දේශීය වශයෙන් කොරෝනා ව්‍යාප්තිය අඩපණ වෙලා | දිනමිණ


 

දේශීය වශයෙන් කොරෝනා ව්‍යාප්තිය අඩපණ වෙලා

සන්ධ්‍යා කරුණාරත්න

නි.සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන

ආසාදිතයන් පිටරට සිට පැමිණෙන්නන් අතරින් පමණයි

කොවිඩ් - 19 වෛරසය ආසාදිතයන් මේ දිනවල වාර්තා වීම සිදු වනුයේ විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පිරිසගෙන් බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවැසුවාය.

පසුගිය සති හතරක කාලය පුරා සමස්ත සමාජයෙන් වෛරසය ආසාදිතයකු වාර්තා නොවූ බවත් වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයන් වාර්තා වීම ද ඉතා අවම මට්ටමක පවතින බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළාය.

පසුගිය මාර්තු 11 වැනිදා සිට මාස දෙක හමාරක කාලය තුළදී දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ලෙස 137 ක පිරිසක් පෙරේදා (26) හඳුනා ගත් බවත් ඉන් 127 ක් කුවේට් සිට පැමිණි පිරිසක් සහ 10 ක් නාවික හමුදා සාමාජිකයන් වන බවත් වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මැද පෙරදිග රටවල බහුතරයක් පිරිසට කොරෝනා ආසාදිතව ඇති අතර එරට රැකියා අහිමි වීමත් සමඟ මව්බිමට පැමිණීමට ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් බලා සිටින්නේ යැයි ද, වෛරසයේ ව්‍යාප්තිය අවම කර ගනිමින් කිසියම් කාල පරාසයකට අනුව ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු යැයි ද වෛද්‍ය පලිහවඩන මහත්මිය පැවැසුවාය.

කොරෝනා වෛරසය ආසාදිතයන් 1319 ක් මේ වන විට වාර්තා වී ඇති අතර 712 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවත් සමස්ත ආසාදිතයන්ගෙන් 638 ක් නාවික හමුදා සාමාජිකයන් වන අතර 291 ක් විදෙස්ගතව මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිස අතරින් වාර්තා වූ බවත් ඇය ප්‍රකාශ කළාය.

නව අදහස දක්වන්න