ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම අද | දිනමිණ

ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම අද

දශක තුනක් පැවැති එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය පරාජය කරමින් රණවිරුවන් අත්කර ගත් යුද විජයග‍්‍රහණයට වසර 11ක් සපිරීම නිමිත්තෙන් "ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම" ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී අද (19) පස්වරු 04.00 ට පැවැත්වේ.

ඉතා චාම් හා අභිමානවත් අයුරින් පවත්වනු ලබන මෙම රණවිරු අනුස්මරණ උළලේ දී යුද, ගුවන්, නාවික හමුදා මෙන්ම පොලිසිය හා සිවිල් ආරක්ෂක බළකායේ සේවය කොට රට වෙනුවෙන් දිවිපිදූ දේශප්‍රේමී වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් ජාතියේ උපහාරය පිරිනැමීමට නියමිතය.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස්වලට අනුගතව මෙම ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම, රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කර තිබෙන අතර ත්‍රස්තවාදයට එරෙහි සටනේදී උත්තරීතර කැපකිරීම් කළ යුද්ධ හමුදාවේ වීරෝදාර රණවිරුවන් 23,962 දෙනකු, නාවික හමුදාවේ වීරෝදාර රණවිරුවන් 1,160 දෙනකු, ගුවන් හමුදාවේ වීරෝදාර රණවිරුවන් 440 දෙනකු සහ පොලිසියේ විරුවන් 2,598 දෙනෙකු මෙන්ම සිවිල් ආරක්ෂක බළකායේ විරුවන් 456 දෙනකු ද අද පැවැත්වෙන ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුමේදී ගෞරවයෙන් සිහිපත් කරනු ලැබේ.

ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව රටදැය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයෙන් අනතුරුව විරෝදාර රණවිරුවන්ගේ නිර්භීතකම සඳහා වූ රණවිරුවන් සිහිකිරීමේ පාඨය කියවීමෙන් පසුව ආගමික වතාවත් සිදු කිරිමට නියමිතය. මෙහිදී ‘රණබෙර’ වාදනය කරනු ලබන අතර ගුවනින් සිදුකරනු ලබන පුෂ්පෝපහාර මධ්‍යයේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා, අමාත්‍යාංශ ලේකම්වරුන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද, නාවික හා ගුවන් හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා සහ අනෙකුත් විශේෂ ආරාධිතයන් මෙන්ම දිවි පිදූ විරෝදාර රණවිරුවන්ගේ ළඟම ඥාතීන් රණවිරු ස්මාරකය පාමුල මල් කළඹක් තබා රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පුෂ්පෝපහාර පුද කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ එක් දිනක් තුළ වැඩිම පිරිසක් උසස් කිරීම සනිටුහන් කරමින් යුද හමුදාවේ සෙසු නිලයන් 14617කට ‘ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් උළෙලේ දී මෙම උසස්වීම් ජනාධිපතිවරයා අතින් ලබාදීම සිදු කෙරෙන අතර මෙම උසස්වීම් සියල්ල 18 වැනිදා සිට බලපැවැත්වෙන බව යුද හමුදාව පවසයි.

ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය සහ ඒකීයභාවය ආරක්ෂා කිරීමේදී මෙන්ම ජන ජීවිතයට තර්ජනයක් එල්ලවන ස්වාභාවික විපත්, තර්ජන, ගෝලීය වසංගත වැනි ව්‍යසනයන්හිදී යුද හමුදා සාමාජිකයන් සිදුකරන සේවාවන් අගයමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි මෙම උසස්වීම් පිරිනැමේ.

හිරු නැගෙනා මොහොතේදීත් හිරු බසිනා මොහොතේදීත් රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් වෙනුවෙන් වැයෙන ත්‍රිවිධ සහ පොලිස් තුර්යවාදක කණ්ඩායම් බියුගල් නළාකරුවන්ගේ අවර රණවිරු සිහිකිරීමේ බියුගල් නාදය ගුවනට මුසුකිරීමෙන් අනතුරුව උත්සවයේ සමාප්ති කෙරේ.

 

නුවන් කොඩිකාර සහ රක්ෂණ ශ්‍රියන්ත

නව අදහස දක්වන්න