විජයග්‍රහණයේ 11 වැනි සැමරුම | දිනමිණ

විජයග්‍රහණයේ 11 වැනි සැමරුම

අගමැති මහින්ද රාජපක්ෂ

ත්‍රස්තවාදයක්, ගංවතුරක්, හෝ වසංගතයක් වේවා, සෑම ආපදා අවස්ථාවකම ත්‍රිවිධ හමුදාව පොදු මහජනතාව සුරකිමින් පෙරමුණේ සිටින බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එවැනි සේවාවක් සිදු කරන ත්‍රිවිධ හමුදාව අපේ සමාජය තුළ ‘සිවිල්’ හා ‘මිලිටරි’ වශයෙන් කෘතිම භේදයක් ඇති කිරීමට යහපාලන දේශපාලන පක්ෂ අද ගනිමින් සිටින දුෂ්ඨ උත්සාහය තමන් හෙළා දකින බව 11 වැනි ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයා සඳහන් කළේය.

අගමැතිවරයා නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද ජයග්‍රහණයේ එකොළොස් වන සංවත්සරය අපි මැයි 19 වන දා සමරන්නෙමු. එය දෙමළ ජනතාවට එරෙහි යුද්ධයක් නොව ඇමරිකාවේ එෆ්.බී.අයි ආයතනය විසින් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන් හැටියට නම් කරනු ලැබූ සංවිධානයකට එරෙහි යුද්ධයක් විය. කොටි සංවිධානයේ පරාජය නිසා දෙමළ ජනතාවටද දැන් නිදහසේ ජීවත් වීමට ඉඩ ලැබී ඇත. දෙමළ ළමුන් දැන් කොටි සංවිධානය විසින් පැහැරගෙන යන්නේ නැත. දෙමළ දේශපාලනඥයන් කොටි ඝාතකයන්ට බියෙන් ජීවත් වන්නේ නැත. කොටි සංවිධානය පරාජය කිරීම තුළින් උතුරු නැගෙනහිර පළාත්වලත් මැතිවරණ පැවැත්වීමට හැකිවීම නිසා එම ප්‍රදේශවල ජනතාවගේ පරමාධිපත්‍ය බලයද නැවතත් තහවුරු වී ඇත.

කොටි සංවිධානයට එරෙහි යුද්ධය ජය ගැනීමෙන් මුළු ලෝකයම මවිත කළ ඒ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය අද කොවිඩ්-19 උවදුරට එරෙහිව සෞඛ්‍ය අංශත් සමග ඒකාබද්ධ මෙහෙයුමක නිරත වී සිටි. මේ අවස්ථාවේ සියලුම කරුණු වලින් පෙනෙන්නේ ශ්‍රී ලංකාව කොවිඩ්-19 සටනින්ද ජයග්‍රහණය කරමින් සිටින බවයි. මහජනතාව අතර රෝගය පැතිරීම වැලැක්වීමට ත්‍රිවිධ හමුදාව හා පොලීසිය සිදුකරන පෙරමුණු බළඇණි කාර්යභාරය, කොවිඩ්-19 රෝගය මේ ආකාරයට පාලනය කිරීමට සෞඛ්‍ය අංශ වලට අතිමහත් පිටිවහලක් වූ බව අවිවාදාත්මකය.

මෙයින් නැවත වතාවක් තහවුරුවන කාරණය වන්නේ ත්‍රස්තවාදයක්, ගංවතුරක්, හෝ වසංගතයක් වේවා, සෑම ආපදා අවස්ථාවකම ත්‍රිවිධ හමුදාව පොදු මහජනතාව සුරකිමින් පෙරමුණේ සිටින බවයි. මේ නිසා, අපේ සමාජය තුළ ‘සිවිල්’ හා ‘මිලිටරි’ වශයෙන් කෘතිම භේදයක් ඇති කිරීමට යහපාලන දේශපාලන පක්ෂ අද ගනිමින් සිටින දුෂ්ඨ උත්සාහය මම හෙලා දකිමි. කුමක් හෝ තනතුරකට ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගිය නිලධාරියකු පත් කළහොත් එය ‘මිලිටරිකරණයක්’ හැටියට ඔවුන් හඳුන්වති. ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගිය අයෙකු සිවිල් පුරවැසියෙකු මිස හමුදා සාමාජිකයෙකු නොවේ. එදා සිටි සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු බලවේගයට අද රණවිරු පාර්ශවයත් එක්වී සිටි. එමනිසා අපේ ආණ්ඩුවක් බලයේ සිටින විට ආරක්ෂක හමුදාවල හිටපු සාමාජිකයන් අනිවාර්යෙන්ම ආණ්ඩුව තුළ විවිධ තනතුරු දරණු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට පිටින් පැමිණි සියලු අභියෝග පරාජය කොට මේ රටේ ජනතාවගේ සර්වජන ඡන්දය මත පදනම් වූ පරමාධිපත්‍ය බලය රැක දීමට ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ඓතිහාසිකව කර තිබෙන කාර්යභාරයත් අපි මෙහිදී සිහිපත් කළ යුතුය. මුළු ලෝකයම මවිත කළ යුද ජයග්‍රහණයේ එකොළොස් වන සංවත්සරය සමරන මේ අවස්ථාවේ යහපාලන ආණ්ඩුව අපගේ ත්‍රිවිධ හමුදාව ජාත්‍යන්තරව පාවා දුන් ආකාරයත්, ත්‍රිවිධ හමුදාවේ දැනට සේවය කරන හා විශ්‍රාම ගිය විශාල පිරිසක් දඩයමට හා අවමානයට ලක් කළ ආකාරයත් අප කිසිසේත්ම අමතක කර නැත. ඒ අගතියට පත් සියලු පිරිස් වලට යුක්තිය ඉටු කරන බවට අපි නැවතත් ප්‍රතිඥා දෙමු.

***********

යුද හමුදාපති සහ වැඩබලන ආරක්ෂක ප්‍රධානී ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා

වසර එකොළහක් සපිරෙන මේ මොහොතේ ත්‍රස්තවාදය නිමා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකීකයෙකු මෙන්ම හමුදා නිලධාරියෙකු වශයෙන් ඉමහත් සතුටක් තිබෙනවා.

යුද්ධය පැවැති සමයේ 58 වන සේනාංකාධිපති වරයා වශයෙන් වැඩිම භූමි ප්‍රමාණයක් අත්පත් කර ගත් සේනාංකයට අණ දෙන ලැබුවේ මා විසින් තවමත් සක්‍රීය සේවයේ සිටින හමුදා නිලධාරියෙකු වශයෙන් මා හට පෞද්ගලිකව ඇත්තේ ඉමහත් වූ සතුටක්.

වසර තිහක යුද්ධය ඉතා කෙටි කාලයකින් නිමා කිරීම සඳහා අපගේ රණවිරුවන් කළ කැප කිරීම මා සිහිපත් කරනවා. යුධ හමුදාව මෙන්ම ත්‍රිවිද හමුදාවේ රණවිරුවන් දිවි පිදුවා, අත්පා නැතිව ජීවත් වෙනවා. තවත් පිරිසකට තමන්ගේ දෑස් අහිමි උනා. මේ සියලු දෙනා කළ කැප කිරීම අප නැවත නැවත සිහිපත් කළ යුතුයි.

වසර එකොළහකට පෙර මෙරට වැසියන්ට සාමයෙන් සතුටෙන් නිදහසේ ජීවත් වීමට හැකියාවක් තිබුණේ නැහැ. බෝම්බ බියෙන් මරණ බියෙන් ජීවත් උනේ. ආර්ථික, සමාජීය දේශපාලනික වශයෙන් රටක් හැටියට අප ඉතා පහත් මට්ටමකට පත්ව තිබුණා. රණවිරුවන් මෙන්ම එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙන්ම පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු රණවිරුවන් ත්‍රස්්තවාදය පරාජය කළා.

එදා සිට ලැබුණු නිදහස අන්කවරදාවකටවත් ලැබී තිබුණේ නැහැ. අද මේ රට මේ තත්ත්වයට පත්වී ඇත්තේ එම කැප කිරීම් තුළින්.

සිංහල . මුස්ලිම්, දෙමළ, බර්ගර් මේ සෑම දෙනා නිදහස විඳින්නේ ඒ කැප කිරීම තුළයි. දෙමළ ජනතාව හෝ වෙනත් ජනතාවක් අරමුණු කරගෙන නොවෙයි යුද්ධය ක්‍රියාත්මක උනේ. යුද්ධය ක්‍රියාත්මක උනේ කොටි ත්‍රස්්තවාදීන්ට විරුද්ධවයි.

අද මේ රණවිරුවන් කොවිඩ් 19ට එරෙහිව සටන් කරනවා. ඔවුන් ජීවිත පරදුවට තබමින් මේ වසන්ගතය තුරන් කිරීමට කටයුතු කිරීම තුළින් ලක්ෂ ගාණක් ජනතාවගේ ජීවිතවලට ආරක්ෂාව ලබා දී තිබෙනවා. ලෝකයේ දියුණු යැයි කියා ගන්නා රටවල්වලට ඉහළින් අද අපගේ රට මේ ක්‍රියාදාමය ජයග්‍රහණය කරමින් සිටිනවා.

විශේෂයෙන්ම අප සිදු කළ ලෝකයේ අංක එකේ මානුෂීය මෙහෙයුම. ජනතාවට කරදරයක් වු විට මානුෂීය වශයෙන් අප අපට පුලුවන් හොඳම දේ සිදුකරනවා.

***********

හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක

මැයි 19 වනදා කියන්න . ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් දිනයක් ලෝකයේ මෙතෙක් සිදු වූ මානුෂිය මෙහෙයුම අපි අවසන් කරනු ලැබුවේ 2009.05.19 වනදා.

ත්‍රස්තවාදය මේ රටින් සම්පුර්ණයෙන්ම තුරන් කිරීමට අපට හැකි උනා. ත්‍රිවිධ හමුදාව එක්ව කළ මෙ මෙහෙයුම තුළින් රටක් හැටියට තිබු විශාල බාධකයක් ඉවත් කිරීමට හැකියාව ලැබුණා. අද අප එහි ප්‍රතිලාභ භුක්ති විඳිනවා. ආර්ථික, දේශපාලනිකව, සංස්කෘතිකව කඩා වැටි තිබු මේ රට ඉන් මුදවා ගැනීමට හැකි උනා.

අහිංසක දෙමළ වැසියන් ප්‍රාණ ඇපයට තබා ගනිමින් ඔවුන්ගේ සියලු අයිතීන් නැති කරමින් බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි ලක්ෂ ගණනක් ජනතාව ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මුදා ගැනීමට අප කළ මානුෂීය මෙහෙයුමට හැකි උනා.

මාගේ නායකත්වය යටතේ ගුවන් හමුදාවේ සේවය කළ සියලු රණවිරුවන්ට මා ස්තූතිවන්ත වෙනවා. ඉමහත් කැපවීමෙන් නිර්භීතව, අවංකව තම මරණයට අභියෝග කළ රණවිරුවන් පිරිසක් ඔවුන්. යුද්ධයේදී මියගිය රණවිරුවන් මා නැවත සිහිපත් කරනවා. තුවාල ලැබූ රණවිරුවන්ද අප හදවත්වල සැමදා සිටින බවද කිව යුතුයි. ජීවත කැප කළ, ජීවිතය පරිත්‍යාග කළ රණවිරුවන් නිසා මෙය අද අප මේ නිදහස භුක්ති විඳින්නේ කියන කාරණය සැමදා අප සිහිපත් කළ යුතුය.

ත්‍රිවිධ හමුදාවන් හැටියට අප පුහුණු වෙන්නේ උවදුරුවලට කෙළින්ම මුහුණ දෙන්න. දැන් අපට ගොඩක් අත්දැකීම් තිබෙනවා.

කොරොනා වෛරසය හමුවේ සෞඛ්‍යය. අංශ සමඟ එක් වී එය මර්ධනය කිරීමට අවශ්‍ය සියලුම පියවරවල් වලට සහය ලබා දීමට රණවිරුවන් ක්‍රියා කරනවා.

***********

හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා

මේ රටේ කිසිවෙකුත් විශ්වාස කළේ නැහැ මේ සටන ජයග්‍රාහණය කරන්න පුළුවන් වෙයි කියල. නමුත් අපේ කැපවීම ආත්ම විශ්වාසය මත මිලේඡ්ච ත්‍රස්තවාදීන්ගෙන් මේ රට මුදා ගත්තා. යුද හමුදාවේ 5200 ක් රණවිරුවේ ජීවිතය පූජා කලා.

3000 ක් පමණ සදා කාලික ආබාධිත වුනා. 15000 ක් පමණ යුද්දෙන් තුවාල ලැබුවා.

ඒ ලබපු ජයග්‍රාහනය සමරන්න කැමති සියළුම ගෞරවය කැප කිරීම් කරපු , ලේ දහඩිය, මහන්සිය වැය කරපු රණවිරුවන්ටත් ඒ ඥාතීන්ටත් අපේ ගෞරවය, ජාතියේ ගෞරවය පුදකරන්න ඕනේ.

***********

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ

වසර තිහක යුද්ධය වසර තුනක් වැනි කෙටි කාලයකදී අප ජයග්‍රහණය කළේ අද වැනි දිනකයි. ත්‍රස්තවාදයේ කුරිරු අත්දැකීම් විඳිමින් සිටි ශ්‍රී ලාංකිකයන් ඉන් මුදා ගැනීම සඳහා මානුෂිය මෙහෙයුමක ක්‍රියාත්මක කළා.

ඒ සඳහා නාවික හමුදාපතිවරයා හැටියට නාවික හමුදාව මෙහෙයවීමෙන් පුර්ණ දායකත්වය ලබා දීට හැකි, වීම සතුටට කරුණක් . කොටි ත්‍රස්තවාදීන් විසින් පවත්වාගෙන ගිය පාවෙන අවිගබඩා එසේත් නැතිනම් ආයුධ පුරවා ගත් නැව් රැසක්ම අප නාවික හමුදාව විසින් විනාශ කර දැමුවා. මෙය යුද ජයග්‍රහණය සඳහා සෘජුව බලපෑ කරුණක්.

කොටි ත්‍ර‍ස්තවාදය අවසන් කිරීම සඳහා නාවික හමුදාව මෙන්ම ත්‍රිවිධ හමුදා පොලිස් මේ සියලු අංශවල රණවිරුවන් ඉමහත් කැප කිරීමක් සිදු කළා. තමන්ගේ ජීවිත පුද කලා. අත්, පා, ඇස් ශරිර කොටස් අහිමි වු රණවිරුවන් බොහෝ දෙනෙකු සිටිනවා. මේ සියලුම රණවිරුවන් මා මේ මොහොතේ සිහිපත් කර සිටිනවා.

කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ සිටි අහිංසක දෙමළ වැසියන් ලක්ෂ ගණනින් මුදා ගැනීමට අපගේ මානුෂීය මෙහෙයුමට හැකි උනා. උතුරු නැගෙනහිර ජනතාව මෙන්ම රටේ සියලු ජනතාව අද නිදහසේ හුස්ම ගන්නේ රණවිරුවන් කළ මෙම කැප වීම නිසා මෙන්ම රටක් ජාතියක් හැටියට ගත වු වසර එකොළහට පෙර අපගේ මානසිකත්වය අප සිහිපත් කළ යුතුයි. එදා ආර්ථික සමාජීය මෙන්ම සෑම අංශයකින්ම වැටි තිබුණු රට ගොඩ ගැනීමට යුද්ධයේ ජයග්‍රහණය සෘජුව බල පා තිබෙනවා.

මේ වන විට ලෝකයටම බලපා ඇති කොවිඩ් 19 වසංගතයෙන් ශ්‍රී ලාංකීක ජනතාව බේරා ගැනීම සඳහා නාවික හමුදාව මෙන්ම ත්‍රිවිද හමුදා සාමාජිකයින් ඉමහත් කැප කිරීමක් සිදු කරනවා. සෞඛ්‍ය අංශය ඇතුළු රජයේ අනෙකුත් අංශ සමඟ එක්ව කොරොනා මැඩලීමේ ක්‍රියාවලිය ඉතා උසස් මට්මකින් සිදු කරනවා.

හිටපු ජනාධිපති වර්තමාන අගමැතිවරයා මහින්ද රාජපක්ෂ, එවකට ආරක්ෂක ලේකම් මෙන්ම වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු එදා ලබා දුන් නායකත්වයද අප සිහිපත් කළ යුතුයි.

වසර තිහක් පැවැති යුද්ධය අවසන් කළ දිනය සිහිපත් කිරීම අප නිරන්තරයෙන් සිදු කරනවා. ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදි කණ්ඩායම ලෙස සැලකෙන කොටි ත්‍රස්තවාදීන්ගෙන් මගේ මාතෘභූමිය බේරා ගෙන අදට වසර එකොළහක් පමණ වෙනවා.

මේ යුද්ධය අප දවසින් දෙකකින් සිදු කළ එකක් නොවෙයි. මාගේ අත්දැකීම් අනුව එය නියම වේලාවට අවසන් කළ යුද්ධයක්. යුද හමුදාවේ මෙන්ම ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් මෙම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා අතිමහත් කැපකිරීම් රැසක්ම සිදු කළා. දේශය වෙනුවෙන් තම ජීවිතය පූජා කළ රණවිරුවන් අපි යළි යළිත් සිහිපත් කරනවා.

යුද හමුදාවට නායකත්වය ලබා දෙමින් අප සිදු කළ මානුෂීය මෙහෙයුම ලෝකයේ කිසිදු රටක් සිදු කර නැහැ. අප මෙහෙයුම ක්‍රියාත්මක කළේ කොටි ත්‍රස්තවාදීන් ඉලක්ක කරගෙනිමින් ඔවුන්ගේ ග්‍රහණයේ සිටි ලක්ෂ ගණනක් ජනතාව ඉන් මුදා ගැනීමටද අපට හැකි උනා.

ශ්‍රී ලංකික ජනතාවට සැබෑ නිදහස ලැබුණු දිනය 2009.05.19 යැයි කිව හැකියි. අමානුෂීක කොටි ත්‍රස්තවාදය පරාජය කළ දැනට වසර එකලොහක් පමණ ගත වී තිබෙනවා.

ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් දරා සිටිමින් මේ රට අදුරු යුගයක් කරා ගමන් කර වු කොටි ත්‍රස්තවාදීන්ට වසර තිහක අදුරු සෙවනැලි ඉවත් කිරීමට ශ්‍රී ලංකා යුදහමුදා ඇතුළු ත්‍රිවිධ හමුදා රණවිරුවන් මානුෂීය මෙහෙයුම දියත් කරනු ලැබීය.

එවකට 53 වැනි සේනාංකයේ සේනාංකාධිපතිවරයා වශයෙන් එම මානුෂීය මෙහෙයුමට සම්බන්ධ වීමට ලැබීමට මා ලද භාග්‍යයක් . අදටත් අප රණවිරුවා, මේ රට වෙනුවෙන් ඉමහත් කැපකිරීමක් සිදු කරනවා.

යුද්ධයේදී මියගිය රණවිරුවන් අප නිරන්තරයෙන් සිහිපත් කරනවා. ඔවුන් නොසිටින්නට අපට යුද්ධ ජයග්‍රහණය කිරීමට හැකි වන්නේ නැහැ. යුද්ධයෙන් ආබාධිත වු රණවිරුවන්ද අප වීරත්වයෙන් යුතුව සිහිපත් කරනවා.

කුරීරු ත්‍රස්තවාදීන් විසින් ආරක්ෂක දෙමළ ජනතාව ප්‍රාණ ඇපයට තබා ගනිමින් සිටින මොහොතක අප මෙම මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක කළා. එම ජනතාවට ජීවිතය පිළිබඳව බලාපොරොත්තු ඇති කළා.

ජාත්‍යන්තර බලපෑම් ඇතුලු නොයෙක් බලපෑම් එල්ල කරන මොහොතක ඒවාට නොබියව මුහුණදුන් හිටපු ජනාධිපති වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම එවකට ආරක්ෂක ලේකම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් නායකත්වය ද අප සිහිපත් කළ යුතුය. රණවිරුවන්ට තමන්ගේ රාජකාරිය ඉටු කිරීමට හැකියාව ලැබුණේ මෙම නායකත්වය තුළින්.

ලෝකයට මුහුණ දීමට අපොහොසත් වී ඇති කොරොනා උවදුරට අද ශ්‍රී ලංකාව ඉතා හොඳින් මුහුණ දෙමින් සිටිනවා. මෙම ක්‍රියාදාමයේදි අපගේ රණවිරුවන් අදාළ අංශ සමඟ එක්ව ඔවුන්ගේ වගකීම ඉතා හොඳින් ඉටු කරන බවද ලෝකයට පැහැදිලියි. රණවිරුවන් තමන්ගේ ජීවිතය පිළිබඳව නොතකමින් මේ ක්‍රියාදාමයට එක්ව සිටිනවා. අප ඔවුන්ව ස්තුතිවන්ත විය යුතුය. එය ඇගැයීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.

භක්ති මෙන්ඩිස් සහ ගයාන් කුමාර වීරසිංහ

 

නව අදහස දක්වන්න