විපක්ෂය වැඩ කරන්නෙ සද්භාවයෙන් නෙමෙයි | දිනමිණ

විපක්ෂය වැඩ කරන්නෙ සද්භාවයෙන් නෙමෙයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති,බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති,
ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා

මේ දිනවල කතාබහට ලක් වී ඇති කරුණු වන්නේ විසුරුවා ඇති පාර්ලිමේන්තුව යළි කැඳවීම, මැතිවරණය පැවැත්වීම, රජයට ලැබෙන ආධාර මුදල්, අරමුදල් පරිපාලනය, වසංගත තත්ත්වය මත නව නීතිරීති සම්පාදනය ආදියයි. වර්තමානය වන විට මේ පිළිබඳ විවිධ දේශපාලන පක්ෂ, කණ්ඩායම් මෙන්ම තනි තනි පුද්ගලයන් ද විවිධ මත පළ කරති. මේ කාරණාවල නීත්‍යානුකූල භාවය කුමක් ද යන්න පිළිබඳ කතාබහ කිරීම සඳහා දිනමිණ සමඟ සාකච්ඡාවට සහභාගි වූයේ නීති ක්ෂේත්‍රයේ මනා පළපුරුද්දක් ඇති ප්‍රවීණ නීතිඥයකු වන ජනාධිපති නීතිඥ යූ.ර්.ද සිල්වාය.

* ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ආණ්ඩුව විසිරුවා හැරීමට ගත් ක්‍රියාදාමය නිවැරැදි ද?

මේ සම්බන්ධයෙන් අදහස් දක් වන විට පැහැදිලි ලෙස පැවසීමට තිබෙන්නේ ජනාධිපතිතුමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල ලැබෙන වගන්තියක් තිබෙන බවයි. ඒ වගන්තියට අනුව අවුරුදු හතරහමාරක් යන තුරු එතුමාට එහි තිබෙන ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තුව විසිරවීමට නොහැකියි. වසර පහක් සම්පූර්ණ වීමත් සමඟ පාර්ලිමේන්තුව විසිර වීම අහෝසි වීම සිදු වන්නේ නිතැතින්මයි. ඒ කාලය අවසන් වීම නිසා. එහෙත් වසර හතරහමාර සම්පූර්ණ වීමත් සමඟ පාර්ලිමේන්තුව විසිරුවා හරින අවස්ථාවේ ජනාධිපතිවරයකු කළ යුතු කර්තව්‍යය දෙකක් ද පැහැදිලිව සඳහන් කර තිබෙනවා.

එක් කාරණයක් වන්නේ මැතිවරණ දිනය නම් කිරීමයි. අනෙක් කාරණය, නව පාර්ලිමේන්තුව කැඳවන දිනය නම් කිරීම. ඒ අනුව මාර්තු 02 වැනිදා ගැසට් පත්‍රය මඟින් එය විසිරුවා හරින අවස්ථාවේ ඒ කාරණා දෙකම සම්පූර්ණ කර අවසන්. අප්‍රේල් මාසයේ 25 වැනිදා මැතිවරණය පැවැත්වීමටත්, මැයි 14 වැනිදා නව පාර්ලිමේන්තුව කැඳවීමටත් වශයෙනුයි නියම වී තිබුණේ. ඒ ගැසට් ප්‍රකාශනයේමයි ජනාධිපතිතුමා මැතිවරණය සඳහා නාමයෝජනා පත්‍ර භාර ගැනීමට කාලයත් නියම කර තිබුණේ. මේ අනුව කිව හැක්කේ ඒ සියල්ල සම්පූර්ණ වීම නිසා මේ අහෝසි වීමේ ක්‍රියාවලිය සිදු වී තිබෙන්නේ නීතියට එකඟව බවයි.

*එහෙත් ඉන් පසුව රටේ ඇති වී තිබෙන කොයිඩ් 19 වසංගත තත්ත්වය අනුව යළිත් ඒ කියන ලද කාල පරාස දීර්ඝ කිරීමට සිදු වුණා. එවැනි අවස්ථාවකදිත් නීතියේ වලංගු භාවයක් තිබෙනවා ද?

ජනාධිපතිතුමා ගැසට් පත්‍රයකින් පාර්ලිමේන්තුව විසිරුවා හැරියට පසුව සිදු වන්නේ මැතිවරණ කොමිසමේ ක්‍රියාවලියයි. එහිදි 33 වැනි වගන්තියේ සඳහන් අන්දමට ජනාධිපතිතුමා මැතිවරණ කොමිසමට ඒ ක්‍රියාවලිය කිරීම සඳහා අවශ්‍ය පරිසරය සකස්කර දිය යුතු බව සඳහන් වෙනවා. මේ අනුව ඉන්පසුවයි මැතිවරණ කොමිසම මඟින් මැතිවරණ කටයුතු කරගෙන යනු ලබන්නේ. මැතිවරණ කොමිසම යනු ස්වාධීන කොමිසම් සභාවක්. එය අනෙකුත් ස්වාධීන කොමිසම් සභාවලට වඩා වැඩි බලතල හිමි ආයතනයක්. එනම් මැතිවරණ කොමිසම් සභාව කිසිදු ආකාරයකින් පාර්ලිමේන්තුවට වගකියන්නේ නැහැ. ඒ නිසා ස්වාධීනව කටයුතු කළ හැකි ස්වාධීන කොමිසමක් ලෙසයි මැතිවරණ කොමිසම හැඳින්විය හැක්කේ.

ඒ අනුවයි මැතිවරණ කොමිසම ඉදිරි මැතිවරණ කටයුතු සඳහා නාමයෝජනා පත්‍ර භාරගැනීම සිදු කරන ලද්දේ. ඉන් අනතුරුව අවසාන දිනයේදි නාමයෝජනාවලට විරෝධතා තිබෙනවා නම් ඒවාට ඉඩදී නැවත වරක් ගැසට් පත්‍රයකින් නාමයෝජනා භාරගැනීමත් ඔවුන් සිදු කළා. එහිදි සමහර නාමයෝජනා ප්‍රතික්ෂේප වුණු අතර ඒ භාරගත් නාමයෝජනාවලට පමණක් මැතිවරණය පවත්වන දිනය අප්‍රේල් 25 බවත් මැතිවරණ කොමිසම නම් කරන ලද්දේ. එලෙස නම්කර තිබියදීයි රටේ පැවැතුණු වසංගත තත්ත්වය මත මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්විය නොහැකි බව වැටහුණේ වෛද්‍ය උපදෙස් මත හා හමුදාව හා පොලිසිය යන ආරක්ෂක අංශවල උපදෙස් මතයි. ඒ අනුවයි මැතිවරණය කලින් යොදාගත් දිනයට පැවැත්විය නොහැකි බව ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කළේ.

ඒ 1981 අංක 1 දරණ මැතිවරණ පනතේ තිබෙන ප්‍රතිපාදනවලට අනුවයි. එයට පසු ගැසට් පත්‍රයකින් මැතිවරණ කොමිසම මැතිවරණය පැවැත් විය හැකි ආසන්න දිනය ලෙස නම් කරන ලද්දේ ජූනි මාසයේ 20 වැනිදායි. ඒ දිනයෙත් මැතිවරණය තිබිය හැකි ද නැති ද යන කාරණය මැතිවරණ කොමිසම තීරණය කරනු ලබන්නේ ඉදිරියේදියි. මේ නිසා එතෙක් මැතිවරණ කොමිසම ඒ සම්බන්ධයෙන් අනුගමනය කර තිබෙන ක්‍රියාපටිපාටිය නිවැරැදි බවයි තහවුරු වී ඇත්තේ. ඒ නීතිපතිතුමා විසින් එතුමාගෙන් අහන ලද ප්‍රශ්නයට ලබාදුන් උපදෙස් අනුවයි. එනම් “ඔවුන් කරගෙන පැමිණි ක්‍රියාවලියනීත්‍යානුකූලයි; ඉදිරියටත් නීත්‍යානුකූලව ඒ කටයුතු කරන්න” යන උපදේශයයි.

* ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නියම කරන ලද කාරණයක් මේ ආකාරයට මැතිවරණ නීතිය මඟින් වෙනස් කිරීමට හැකියාව තිබේ ද?

මැතිවරණ කොමිසමට මෙවැනි තීරණයක් ආවට ගියාට කරන්න බැහැ. ඒ සඳහා හේතු කාරකයක් තිබිය යුතුයි. ඒ අනුව ඒ දිනයට මැතිවරණය තිබීමට අපහසුතාවක් තියෙනවා නම් ඒ දිනයට එහා තිබෙන සුදුසු දිනයක් නියම කරන්න ඔවුන්ට හැකියි. ඒ සඳහා ඔවුන්ව ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ආකාරයක තහනමකට ලක්කර නැහැ. එකම දේ තියෙන්නේ ජනාධිපතිතුමාට මාස තුනක කාලයක් ඇතුළතයි නව පාර්ලිමේන්තුව කැඳවීමට නීතියෙන් බලය දී තිබෙන්නේ. ඒ අනුව ජනාධිපතිතුමාට ජූනි 02 වැනිදා වන විට නව පාර්ලිමේන්තුව කැඳවීමටයි අවස්ථාව තිබෙන්නේ. එහෙත් මේ පවතින වාතාවරණය අනුව ජනාධිපතිතුමාට පෙනී යනවා නම් ඒ කාරණය ක්‍රියාත්මක කළ නොහැකිය යන්න (මැතිවරණ කොමිසම ගත්ත තීරණය අනුව තවදුරටත් ඒ කාරණය සනාථ වෙනවා නම්) පාර්ලිමේන්තුව අලුතින් කැඳවීම සඳහා ජූනි මාසයේ 20 වැනිදාට පසු දිනයක් නියම කරන්නයි එතුමාට සිදු වන්නේ.

* පසුගිය දිනවල විපක්ෂය විසින් 70 (7) වගන්තිය යටතේ පාර්ලිමේන්තුව කැඳවිය යුතුය යන්නයි යෝජනා කළේ. ඔවුන් පවසන ආකාරයට එය කළ යුතු ද?

එලෙස පාර්ලිමේන්තුව කැඳවිය යුතුය යන්න කිසිවකුටත් නියම කරන්න බැහැ. ඒ වගේම එක් එක් අයගේ මතය අනුව පාර්ලිමේන්තුව කැඳවීමත් කළ නොහැකියි. පාර්ලිමේන්තුව විසිරුවා හැරලා තියෙන අවස්ථාවේ පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් බලතලය දීලා තියෙන්නේ ජනාධිපතිතුමාටයි. මේ අනුව 70 (7) වගන්තියට අනුව ජනාධිපතිතුමාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුව කැඳවිය හැකියි. එතුමාගේ අභිමතය භාවිත කිරීමට සුදුසු අවස්ථා මොනවා ද යන්නත් එහි සඳහන් වෙනවා. හදිසි තත්ත්වයක් ඇති වීමත්, ඒ හිදිසි තත්ත්වයට ප්‍රතිකර්මය පාර්ලිමේන්තුවෙන් කරගැනීමට හැකි බවට ජනාධිපතිතුමා සෑහීමකට පත් විය යුතුය යන්නයි එහි දැක්වෙන්නේ. එහෙත් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව කැඳවීමෙන් ඒ කාරණා කිසිවක් කරගැනීම සඳහා සෑහීමකට පත් වන්නේ නැත්නම් මේ කාරණා කිහිපයම තිබුණත් වැදගත් වන්නේ නැහැ. මේ නිසා ඒ මඟින් ජනාධිපතිතුමාගේ අදහසට කිසිදු බලපෑමක් කළ නොහැකියි.

* වර්තමානයේ රටේ පවතින වසංගත තත්ත්වය මත නව නීතිරීති සම්පාදනය විය යුතුයි නේද? එසේ නැති නම් ඔබ පවසන්නේ මේ සම්බන්ධයෙන් තිබෙන නීති වර්තමානයට වලංගු බව ද?

නව නීති පැන වීමට අවශ්‍ය වන්නේ පවතින නීති ප්‍රමාණවත් නැත්නම් හෝ නව නීති නිර්මාණය කිරීමට අවශ්‍යතාවක් තිබෙනවා නම් පමණයි. එවැනි අවස්ථාවකයි පාර්ලිමේන්තුවෙන් නව නීති සෑදිය යුත්තේ. වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ වසංගත තත්ත්වයක් බව සැබෑයි. මීට පෙර අපේ රටේ 1897 අංක 03 දරණ නිරෝධායන හා වසංගත රෝග පිළිබඳ විශේෂ පනත නිර්මාණය වී තිබෙන්නේ වසංගත තත්ත්වවලට අදාළවයි. එය පැරැණි වුවත් ඒ පනත අනුවයි අපේ රටේ වරින්වර රෙගුලාසි සකස්කිරීම සිදු වී තිබෙන්නේ. මීට පෙර අපේ රටේ මහාමාරිය, වසූරිය වගේ වසංගත රෝග තත්ත්ව ඇති වී තිබෙනවා.

ඒ වගේ අවස්ථාවල ක්‍රියාකරන්නයි මේ පනත ගොනු කරලා තිබුණේ. ඒ වගේ ම 1960 වසරේදී ගැසට් පත්‍රයකින් රෙගුලාසි නිර්මාණය කර තිබෙන්නේ ද මේ පනතට සාපේක්ෂවයි. වර්තමානයේ සෞඛ්‍ය ඇමැතිතුමිය තමන්ට තිබෙන බලතල, සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාට පවරා දීමක් කර තිබෙන්නේ ද මේ ගැසට් පත්‍රිකාව උපයෝගී කරගනිමිනුයි. ඒ නිසා මේ රටේ තිබෙන වසංගත රෝග තත්ත්වය පිළිබඳ සම්පූර්ණ පරිපාලන නීතිරීති සියල්ල ක්‍රියාත්මක කිරීමේ බලය තිබෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාටයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් ඇමතිතුමියගේ වෙනම සන්දේශයක් මඟින් පොලිසියට බලතල පැවරීම සිදු වූයේ ඉන් පසුවයි. එයට අමතරව පෙර තිබුණු නීතියේ විදියට මේ නව වසංගත රෝගය පිළිබඳ 2020 මාර්තු මාසයේදී වෙනම ගැසට් නිවේදනයක් මඟින් දැක්වූවා. ඒ පිළිබඳ ඒ වසංගත රෝගී තත්ත්වයත් අර පනතට ඇතුළු වන බවට නීති රෙගුලාසි ඇතුළු කරමිනුයි ගැසට් පත්‍රිකා නිර්මාණය වී තිබෙන්නේ.

අපේ අය කතා කරන විට ඇදිරිනීතිය යැයි පැවසුවාට ඇදිරිනීතිය කියන වචනයේ තේරුම ගත්තොත් පැහැදිලිව පෙනී යන ආකාරයට ඒ මඟින් කෙරෙන්නේ සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය ගමනාගමනය පාලනය කිරීමයි. ඒ ගමනාගමන පාලනය කරනු ලබන්නේ රටේ තිබෙන වසංගත තත්ත්වය මර්දනය කරගැනීම හා පාලනය කරගැනීම සඳහායි. ඒ තත්ත්වය වර්තමානයේ කරගෙන යනු ලබන්නේ තිබෙන සියලු ම නීතිරීති අනුවයි. ඒ සියලු නිරෝධායන කටයුතු, ඇදිරිනීතිය කඩකරන්නන් අත්අඩංගුවට ගැනීම හා ඔවුන්ගේ වාහන භාරයට ගැනීම සම්බන්ධ සියලු දේ ඒ ගැසට් නිවේදනයේ ඇතුළත් වී තිබෙනවා. ඒ රෙගුලාසි අනුවයි මෙතෙක් මේ සියලු දේ ක්‍රියාත්මක කර තිබෙන්නේ. ඉදිරියට මේ කටයුතු කරගෙන යෑමටත් ඒ රෙගුලාසිම ප්‍රමාණවත්. ඒ වගේම මෙතෙක් කරගෙන පැමිණි කටයුතු නිවැරැදි බව පෙනෙන්න තිබෙනවා. එසේ නම් නව නීති සැදීමේ අවශ්‍යතාවක් වර්තමානයේ පැන නඟින්නේ නැහැ.

* අපේ රටට ලැබෙන ආධාර මුදල් හෝ අර මුදල් පරිපාලනය කිරීම කළ යුත්තේ කුමන ආකාරයෙන් ද යන්න තීරණය කළ යුතුයි. එවැනි අවස්ථාවක ඒ තීරණ ගත යුත්තේ පාර්ලිමේන්තුව රැස් කිරීම මඟින් නේද?

පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබෙන අවස්ථාවක මුදල් පරිපාලනය සිදු විය යුත්තේ කොහොම ද කියන කාරණය පිළිබඳ පැහැදිලිව ප්‍රකාශ කර තිබෙන්නේ අපේ රටේ ව්‍යවස්ථාවේ 150 (3) (4) කියන වගන්ති ප්‍රකාරවයි. යම් කිසි විදියකින් පසුගිය රජයේ අයවැය ලේඛනය ඉදිරිපත් කර තිබුණා නම් ඒ අය වැය ලේඛනය වර්තමානයේ පවතින නිසා ජනාධිපතිවරයාට කිසිසේත්ම මුදල් ගැනීමට බලයක් ඇත්තේ නැහැ. ඒ මුදල් තිබෙන නිසා. ඊළඟට පාර්ලිමේන්තුවෙන් මුදල් වෙන් කර තිබුණා නම් එතුමාට මුදල් ගැනීමේ හැකියාවක් ඇත්තේ ද නැහැ. ඒ දෙකම නැති අවස්ථාවකදි සිදු වන්නේ ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියම කළ දිනය වන මාර්තු 02 වැනිදා සිට මුදල් ගැනීමේ බලතල ඒ වගන්තියෙන් ලබා දී තිබීමයි. ඒ වගන්තියට අනුව මේ බලතල නැති වන්නේ නව පාර්ලිමේන්තුව කැඳවා ඉන් මාස තුනකටත් පසුවයි. ඒ තාක් දුරට මුදල් පරිපාලනය කිරීම හා වියදම් කිරීමේ හැකියාව ජනාධිපතිතුමාට පැවරෙන බලතල ලබාදී තිබෙන්නේ ව්‍යවස්ථාවෙන්මයි.

* ඔබ පවසන්නේ ඒ වියදම් කිරීම් ජනාධිපතිවරයාට ඕනෑ විදියට කළ හැකි බව ද?

ඒ වියදම් කිරීම් ජනාධිපතිවරයාට ඕනෑ විදියට කළ නොහැකියි. එහිදී විය යුත්තේ ඒ වියදම් කරන සියලු ම දේ හරියාකාරව ලේඛන ගත කර, භාණ්ඩාගාරයේ බිල්පත් පරිදි ඒවා බෙදා හැර, ඒ පිළිබඳ සියලු තොරතුරු නව පාර්ලිමේන්තුව රැස් වූ වහාම ඉදිරිපත් කිරීමයි. එයට අමතරව සියලුම අවස්ථාවල විගණකාධිපතිවරයා ඒ සියලු දේ දෙස පරීක්ෂාවෙන් බලා සිටිය යුතු වෙනවා. ඔහු එහෙම කරනු ලබන්නේ යම් කිසි විදියකින් වැරැදි ක්‍රියාවක් සිදු වන ලද්දේ නම් ඒ පිළිබඳ නීත්‍යානුකූලව කටයුතු කිරීමේ හැකියාව තිබෙන නිසයි. වර්තමානයේදී ක්‍රියාකරන්නේ ඒ කියන ලද ක්‍රියාවලියට අනුවයි.

* මේ සියලු කාරණාවලට අමතරව 150 (4)වගන්තිය මඟින් ප්‍රකාශ කෙරෙන අන් කාරණා මොනවා ද?

ඉහත කියන ලද 150 (4) වගන්තිය ප්‍රකාරව පැහැදිලිව ප්‍රකාශ කරන තවත් කාරණයක් තිබෙනවා. එහිදි සඳහන් වන්නේ ජනාධිපතිතුමාට යම් කිසි අවස්ථාවක පාර්ලිමේන්තුව මඟින් මැතිවරණය පැවැත්වීම සඳහාත් මුදල් වෙන් කර නැත්නම්, එවැනි අවස්ථාවක එතුමාට 150 (4) වගන්තිය ප්‍රකාරව මැතිවරණ කොමිසමත් සමඟ සාකච්ඡා කර ඒ අයට අවශ්‍ය මුදල් ලබාගැනීමේ හැකියාව ද පවතින බවයි. මෙහිදී ඒකාබද්ධ අරමුදලින් කාගෙන්වත් අවසරයකින් තොරව මුදල් ලබාදීමේ බලය ජනාධිපතිතුමා සතු වන්නේ ව්‍යවස්ථාවෙන්මයි.

* “අපට කිසිම දීමනාවක් ඇතුළු සුපුරුදු ලෙස ලැබෙන කිසිම සහනයක් එපා” යැයි පවසමින් පසුගිය දිනවල විපක්ෂය ඒකාබද්ධ ප්‍රකාශයක් කළා. මේ තරම් සද්භාවයෙන් යුතු ප්‍රකාශයක් කර තිබෙද්දීත් ආණ්ඩුව ඒ ගැන නෑසූ කන් ඇතිව සිටීම සාධාරණ ද?

එය සාධාරණ වෙන්නේ ඔවුන්ගේ ක්‍රියාකලාපය මතයි. නීතියේ කියනවා “යම් දෙයක් කරනවා නම්, යම් දෙයක් සම්බන්ධයෙන් ඉල්ලීමක් කරනවා නම් පිරිසුදු දෑතින් පැමිණිය යුතුයි” කියලා. මේ පාර්ලිමේන්තුවේදී විපක්ෂය ඔය වගේ තත්ත්වයකට පත් විය යුතු නැහැ. මොකද විපක්ෂයට අප ගෞරව කරනවා. විපක්ෂය තමන්ගේ ඒ තිබෙන රාමුව ඇතුළේ හරියට ක්‍රියාකර තිබුණා නම් ඔවුන්ට කියන්න තිබුණේ “අපි කලින් කරපු විදියටම මේ අවස්ථාවේත් සහයෝගය ලබා දෙනවා. ඒ නිසා අපට කිසිම ප්‍රශ්නයක් නැහැ පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් කියලා.” ඒත් ඔවුන් එහෙම පවසන්නේ නැහැ.

ඔවුන් මීට ප්‍රථමයෙන් පරණ පාර්ලිමේන්තුව පවතින අවස්ථාවේ කටයුතු කළ ආකාරය පිළිබඳත් සිහිපත් කළ යුතුයි.

කලින් බලයේ හිටි රජය විසින් කරන ලද වියදම් සම්බන්ධව ගෙවීම් කිරීම් සඳහා මුදල් වෙන් කර තිබුණේ නැහැ. ඒ අය ඖෂධ ගෙන ඒම සම්බන්ධයෙන්, වැඩිහිටි දීමනා සම්බන්ධයෙන්, කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම් සම්බන්ධයෙන් වගේ ම ඒ අය කළ වැඩවලට බිලියන ගණනක් ගෙවීම් කර තිබුණේ නැහැ. ඒ ගෙවීම් සඳහා මුදල් ලබා ගැනීම උදෙසා පාර්ලිමේන්තුවට පරිපූර්ණ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ අවස්ථාවේ ප්‍රථමයෙන්ම නැඟිටලා වගකීම් විරහිතව විරුද්ධත්වය ප්‍රකාශ කළේ විපක්ෂයේ නායකතුමා. එහෙම තියෙද්දි දැන් “අපි මේකට කැමැත්ත දෙන්න හිටියේ කියලා” ඒ අය කරන ඒ ප්‍රකාශ පිළිගත නොහැකියි. මොකද ඔවුන්ගේ කලින් හැසිරීම මඟින් ඔවුන් එලෙස කටයුතු කරන ලද්දේ යම් යටි පරමාර්ථයකින් බවයි පෙනෙන්නේ. මෙවැනි ඉතිහාසයකුයි ඔවුන්ට තිබෙන්නේ.

* ඒ කියන්නේ ඔවුන් මේ රජයෙන් කෙරෙන කටයුතුවලට නිතරම විරුද්ධවයි යම් යම් ප්‍රකාශ කරන ලද්දේ?

වර්තමානයේ ඔවුන් පවසන දේ ගැන හිතුවොත් මේ සිදු වන කටයුතුවලට පරස්පර කාරණායි නිතරම පවසන්නේ. “වුවමනාවෙන් මරණ හංගනවා”, “ඒ සම්බන්ධයෙන් හරියාකාර ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන්නේ නැහැ.” කියන චෝදනාත් ඒවාට ඇතුළත්. ඊට අමතරව ජනාධිපතිතුමාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනෙන බවත් විපක්ෂය පවසද්දි මොන ජනාධිපතිතුමා ද නැවතත් පාර්ලිමේන්තුවක් රැස්කිරීමට කැමැත්තක් දක්වන්නේ?. ඔවුන් මේ කරන කියන දේවල සද්භාවයක් පෙනෙන්නේ නැහැ. මේ නිසා එවන් ඉතිහාසයක් තිබෙන නිසයි ජනාධිපතිතුමා මෙලෙස ක්‍රියාකර තිබෙන්නේ. අනෙක් කාරණය නව නීති සම්පාදනය කිරීමට අවශ්‍ය නැත් නම්, මුදල් ප්‍රතිපාදන සම්බන්ධව ව්‍යවස්ථාවෙන්ම පවසා සිටිනවා නම් පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ අර්ථය කුමක් ද? එයයි විමසිය යුත්තේ.

සාකච්ඡාව
තිලානි ශානිකා විතානාච්චි 

නව අදහස දක්වන්න