වඩා වැදගත් ජාතික ආර්ථිකයක් ගොඩනැඟීමයි | දිනමිණ

වඩා වැදගත් ජාතික ආර්ථිකයක් ගොඩනැඟීමයි

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ හිටපු මණ්ඩලාධිපති ආචාර්ය ටියුඩර් වීරසිංහ

යහපාලන ආණ්ඩුව යුධ ජයග්‍රහණය පාවාදුන්නා

ත්‍රස්තවාදී තර්ජනය පිළිබඳ පැවැති අනවබෝධය සහ ලිබරල්වාදී ගෝලීය බලවේගවලට යටවීම තුළ එජාපය පැහැදිලි විසඳුමක් යෝජනා කිරීමට අසමත් වූ අතර 2005 දී බලයට පත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ද යුද්ධයට සාමකාමී විසඳුමක් සෙවීමට ගත් උත්සාහයට එල්.ටී.ටී. ඊ. සංවිධානයෙන් යහපත් ප්‍රතිචාරයක් නොවී ය.

අප මේ සමරන්නේ මෙරට දේශපාලන ඉතිහාසයේ ඉතාමත් වැදගත් සංධිස්ථානයක් ලෙස ඉතිහාසගත ව ඇති යුද ජයග්‍රහණයක 11 වැනි සංවත්සරය යි. සැබැවින් ම එය අප හඳුනාගත යුත්තේ ජාතික මෙන්ම ගෝලීය වැදගත්කමකින් යුත් ජයග්‍රහණයක් ලෙසිනි. අප එම ජයග්‍රහණය ලැබූයේ ගෝලීය සහ කලාපීය සන්දර්භය සලකා බලන කල සමස්තයක් ලෙස දෙවැනි ලෝක යුද්ධයෙන් පසු නිර්මාණය වූ ලෝක රටාවත් සමාජවාදයේ රාජ්‍ය බලය බිඳවැටීමත් සමඟ ලෝකයේ දේශපාලන සිතියමේ සුවිශාල වෙනස්කමක් සිදු වූ කාලවකවානුවක ය. එසේ ම ඒ අවධියේදී ලිබරල්වාදය ගෝලීය තලයට වර්ධනය වීම ද සිදු වෙමින් පැවතිණි. නව ලිබරල්වාදය සමස්ත ලෝකය ම ජයග්‍රහණය කරමින් යම්කිසි ආකාරයකට තමන්ගේ දේශපාලන සමාජ ආර්ථික සහ සංස්කෘතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටි එම යුගය තුළ ම 2008 පමණ වන විට නව ලිබරල්වාදයේ ගෝලීය මුල්‍ය අර්බුදය ආරම්භ විය. ඒ සමඟ ම ගෝලීය තත්ත්වය හැරුණේ ඉතාමත් ම අයහපත් අතකට ය.

2000 පළවෙනි දශකය අවසානය, ලෝකය ම යම්කිසි සංක්‍රාන්ති යුගයකට ගමන් කරමින් සිටි අවධියකි. වෙනස් වූ ලෝක රටාවකට පරිවර්තනය වීමට සටන් කරමින් සිටි යුගයකි. එසේ වුව ද එම පරිවර්තනය සම්පූර්ණ නොවී ය. එලෙස අසම්පූර්ණ ව පැවතීමේ ගැටලුව වත්මන් කොරෝනා අවධිය තුළ ද දිගින් දිගට ම ක්‍රියාත්මක වෙමින් පවතී. වසර 11කට පෙර ඒ සුවිශේෂ යුද ජයග්‍රහණය සනිටුහන් වූයේ ද එවන් වාතාවරණයක් තුළ ය.

ලිබරල්වාදී පාලනය

එය ලෝකයේ ගෝලීය උපරිසමාජයේ ලිබරල්වාදී පාලනයේ බලපෑමට ශ්‍රී ලංකාව ඉතාම ප්‍රබල ලෙස යටත් ව පැවැති අවධියකි. තිස් අවුරුදු යුද්ධය ලෝක වෙනස්වීම් සමඟ ලංකාව තුළ ආරම්භ වූවකි. එක්සත් ජාතික පක්ෂය නව ලිබරල්වාදි ආණ්ඩුක්‍රම ප්‍රතිපත්ති ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේදී එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට තුළ ආර්ථික, දේශපාලන, සංස්කෘතික ප්‍රතිවිරෝධතා හා ගැටලු වර්ධනය විය. උතුර හා දකුණ අතර පැවැති ආර්ථික හා දේශපාලන සම්බන්ධතා විවෘත ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම හේතුවෙන් යම් ආකාරයකින් තර්ජනයකට ලක්විණි. උතුරේ ආර්ථික බෝග සහ කර්මාන්ත ආදියට දකුණෙන් පැවැති ඉල්ලුම අහිමි වීම සහ ඒවා එතෙරින් ගෙන්වීමත් සමඟ උතුරු ප්‍රදේශය ක්‍රම-ක්‍රමයෙන් ආර්ථික වශයෙන් හුදකලාභාවයකට පත්වීම ආරම්භ වූයේ 70 දශකයේ අග භාගයේදී ය. එම හුදෙකලාභාවය තුළ උතුර තුළ දලු ලා වැඩුණු සමාජ, ආර්ථික, දේශපාලන ගැටලු බොහෝමයක් වූ අතර ඒවා විසඳීමට එජාප රජය සුදුසු ක්‍රියාකාරී වැඩපිළිවලක් අනුගමනය නොකිරීම හේතුවෙන් එම ගැටලු උත්සන්න ව යම්කිසි ආකාරයකට උතුරු තුළ නීති විරෝධි සංවිධාන බිහිවීමේ ප්‍රවණතාවක් ද ඇති විය. ලිබරල්වාදී සන්දර්භය තුළ ඔවුන්ගේ ආර්ථික දේශපාලන සංස්කෘතිකමය සමාජ කාරණාවල ඇති වූ ගැටලු හේතුවෙන් දකුණෙන් වෙන්වී වෙන ම රාජ්‍යයක් බිහිකර ගැනීමේ අදහස්වලින් යුතු තරුණ පිරිස් මෙහිලා ප්‍රමුඛත්වය ගන්නා ලදි. කලාපීය රටක් ලෙස ඉන්දියාවෙන් සහ වෙනත් යුරෝපීය රටවලින් ඒ වෙනුවෙන් සහයෝගය ලබාදුන්නේ ඔවුනොවුන්ගේ පටු දේශපාලනික වුවමනාවන් ඉටු කරගැනීමේ අභිලාෂයෙනි. මේ සියල්ල හේතු කරගනිමින් මෙරට තුළ බහුවාර්ගික ව, බහු සංස්කෘතික ව පැවැති ඒකීය භාවය සහ සහයෝගීතාව බිඳ වැටෙමින් නව ලිබරල් ආර්ථිකය තුළ රට අභ්‍යන්තරයේ යම්කිසි භේදකාරී තත්ත්වයන් උද්ගත විය. අවසානයේ එය බෙදුම්වාදී යුද්ධයක්, ත්‍රස්තවාදී අරගලයක් බවට පත් විය.

ජාත්‍යන්තර සහයෝගිතාව

ඒ සඳහා ප්‍රබල විසඳුමක් ලබාදීමට එවකට පැවැති ආණ්ඩුවට සහ ඒ ආණ්ඩුව නියෝජනය කළ නායකයින්ට නොහැකි වීම හේතුවෙන් අවසාන වශයෙන් එය මෙරට දේශපාලනයේ අවියෝජනීය ගැටලුවක් බවට පත්විණි. ඒ වන විටත් ජාත්‍යන්තර තත්ත්වයේ ඇති වුණ යම් යම් වෙනස්කම් සහ කලාපීය මෙන් ම ජාත්‍යන්තර සහයෝගිතාව හේතුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රමානුකූල ව ශක්තිමත් වීමත් වර්ධනය වීමත් සිදු විය. පැහැදිලි ලෙස ම එම තත්ත්වය ලාංකීය රාජ්‍යයේ භෞමික අඛණ්ඩතාවයට, රාජ්‍ය බලයට සහ ස්වාධීනත්වයට එල්ල කළේ ප්‍රබල තර්ජනයකි. ත්‍රස්තවාදී තර්ජනය පිළිබඳ පැවැති අනවබෝධය සහ ලිබරල්වාදී ගෝලීය බලවේගවලට යටවීම තුළ එජාපය පැහැදිලි විසඳුමක් යෝජනා කිරීමට අසමත් වූ අතර 2005 දී බලයට පත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ද යුද්ධයට සාමකාමී විසඳුමක් සෙවීමට ගත් උත්සාහයට එල්.ටී.ටී. ඊ. සංවිධානයෙන් යහපත් ප්‍රතිචාරයක් නොවී ය. දිගින් දිගට ම බෙදුම්වාදය උත්සන්න වෙමින්, ත්‍රස්තවාදය වර්ධනය වෙමින් රාජ්‍යයේ ස්වාධීනත්වයට සහ භෞමික අඛණ්ඩතාවයට තර්ජන එල්ල වන විට යුද්ධයට යුද්ධයෙන් ම පිළිතුරු දී ත්‍රස්තවාදය රටින් තුරන් කරගැනීමේ ස්ථාවරයක් ඇතිව කටයුතු කිරීමට රජය ප්‍රමුඛත්වය ගත්තේ එම ගැටලුවට සාමකාමී විසඳුමක් නැති බව පසක් වූ පසු ව ය. ඉතාමත් ම තීරණාත්මක වූ එම ස්ථාවරය කලාපීය රටවල් සහ ලෝක බලවතුන් යම්කිසි කම්පනයකට පත් කළ ක්‍රමවේදයක් මෙන් ම ලෝක භාවිතයේ නව ප්‍රවේශයක් ලෙස ඉදිරිපත් විණි. එම ත්‍රස්තවාදයට යුද්ධයකින් මුහුණ දිය යුතුයි යන ස්ථාවරත්වයට චීනය, රුසියාව වැනි ලිබරල්වාදී නොවන රටවලින් ලැබුණේ ප්‍රබල සහයෝගයකි. 2009 මැයි මස 18 වැනි දින එම සාහසික ත්‍රස්තවාදී සංවිධානය භෞතික වශයෙන් විනාශයට පත් කළේ එම ස්ථාවරත්වයේ ප්‍රතිඵලයක් ලෙසිනි. යුද්ධයේ නිමාව මෙරට ආර්ථික, දේශපාලන, සමාජ, සංස්කෘතික සෑම අංශයක් වෙත ම එල්ල කළේ යහපත් බලපෑමකි.

පශ්චාත් යුද සමය

එසේ වුවද පශ්චාත් යුද සමය තුළ ද අප මුහුණ දුන් අභියෝග රැසකි. එකී සමස්ත අභියෝගයන්ට මුහුණදීම වෙනුවෙන් රාජ්‍ය ව්‍යූහය තුළ ගැඹුරු ප්‍රතිසංස්කරණ සිදු වෙමින් පැවැතිණි. එසේ ම දැවැන්ත ආර්ථික සංවර්ධන ක්‍රියාවලියක් ද දියත් විණි. රාජ්‍යයේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාව තහවුරු කිරීමේ හැකියාව ද ඇති විය. ඒ සමඟ ම රාජ්‍යයට පැවැරුණු නව කාර්යභාරයකි. නව අභියෝගවලට මුහුණ දීමට අවැසි දේශපාලන බුද්ධිමය මට්ටමක් සහ සදාචාරත්මක මට්ටමක් අලුතින් ඉල්ලා සිටින අවශ්‍යතාවක් ලෙස පැන නැඟිණි. ගෝලීය වශයෙන් සහ කලාපීය වශයෙන් මතුවන අභියෝග, ආර්ථික අභියෝග, ජනවර්ග අතර පැවැති පරස්පරතා තුරන්කර නැවත හොඳහිත වර්ධනය කිරීම, සාමකාමී සහජීවනය ගොඩනැගීම, පැවැති යුද මානසිකත්වය වෙනුවට සංවර්ධනාත්මක රාමුවක් ඔස්සේ ප්‍රතිපත්ති සකස්කිරීම වැනි අභියෝග ජයගැනීමට විශාල බුද්ධිමය සහ ඉහළ සදාචාරාත්මක අගයකින් යුත් විනයානුකූල සමාජ ප්‍රවර්ධනයක් අවැසි විය. ඒ සියල්ල අවශ්‍ය මට්ටමෙන් ම සපයාගත නොහැකි වීම හේතුවෙන් පශ්චාත් යුද ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ විවිධ බලවේගවල ක්‍රියාකාරිත්වය තුළ 2015 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ බිඳවැටීම සිදුවිය.

නිදහසින් පසු අප මුහුණ දුන් නමුත් නොවිසඳී පැවැති ප්‍රධාන ගැටලු ලෙස ආර්ථිකය පිළිබඳ ගැටලුව, රාජ්‍ය ගොඩනැගීම පිළිබඳ ගැටලුව, ලාංකීය දැක්මක් පිළිබඳ වන ගැටලුව විශේෂයෙන් හඳුනාගත හැකි ය. නිදහස දිනාගෙන වසර 82ක් ඉක්මගොස් තිබිය ද අපට ගැලපෙන සමාජ, ආර්ථික, සංවර්ධන මාවතක් සකස් කරගැනීමට තවමත් අප අසමත් වී සිටීම කනගාටුවට කරුණකි. එය ගැටලුව පශ්චාත් යුද සමය තුළ ද ප්‍රබල ලෙස මතුවෙමින් පවතී. එය විසඳීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යම් ආකාරයක ප්‍රවිශ්ටයක් ගනිමින් සිටි අවධියක සිදු වූ ආණ්ඩු පෙරළිය රටේ අභාග්‍යයට සිදු වූවක් වන අතර ඒ සමඟ ම ජාතික ආර්ථිකය ගොඩනැඟීමට දියත් කළ ක්‍රමවේදයන් ද යටගිය බව පැහැදිලි ය.

යුද ජයග්‍රහණයෙන් පසු

රාජ්‍ය ගොඩනැගීමත් අප හමුවේ ඇති ප්‍රබල ම අභියෝගයකි. බහු ජාතික, බහු ආගමික, බහු සංස්කෘතික විවිධ අනන්‍යතාවන් ඇති සියලු ජනතාව ඒකීය ලාංකේය ජනතාවක් ලෙස රාජ්‍යයට තමන්ගේ ශක්තිය ලබාදෙමින් ජීවත්වීමට හුරු කරවීමේ රාජ්‍ය ව්‍යූහයක්, සැකැස්මක් නිර්මාණය කරගැනීමේ අභියෝගය නිදහසින් පසු දිගටම පැවැති අතර යුද ජයග්‍රහණයෙන් පසු එම අභියෝගය ජයගැනීමේ අවශ්‍යතාව වැඩි වැඩියෙන් දැනෙන්නට විය. ජාතීන් ලෙස බෙදී සිතීමට පුරුදුව සිටීමෙන් ගැලවීමේ අභියෝගය දැනුදු පවතින අතර විජයග්‍රහණයේ සැමරුම අභිමුව ඒකීය ලාංකික සමාජයක් ගොඩනැගීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාව ද මැනවින් සිහිපත් කරගැනීම වටී.

වර්තමානය වන විට තව තවත් අභියෝග නිර්මාණය වී ඇති අතර කොරෝනා ඒ අතර ප්‍රමුඛත්වයක් ගෙන සිටිනු පෙනේ. පූර්ව යුද සමයේ පැවැති අභියෝග, පශ්චාත් යුද ශ්‍රී ලාංකේය අභියෝග සහ වත්මනේදී අප මුහුණ දෙන කොරෝනා සමයේ අභියෝග ආදී වූ මේ සියලු අභියෝගයන් ජයගැනීමට අවශ්‍ය කරනුයේ ප්‍රබල නායකත්වයකි.

රාජ්‍ය නායකත්වය පෙරදිග රටවලදී යුරෝපීය රටවල වඩා අතිශයින් ම වැදගත් සාධකයකි. යුරෝපීය නිර්නායකයන්වලින් පෙරදිග නායකත්වය මැනිය නොහැකි සේ ම පෙරදිග රාජ්‍ය භූමිකාව, යුරෝපීය රාජ්‍ය භූමිකාව සමඟ සැසඳීම ද නොකළ යුතු ය. මන්ද පෙරදිග රාජ්‍ය නිර්මාණය වී ඇත්තේ යුරෝපීය රාජ්‍ය නිර්මාණය වී ඇති මානව ද්‍රව්‍යවලට වඩා වෙනස් ස්වරූපයක මානව ද්‍රව්‍යවලිනි.

පෙරදිග මානව ද්‍රව්‍යවල මූලික ලක්ෂණය වන්නේ පාලනයට අනුව සමාජය නිර්මාණය වීම යි. එහිදී රාජ්‍ය නායකයාගේ ශක්තිමත්භාවය අතිශය වැදගත්ය. රාජ්‍යයක ශක්තිමත්භාවය නැතහොත් රාජ්‍ය නායකයාගේ ශක්තිමත්භාවය යනුවෙන් හැඳින්වෙන්නේ ලබාගන්නා තීන්දු එයාකාරයෙන් ක්‍රියාත්මක කළ හැකි යාන්ත්‍රණයක් සහ නිලධාරී මණ්ඩලයක් සමඟ ක්‍රියාත්මක වීම ය. අපට ද අවශ්‍ය වන්නේ එවන් තත්ත්වයකි. යහපාලන ආණ්ඩුවේ දුර්වලභාවය තුළ, ඉන් පෙර පැවැති ආණ්ඩුව යුද ජයග්‍රහණය තුළින් අත්පත් කරගත්ත සියලු ම ජයග්‍රහණ ක්‍රමානුකූල ව පාවාදීමකට ලක්වූ බව ද කිව යුතු ය. එසේ නම් අප විජයග්‍රහණයේ 11 වැනි සංවත්සරය සමරන මේ පශ්චාත් කොරෝනා යුගයේ මතුවන තීරණාත්මක අභියෝගවලට මුහුණ දීමට අවශ්‍ය කරන නව ක්‍රමවේද නිර්මාණය විය යුතු යි. ඒ වෙනුවෙන් පළමුවෙන් ම වැදගත් වනුයේ රාජ්‍යයේ ශක්තිමත් භාවය සහ රාජ්‍ය නායකයාගේ තීරණාත්මක ක්‍රියාකාරීත්වය යි. පාලකයින් ජනතාවට කොතරම් සමීපද? ජනතාවගේ සිතුම්-පැතුම් සහ අභිලාශ නියෝජනය කරනවාද යන්න අතිශය වැදගත් ය. එය කොතරම් දුරට ඉටු වනවාද යන කාරණාව තුළ රාජ්‍යයේ ශක්තිමත්භාවය ද තීරණය වේ.

පශ්චාත් කොරෝනා අවධිය

2009 දි අප ඒ සුවිශේෂී යුද ජයග්‍රහණය අත්කර ගත්තේ ගෝලීය යුගයක් තුළදී ය. කොරෝනා තත්ත්වයත් සමඟ සමස්තයක් ලෙස උදාවූයේ ගෝලීය යුගයේ නිමාව යි. විජයග්‍රහණයේ 11 වැනි සංවත්සරය අප විසින් සමරනු ලබන්නේ පශ්චාත් ගෝලීය යුගයකදී ය. ගෝලීය උපරිසමාජයේ බලය මේ වෙනවිට බොහෝ දුරට ලිහිල් වෙමින් පැවතිය ද මේ අවධිය තුළ වුව ද ශ්‍රී ලාංකේය සමාජය ජාතික රාජ්‍යයක් ලෙස සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලන වශයෙන් මුහුණ පාන සුවිශේෂ අභියෝග රැසකි.

ගෝලීය උපරිසමාජයේ සිට ක්‍රමානුකූල ව ලාංකේය ජාතික සමාජය දක්වා, නොඑසේ නම් කලාපීය කරණය දක්වා ගමන් කිරීම ආරම්භ වී ඇති අතර, මෙකී කලාපීයකරණය තුළ ලාංකීය සමාජය සෑම අතකින්ම මුහුණ පා සිටින අභියෝග තුලනාත්මක ව තේරුම් ගනිමින් පශ්චාත් ගෝලීය සන්දර්භයට අනුව ඒවා කළමනකරණය කරගැනීම අතිශය වැදගත් කාරණාවකි.

එහීදී පළමුවෙන් ම අවදානය යොමු කළ යුත්තේ ජාතික ආර්ථිකය ගොඩනැගීම වෙත ය. ජනතා කේන්ද්‍රීය සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික ප්‍රතිපත්ති කෙරෙහි නැවත යොමු වීම අනිවාර්යයෙන් සිදු විය යුත්තකි. එසේ ම කලාපීයකරණ ක්‍රියාවලිය තුළ කළාපයේ ප්‍රධාන රාජ්‍යයන් සමඟ යහපත් සබඳතා ගොඩනඟා ගැනීම ද අතිශය වැදගත් ය. මේ සියල්ල උදෙසා විජයග්‍රහණයේ 11 වැනි සංවත්සරය සමරන මේ මොහොතේදී පවතින ප්‍රශ්චාත් ගෝලීය ආකෘතිය තුළ අපේ දේශපාලන චින්තනය සැලකිය යුතු වෙනසකට බඳුන් විය යුතු ය. විදේශ ප්‍රතිපත්තියේ ද තීරණාත්මක වෙනස්කම් සිදු විය යුතු ම ය. එපමණක් නොව ජාතික දේශපාලන පංතියේ ආකල්ප සහ වැඩපිළිවෙල ජනතා කේන්ද්‍රීය වීම ද ජාතික අවශ්‍යතාවන්වලට ප්‍රමුඛත්වය දීම ද මෙහිලා විශේෂයෙන් සපුරාගත යුතු අවශ්‍යතාවන් ය. ජාතික ආර්ථිකය ගොඩනැගීමේදී මෙරට මූලික මානව ගති ලක්ෂණවලට මූලිකත්වය නෙදෙන්නේ නම් නැවත වරක් අපට මුහුණ පෑමට සිදු වන්නේ ගෝලීය යුගයේ මුහුණ පෑ අභියෝගයන්ට ම ය. මේ වන විටත් මනාව පෙනී යන්නේ පශ්චාත් කොරෝනා අවධිය තුළ, පැ‍රැණි ගෝලීය යුගයේ පැවැති බලවේග නැවත මේ රටට යම් ආකාරයකින් මැදිහත් වීමට මාන බලන ආකාරය යි. ගෝලීය උපරිසමාජය සැරසෙනුයේ කොරෝනා හේතුවෙන් හානියට පත් තැන් ගොඩනැඟීම වෙනුවෙන් සුවිශාල ණය කන්දරාවක් ලබාදීමට ය. ඇමරිකාව ඒ වෙනුවෙන් දැනටමත් ඩොලර් ට්‍රිලියන ගණනින් මුදල් අච්චු ගසා අවසන් ය. අප විසින් එම ණය ලබාගත හොත් නැවත වැටෙනුයේ හිටි අඩියට ම බව නොඅනුමාන ය. මේ වන විට කලාපීය වශයෙන් මතුවන දැවැන්ත බලවතුන් සමඟ ද අවබෝධයෙන් සහ ප්‍රවේශම් සහගතව සබඳතා පවත්වාගෙන යෑම අතිශය වැදගත් ය. එසේ ම මෙම පශ්චාත් ගෝලීය යුගය තුළ අභ්‍යන්තර කටයුතු කළමනාකරණය කරගැනීම උදෙසා අපට අලුත් ප්‍රතිපත්තියක අවශ්‍යතාව පැනනැඟී ඇත. ඉතාමත් සූක්ෂ්ම අන්දමින් කලාපීයකරණයේ ප්‍රයෝජන අත්විඳිමින් ජාතික ආර්ථිකය, දේශපාලන සහ විදේශ ප්‍රතිපත්තිය ප්‍රතිව්‍යූහගත කරගැනීම ද අත්‍යවශ්‍ය කාරණාවකි. මෙයාකාර වූ ඉතාමත් තීරණාත්මක අභියෝගයන් අප හමුවේ පවතින බව සිහි තබාගනිමින් බුද්ධිමත් ව කටයුතු කිරීම රටේ අභිවෘද්ධියට හේතු වනු ඇති බව සිහිපත් කිරීමට යුද ජයග්‍රහණයේ සංවත්සරය සැබැවින් ම කදිම අවස්ථාවකි.

කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න