනුව පැහැදිලි වන කරුණක් වන්නේ සමාජ මාධ්‍ය ජාල තුළ විවිධ පුද්ගලයන් නාමිකව හෝ නිර්නාමිකව පළකරන හෝ බෙදා හරිනු ලබන, විද්‍යාත්මකව ප්‍රත්‍යක්ෂ නොවූ උපදෙස් අනුගමනය කිරීමේ දී මහජනතාව වඩා බුද්ධිමත් වීම අවශ්‍ය බවයි.

මහනුවර ජාතික රෝහලෙහි
වෛද්‍ය,නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ

MBBS (PERADENIYA )
LL.B (OUSL )
CER PSYCHOLOGY & COUNSELING

සටහන
දිල්රූ ජයසේකර

නව අදහස දක්වන්න