යුද ජයග්‍රහණයේ එකොළොස් වැනි සැමරුම හෙට | දිනමිණ

යුද ජයග්‍රහණයේ එකොළොස් වැනි සැමරුම හෙට

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාවේ පැවැති තිස් වසරක සාපලත් ත්‍රස්තවාදය නිම කර ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අවකාශය සලසා දුන් ඓතිහාසික ජයග්‍රහණයේ එකොළොස්වැනි සැමරුම හෙට (19) යි.

විජයග්‍රහණයේ එකළොස්වැනි සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී හෙට (19) පස්වරුවේ වේ.

දශක තුනකට ආසන්න කාලයක් අප මාතෘභූමියේ පැවැති ත්‍රස්තවාදය නිමාකර මාතෘභූමියට නිදහස දිනාගැනීමේ ඓතිහාසික දිනය සිහිපත් කෙරෙන විජයග්‍රහණයේ සැමරුම රටේ පවතින තත්ත්වය හේතුවෙන් චාම් සහ අභිමානවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබෙන නමුත් ඉතාම සීමිත පිරිසක් මේ සඳහා සහභාගි කරවා ගැනීමට පියවර ගෙන තිබෙන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ මඟින් ලබාදෙන උපදෙස් අනුව මේ උත්සවය ඉතාම චාම් අයුරින් පැවැත්වීමට රජය පියවර ගෙන තිබෙන අතර ඒ සඳහා රජයේ මැති ඇමැතිවරු, ජනාධිපති ලේකම්, අගමැති ලේකම්, ආරක්ෂක ලේකම් මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිවරයා ඇතුළු එක් වෙති. ඊට අමතරව රණවිරු පවුල් නියෝජනය කරමින් ඉතාම සීමිත පිරිසක් මේ වෙනුවෙන් කැඳවා තිබෙන අතර සංස්කෘතික අංග කිහිපයක් ද මෙම උත්සවයට එක්කර තිබේ.

පසුගිය 2019 වසරේ නොවැම්බර් මස 16 වැනි පැවැති ජනාධිපතිවරණයෙන් ජයගත් ගෝඨාභය රාජපක්ෂ මහතා යුද ජයග්‍රහණය ලබන අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ අතර ඒ මහතා ජනාධිපතිවරයා වශයෙන් විජයග්‍රහණයේ සැමරුමට සහභාගි වන ඵෙතිහාසික අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි. කොටි ත්‍රස්තවාදය අවසන්කර මාතෘ භූමියට නිදහස දිනාගැනීම වෙනුවෙන් සංවිධානය කරන විජයග්‍රහණයේ සැමරුමේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් විසින් රණවිරු ස්මාරකය අභියස මල් කළඹක් තබා සිය ආචාරය පිරිනැමීමට නියමිතව තිබෙන අතර ඊට අමතරව මේ අවස්ථාවට සහභාගි වන රණවිරු පවුල්වල සාමාජිකයන් විසින් මියගිය තම ඥාතිවරයා වෙනුවෙන් සිය ආචාරය පිරිනැමීමට නියමිතයි.

 

නව අදහස දක්වන්න