කොරෝනා හමුවේ විමධ්‍යගත විය යුතු සැපයුම් ජාලය | දිනමිණ

කොරෝනා හමුවේ විමධ්‍යගත විය යුතු සැපයුම් ජාලය

මූල්‍ය හා ආර්ථික විශ්ලේෂක ආනන්ද අමරවංශ

කොරෝනා වසංගතය මුළු රටම අකර්මන්‍ය කර ඇත. එයින් රට බේරා ගැනීමට ලොව පුරා අත්දුටු අත් දැකීම් ඉවහල් කරගෙන නිරෝධායන හා ප්‍රතිකාර යාන්ත්‍රණයක් පොලිසිය හා ත්‍රිවිධ හමුදාව එක්ව මේ වන විට රජය ක්‍රියාත්මක කරමින් සිටී . ඇඳිරිනීතිය , ප්‍රදේශ හුදකලා කිරීම , හා ජන ජීවිතය කුටුම්භයන්ට කොටුකර තැබීම, රෝගයට කරනු ලබන ප්‍රතිකාර වලට අමතරව , එහි පැතිරීම වැලැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියා මාර්ග වේ.මෙම ක්‍රියා මාර්ග ඔස්සේ ආර්ථිකය හා ජන ජීවිතය අපහසුතාවයට පත්කරන අතුරු ප්‍රතිඵල රාශියක් උද්ගත වෙමින් පවතී. සමගාමී යාන්ත්‍රණයක් මගින් මෙම අපහසුතාවයන්ගෙන් ආර්ථිකය හා ජනජීවිතය මුදා ගැනීමට කටයුතු කිරීම ද වගකිව යුතු රජයක වගකීම වේ.

නිෂ්පාදනය හා සැපයීම , බෙදාහැරීම හා පරිභෝජනය ආර්ථිකයක් හැසිරවීමේ මූලික කාර්යයන් වේ. මෙවන් අර්බූධකාරී අවස්ථාවක මේ ගැන අවධානය යොමු නොකර සිටීම වසංගතයේ අතුරු ඵලයන්ගෙන් වන හානිය වැඩි කිරීමට සමත් වේ. එය ජන ජීවිතය අඩාල කිරීමට ද හේතුවක් වන අතර එය වැලක්වීමට ගන්නා ක්‍රියා මාර්ග හේතු බීජය වන වසංගතය බැරෑරු ම් කිරීමට අනුබල දෙන්නක් ද විය යුතු නැත.

මෙවන් අවස්ථාවල ආර්ථිකයට හා ජන ජීවිතයට දැඩි ලෙස බලපාන කරුණු වන්නේ පවතින නිෂ්පාදනය බෙදාහැරීමේ මාර්ග ඇහිරීමෙන් ඒවා අපතේ යාම හා අත්‍යවශ්‍ය භාණ්ඩ නොලැබීමෙන් ඇතිවන පරිභෝජන දුෂ්කරතා නිසා ජන ජීවිතය අඩාල වීමය . බෙහෙත් ද්‍රව්‍ය හා ආහාර ද්‍රව්‍ය මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ වන අතර ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය බෙහෙවින් රටේ කෘෂිකර්මාන්තය මත රඳා පවතී . මෙම කර්මාන්තයේ නියැලෙන ජනතාව කුටුම්භයන්ට කොටුකර තැබීමෙන් හා ඔවුන්ගේ නිෂ්පාදන බෙදා නොහැර ගොවි බිම තුලම තැබීමෙන් හෝ අක්‍රමවත් බෙදාහැරීම් මාර්ග වලින් අපතෙ යාමට ඉඩ හැරීමෙන් කිසිදු පලක් නොවන අතර අත්‍යවශ්‍ය පරිභාජනයට ද එය ඉවහල් වන්නේ නැත. එවන් නිෂ්පාදන දිරිමත් කිරීමත් , බෙදාහැරිම හා පරිභෝජනය ක්‍රමවත් කිරීමත් පිළිබඳව අධීක්ෂණය හා පසු විපරම් සහිත යාන්ත්‍රණයක් මෙවැනි අර්බූදයකදී අත්‍යවශ්‍ය වේ. ලෝක යුද්ධ සමයේදී යොදාගන්නා ලද ක්‍රමවේදයන් හා ආයතන රටාව පසක් කර ඇත්තේ ව්‍යසනකාරී අවස්වථාවලදී කටයුතු කළ යුත්තේ කෙසේද යන්නය.

එපමණක් නොව මෙම ක්‍රමවේද හා ආයතනයන් පසුකාලීනව එම රටවල් වල ස්ථාපිතවූ ආර්ථික ක්‍රියා දාමයන් බවට ද පත් කරගෙන ඇත. දේශීය නිෂ්පාදනය වැඩි දියුණු කිරීම, සමාජයීය සහභාගිත්වය හා අන්‍යොන්‍ය උපකාර තුලින් අත්‍යවශ්‍ය හා හිග භාණ්ඩ බෙදා හැරීමේ සමාජශීලි වෙළඳ රටාවක් හා සාධාරණ වූ පරිභෝජන රටාවක් බිහිවීම අර්බූදයන්ගෙන් පැන නගින ආශීර්වාදාත්මක අතුරු ප්‍රතිඵලයන් වී ඇති බව ලෝක ඉතිහාසය සාක්ෂි දරයි.

කොරෝනා වසංගතය නිසා පැනවූ ඇඳිරි නීතියට සමගාමිව ආර්ථික හා පරිභෝජන කටයුතුවලට එල්ල වූ බලපෑම නිසා ගොවි නිෂ්පාදන අලෙවි කරගැනීමට නොහැකිවීම නිසා ඔවුන් අන්ත අසරණ තත්වයට පත්වීමත් , අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම් නිසිලෙස ක්‍රියාත්මක නොවීමෙන් කුඩුම්භයන්ට කොටුවී සිටින ජනතාවගේ පරිභෝජන අවශ්‍යතා ඉටුකර ගැනීමට නොහැකිවීමත් ගැටලුවක්වී ඇත. ඇඳීරි නීතිය පැවතුනත් ගොවීන්ට තම නිෂ්පාදන කටයුතු කරගෙන යාමට අවසර දීම යහපත් වුව ද මධ්‍යගත ආර්ථික මධ්‍යස්ථාන කරා ගොවි නිෂ්පාදන, ඉල්ලුම තක්සේරු නොකොට හා සමාජ දුරස්ථභාවය නොතකා , ගෙන ඒමට ඉඩ සැලසීමෙන් ඇතිව ඇති තත්වය ශුභදායි නොවේ.

විධිමත් භාවයකින් හා සීමාවකින් තොරව සියලුම ගොවි නිෂපාදන සෑම පළාතකින්ම මධ්‍යගත ස්ථානයකට ගෙන ඒමට සැලසීම හා ඒ මගින් මධ්‍යගත වෙළඳ පොළක් නිර්මාණයවීමට ඉඩ දීම අසාර්ථක මෙන්ම වසංගත තත්වය හමුවේ අනතුරුදායක සිද්ධියක් වී ඇත.සැපයුම හා ඉල්ලුම සමපාත නොවීම නිසා අඩුමිලට භාණ්ඩ විකිණීමත් පාලන මිළක් ඇති කළත් වෙළෙදුන් නොපැමිණීම නිසා වෙළඳ පොළ තුලදීම ඒවා විනාශ වීමත් සිදුවනවා පමණක් නොව විවිධ පළාතවලින් ගොවින් හා වෙළෙඳුන් අසීමිතව රැස්වීම තුලින් වසංගත රෝගය පැතිරීමේ අනතුරු දායක තත්වයක් ද ඇති වේ .

ඉල්ලුම්කාර පාරිභෝගිකයා කුඩුම්භයන්ට සිරවී සිටිද්දී ගොවි නිෂ්පාදන අක්‍රමවත් මධ්‍යගත වෙළඳ ක්‍රමය නිසා මෙසේ විනාශවීම ඛේදවාචකයකි.

එමෙන්ම අසංවිධිත වෙළඳ රටාව නිසා පරිභෝජන ද්‍රව්‍ය බෙදාහැරිම කාර්යක්ෂමව හා ප්‍රමාණවත්ව සිදුවන්නේ ද නැත. ජාත්‍යන්තර අහාර සැපයුම් මාර්ග ද අවහිරවිමේ ප්‍රවනතාවය සමඟ මෙම තත්වය දිගු කලක් පැවතියහොත් එය දුර්භික්ෂයකට ද අත වනන්නක් වනු ඇත.

මෙම තත්වය මඟ හරවා ගෙන ගොවි නිෂ්පාදන වලින් උපරිම ප්‍රයෝජනය ගොවියාට හා පරිභෝගිකයාට ලබා දීම සඳහා වැඩ පිළිවෙලක අවශ්‍යතාවය රටට දැනී ඇත. මේ සඳහා මනා කළමනාකාරිත්වයකින් යුතු යාන්ත්‍රණයක් පවතින පාලන ව්‍යුහයක් තුල කිසියම් ක්‍රමවේදයක් ඇති කර ගත හැකිය. එහිදී සැලකිව යුතු කරුණු කීපයක් වේ. එනම්,

(අ) ගොවි නිෂ්පාදන රැස්කිරීම හා බෙදාහැරිම විමධ්‍යගත කිරීම

(ආ ) රාජ්‍ය අංශය හා පුද්ගලික අංශය ඒකාබද්ධවී ගොවි නිෂ්පාදන මිලට ගැනීම,රැස්කිරීම හා බෙදාහැරිම සඳහා යාන්ත්‍රණයක් රජයේ මැදිහත්වීමෙන් හා අධීක්ෂණයෙන් යුතුව ක්‍රියාත්මක කිරීම

(ඇ) සමුපකාර ක්‍රමය හා නායකයන්ගෙන් යුතු කණ්ඩායම් හා සමිති ගොවියාතුලත් වෙළඳ ප්‍රජාව හා පාරිභෝගිකයා තුලත් ප්‍රචලිත කිරීම

(ඈ) වැටුප් ලබන රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවා නියුත්තිකයන්ගේ ස්වෙච්ච සහභාගිත්වය මේ සඳහා උපරිමව ලබා ගැනීම

විමධ්‍යගත ක්‍රමය

ගොවි නිෂ්පාදන රැස්කිරීම හා බෙදාහැරීම විමධ්‍යගත කිරීමේදී දැනට පවත්නා ආර්ථික මධ්‍යස්ථාන විධිමත් ලෙස රට පුරා විසුරුවා හැරීමට සිදුවන අතර ඒ සඳහා පවත්නා සම්පත් තුල ප්‍රාදේශීය සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීමට සිදු වේ. සෑම ළාතකම සිටින ආණ්ඩුකාරවරුන් වෙත අවශ්‍ය බලතල පවරා දීමට මෙහිදී සිදු කළ හැකි අතර මෙම කාර්යයේදී මධ්‍යම ආණ්ඩුවේ නිලධාරීන්ගේ හා පළාත් ආණ්ඩු නිලධාරීන්ගේ ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඇති කිරීම මුලික අරමුණක් වන අතර අවශ්‍යතාව අනුව ජනාධිපතිගේ නියෝජිතයා වශයෙන් කටයුතු කිරිමට ඔහුට සිදුවනු ඇත. මොහු යටතේ පළාත් සභා හා කච්චේරි (දිස්ත්‍රික් ලේකම්) කාර්ය මණ්ඩල

එකාබද්ධවූ සංවිධානයක් , කාර්ය බලකායක් වශයෙන් , පළාත් බදව ක්‍රියාත්මක කළ හැකිය.

බිම් මට්ටමේදී ග්‍රාමසේවක නිලධාරි හා ක්ෂේත්‍ර නිලධාරින්ද පළාත් පාලන ආයතන නිලධාරින්ද යාන්ත්‍රණයේ ක්‍රියාකාරිත්වය හා අධීක්ෂණයට දායක කර ගත හැකි ආකාරයේ වැඩ පිළිවෙලක් මගින් කොරෝනා සතුරාට විරුද්ධව සටන් කිරීමට අදාල පාර්ශ්වයන්ට ඉඩ හරිමින් තම දායකත්වය , භාණ්ඩ රැස්කිරීම හා කුටුම්භයන් අතට බෙදාහැරිමේ යාන්ත්‍රණයකට ලබා දීමට දැනට නිකරුනේ කාලය ගත කරන රාජ්‍ය සේවකයාට ද හැකියාව ලැබෙන අතර පුද්ගලික අංශයේ උපරිම සහයෝගය ද මෙයට ලබා ගැනීමෙන් ඒකාබද්ධ වන වැඩ පිළිවෙලක් තුල උපරිම ඵල නෙලා ගැනීමට ද මෙම දුෂ්කර අවස්ථාවේ හැකිවනු ඇත.

ග්‍රාම සේවක නිලධාරි වසම හා පළාත් පාලන බල ප්‍රදේශය දැනට වෙන්ව ක්‍රියාත්මක වෙතත් මේ දෙකෙහිම වෙසෙන්නේ එකම පුරවැසියන්ය. ග්‍රාමසේවා වසම් රාජකාරි දිස්ත්‍රික් ලේකම්යටතේ මධ්‍යම රජයේ රේඛිය අමාත්‍යාංශයක් හරහා ක්‍රියාත්මක වන අතර පළාත් පාලන ආයතන ඍජු අධික්ෂණයකට යටත් නොවන ස්වාධින දේශපාලන අදිකාරීන් වශයෙන්කටයුතු කරයි . ආණ්ඩුකාරවරයාට පළාත් සභාව හරහා මේ ආයතන නිලධාරින් සම්බන්ධිකරනයකට ලක් කළ හැකිය .මෙම දුෂ්කර අවස්ථාවේදී පක්ෂ දේශපාලන අදහස් වලින් මිදුණු කළමනාකරණ යාන්ත්‍රණයක් රට තුල ක්‍රියාත්මක විය යුතු අතර විමධ්‍යගත වැඩ පිළිවෙලේදී පළාත එක කුලකයක් වශයෙන් සැලකිව යුතුය.

ක්‍රියාකාරිත්වය

ග්‍රාමසේවක හා ක්ෂේස්ත්‍ර නිලධාරින්ගේ හා පළාත් පාලන නිලධාරීන්ගේ කාර්ය වන්නේ පක්ෂ දේශපාලනයෙන් බැහැරව බිම් මට්ටමේ ගොවි නිෂ්පාදන රැස්කිරීමේ හා බෙදා හැරීමේ කාර්ය ක්‍රමවත්ව අධීක්ෂණය කිරීමයි. බිම්මට්ටමේ ක්‍රියාකාරිත්වය සඳහා සමුපකාර හා ගොවි සංවිධාන ක්‍රම වේදය බල ගන්වා කණ්ඩායම් කළමනාකාරිත්වය හා නායකත්වය තුලින් බිම් මට්ටමේ කාර්යද විමධ්‍ය ගත කළ හැකිය. මෙහිදී ප්‍රදේශ වශයෙන් පවතින ගොවි නිෂ්පාදනවල ස්වභාවය හා ප්‍රමානවත්භාවය ද පරිභෝජන අවශ්‍යතා ද පිළිබඳව දැනුවත් වීමක් ලබා ගැනීම වැදගත් වේ. ප්‍රදේශයේ පවතින පරිභෝජන අවශ්‍යතා වලට අමතරව පවතින අතිරික්ත නිෂ්පාදනය පලාතෙන් බැහැරට ගෙනයාම සඳහා පිහිටුවන යාන්ත්‍රණයට යොමු කළ යුතුය.

අන්තර් පළාත් සන්නිවේදනයෙන් ලබාගන්නා තොරතුරු මත බැහැරට යවන භාණ්ඩ හා ප්‍රමාණයන් තීරණය වන අතර ඒ සඳහා අවශ්‍ය ආකාරයට භාණ්ඩ සුදානම් කිරීමට ගොවින් දැනුවත් කළ යුතුය. එවිට ස්ථාවර පාලන මිලක් යටතේ ඉල්ලුමට සරිලන ලෙස දිගු කලකට සැපයුම් කල හැකි වනු ඇත.

දත්ත හා දැනුවත්වීම් මත පලාතෙන් බැහැරට ගොවි නිෂ්පාදන බෙදාහැරීමේ කාර්ය දිස්ත්‍රික් ලේකම් වරුන්ගේ හා පළාත් ප්‍රධාන ලේකම් වරුන්ගේ කාර්ය මණ්ඩලයේ අධීක්ෂණය හා කළමනාකාරිත්වය යටතේ සිදු කළ හැකිය. ගොවි නිෂ්පාදන හිග පලාත්වල අවශ්‍යතා හැදිනගෙන ඒවා අනෙක් පළාත්වලින් ලබා ගැනීම හා තම පළාත තුල බෙදාහැරීම එම පළාතේ පිහිටුවන එවැනිම කාර්ය සාධන බලකායේ අධීක්ෂණය යටතේ සංවිධානය කළ හැකිය.

යාන්ත්‍රණයේ ක්‍රියාකාරිත්වය පළාත් ආණ්ඩුකාරවරයාගේ බලතල හා සම්බන්ධීකරණය යටතේ දිස්ත්‍රික් ලේකම්වරුන් හා පළාත් ප්‍රධාන ලේකම් වරුන් විසින් තම කාර්ය මණ්ඩල සමඟ, රජයේ පොදු ප්‍රතිපත්ති හා කොරෝනා වසංගතය පාලනය සඳහා යොදා ඇති වැඩ පිළිවෙලට අනුගතව , පළාතේ ගොවි නිෂ්පාදන මිලට ගැනීමේ, රැස්කිරීමේ හා බෙදාහැරීමේ යාන්ත්‍රනය පාලනය හා අධීක්ෂණය සඳහා වැඩපිළිවෙල සැලසුම්කොට ක්‍රියාත්මක කළ හැකිය. සුදුසු ප්‍රාදේශීය ආර්ථික මධ්‍යස්ථානයක් ඇති කිරීම හා අභ්‍යන්තර පරිභෝජන ද්‍රව්‍ය බෙදාහරින රජයේ හා පුද්ගලික ආයතන හා සමුපකාර මෙහෙයවීම හා ගොවි නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථානයට ගෙන ඒම හා වෙළඳපොල සන්බන්ධිකරණය අධීක්ෂණය හා පසුවිපරම් කිරීම ද ප්‍රතිපත්ති තීරණ ගැනීම ද මොවුන් සතු කාර්යයන් වේ.

දුරස්ථ භාවය

වෙළඳපොල සඳහා සහභාගිවන්නේ ඉතා සීමිත ගැනුම්කරුවන් හා විකුණුම් කරුවන් පිරිසක් බවට වග බලාගැනීම සඳහා එක් එක් කාර්ය, හඳුනාගත් කණ්ඩායම්, හා සමිති සඳහා හැකිතාක් විමධ්‍යගත කිරිම කළ හැකිය. උදාහරණ වශයෙන් ග්‍රාමසේවා වසම් මට්ටමින් පිහිටුවිය හැකි ගොවි සංවිධාන මගින් බිම් මට්ටමේ ද්‍රව්‍ය රැස්කර සමිති නියෝජිතයන් මගින් පමණක් ආර්ථික මධ්‍යස්ථාන කරා භාණ්ඩ රැගෙන ඒම හා සමුපකාර ,හා ලියා පදිංචි අභ්‍යන්තර බෙදාහැරීම් ජාලයේ යෝජිතයන්ට හා බාහිර තොග ගැනුම්කරුවන්ට පමණක් ආර්ථික මධ්‍යස්ථානයට පැමිණීමට අවසරදීම දැක්විය හැකිය. බාහිර ගැනුම් කරුවන්ගේ පැමිණීමද තවදුරටත් අවම කිරීම සඳහා අතිරික්ත තොග අන්තර් පළාත් සම්බන්ධිකරණ ක්‍රියාවලියක් මගින් නියමිත ස්ථානයකට ප්‍රවාහනය කොට දීම සිදුකල හැකිය. එවිට තොග බෙදාහැරිම සංතාරයේදී ( අතරමගදී) විමධ්‍යගත කළ හැකිය.

මිල ප්‍රතිපත්තිය

පළාතේ ග්‍රාම සේවා හා බහු ක්ෂේත්‍ර නිලධාරීන් හා තෝරා ගත් පළාත් පාලන නිලධාරින්ගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ පළාතේ ගොවියන්ගේ හා පාරිහෝගිකයන්ගේ බෙදාහැරීම් කාර්ය සංවිධානය හා ක්‍රියාත්මකවීම, යාන්ත්‍රණයට අනුකූලව , සිදුවිය යුතුය. දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් ලබා ගන්නා දත්ත අනුව එදිනෙදා අවශ්‍ය ගොවි නිෂ්පාදන ප්‍රමාණය පිලිබඳ දැනුවත් කිරීමක් මොවුන් මගින් කළ හැකි අතර එයට අනුගතව වෙළඳ පොලට ගොවි නිෂ්පාදන සැපයීමේ වගකීම ගොවි සංවිධාන සතු දෙයක් වේ. විකුණුම් මිල ප්‍රතිපත්තියක් මත පදනම් වන්නක් වන අතර එය ගොවියාටත් ,වෙළෙන්දාටත් , පාරිභෝගිකයාටත් සාධාරණ වන්නක් විය යුතුය.

මෙම අවස්ථාවේ ගොවියාට ලැබිය යුත්තේ පාලන මිලක් වන අතර බෙදාහරින්නන්ගේ මිල එම පාලන මිලට එකතු වන පොදුකාර්ය හා ප්‍රවාහන වියදම් ද සාධාරණ ලාභයක් ද සහිත මිලක් විය හැකිය.

ප්‍රවාහන සේවා

පළාතේ අභ්‍යන්තර පරිභෝජන අවශ්‍යතා බෙදාහැරීමේ කාර්ය සඳහා ත්‍රීවීලර් ඇතුළු ප්‍රදේශයෙන් තෝරාගත් වෙළඳ හා ප්‍රවාහන සේවා යොදාගත හැකිය. විශේෂයෙන් නායකයෙකු සහිත ත්‍රීවීලර් කණ්ඩායම් හෝ සංගම් වශයෙන් සංවිධානය වන්නේ නම් වෙළඳ පොලේ සමාජ දුරස්ථභාවය ආරක්ෂාකිරීමට එය ඉවහල් වනු ඇත. අභ්‍යන්තර බෙදාහැරිම විමධ්‍යගතවිම හා සුළුපරිමාණ ප්‍රවාහකයන්ට අදායම් මාර්ග විවෘත වීම මෙහි අතුරු ප්‍රතිඵලයක් වේ. මොවුන්ට අවශ්‍ය ණය පහසුකම් බැංකු මගින් ලබාදිය හැකිය.සමුපකාර මගින් කරනු ලබන බෙදාහැරීම් සඳහා රජයේ වාහන පහසුකම් ලබාදීම සළකා බැලිය හැකිය.අවශ්‍යතාවය වන්නේ පාරිභෝගිකයන් ළඟටම තෝරාගත් කාලයක් තුල භාණ්ඩ ලබා දීමය.

ගොවි නිෂ්පාදන රැගෙන ඒම සඳහා ද පුද්ගලික හා අවශ්‍ය තැන රජයේ මැදිහත්වීම මත ප්‍රවාහන සේවයක් යොදා ගත හැකිය . මේ සඳහා දැනට අක්‍රියව පවතින රජයේ වාහන ආණ්ඩුකාරවරුන්ට ලබාදෙන බලතල යටතේ පවරා ගැනීම් කළ හැකිය. රජය විසින් මෙම ප්‍රවාහන පහසුව සලසන්නේ නම් එහි පිරිවැය පමණක් ගොවින් විසින් දැරිය යුතුය.

බෙදාහැරීම් ජාලය සීමාව ඉක්මවා නොයායුතු අතර වසංගතය පාලනය සඳහා යොදා ඇති යාන්ත්‍රණයට අනුගතව සමාජ දුරස්ථභාවය වෙළඳපොල තුල ආරක්ෂාවීම නිලධාරීන්ගේ සුපරික්ෂාවට ලක්විය යුතුය. ඒ සඳහා අවශ්‍යවිට පොලිසියේ මැදිහත්වීම ලබා ගත හැකිය.

බාහිර බෙදාහැරීම් කටයුතු ගොවි නිෂ්පාදන බිහි කරන පලාතෙන් බැහැර බෙදාහැරීම් කටයුතු මෙහෙයවීම හා සන්බන්ධිකරණය ඒ ඒ පළාතේ සංවිධානයට යටත් කාර්යයක් වේ. පළාත් නවය පුරාම ඇති මෙම යාන්ත්‍රණයේ මෙහයවිම හා අධීක්ෂණය එයට අදාලය. ආර්ථික මධ්‍යස්ථානයේ සැපයුම්කරුවන් විය හැක්කේ පළාතේ ගොවි සංවිධාන හා බාහිර පළාත් වල ගොවීන්ගෙන් මිලට ගෙන එන තොග සැපයුම් කරුවන්ය.

පළාතේ අනෙකුත් පරිභෝජන අවශ්‍යතා නිවෙස්වලට සැපයීම හා බෙදාහැරීමද මෙම යාන්ත්‍රනය හරහාම සිදු කළ හැකිය.

බාහිර ප්‍රවාහනය

බාහිර ප්‍රවාහනය අභ්‍යන්තර ප්‍රවාහනය පළාත් සංවිධානයට කලමනාකරණය කර ගත හැකි වුවද බාහිර ප්‍රවාහන පහසුකම් අදාළ තොග වෙළදුන් මගින් මෙන්ම රජය මගින් සලසන පොදු ප්‍රවාහන ජාලයක් මගින් ඉටු කර ගත හැකිය . රජයට මේ සඳහා දැනට අක්‍රියව ඇති මගී දුම්රිය සේවය උපරිමව යොදා ගත හැකිය. ගොවි නිෂ්පාදන බැහැරට ගෙනයාම සඳහා අවශ්‍යනම් ශීතකරණ සහිත මැදිරි ක්‍රමයක් හඳුන්වා දිය හැකිය. එය නව සංකල්පයක් ද වනු ඇත. ස.තො .ස.ට ද මෙම තොග වෙළදාම සඳහා සහභාගී විය හැකිය.

ගොවි නිෂ්පාදන සඳහා සාධාරණ මිල පාලනයක් ස්වයං ක්‍රියව ඇතිවීම හා පරිභෝජන ද්‍රව්‍ය නිවෙස් අසලට ගෙනවිත් භාරදීම කාර්යක්ෂම වීම , වෙළඳ පොළේ ජන සහභාගිත්වය අවම වීම හා සමාජ දුරස්ථභාවය ආරක්ෂාවීම , නිෂ්පාදන අපතේයාම වැලැකීම , වැටුප් ලබන රාජ්‍ය සේවකයන්ගෙන් මෙම දුෂ්කර අවස්තාවේ රටට සේවයක් ලබා ගැනීම හා සාධාරණ වෙළඳ ව්‍යාප්තිය මෙම යාන්ත්‍රණයේ ප්‍රතිඵල වනු ඇත.

ජාත්‍යන්තර මතය වන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලොවම වෙලාගත් ව්‍යසනය කොරෝනා වසංගතය බවයි. මෙහි බලපෑමෙන් මිදීමට කලක් ගත වනු ඇත. එම කාල පරාසය තුල රටේ ආර්ථිකයත් , ජනජීවිතයත් අඩාල වනු ඇත. අවශ්‍ය වන්නේ දුර දක්නා පුර්ව නිශ්චිත ක්‍රමවේදයන් මගින් එහි අතුරු බලපෑම් වලින් ද රටත් , ජනතාවත් මුදවා ගැනීමය.

නව අදහස දක්වන්න