හොංකොං විරෝධතාවට ගම්මිරිස් ප්‍රහාර | දිනමිණ

හොංකොං විරෝධතාවට ගම්මිරිස් ප්‍රහාර

චීන ජාතික ගීයට අපහාස කිරීම සාපරාධි ක්‍රියාවක් බවට පනතක් සම්මත කිරීමට චීන රජය පියවර ගැනීමට එරෙහිව විරෝධතාවකට යොමුවී සිටින හොංකොං වැසියන්ට පොලීසිය විසින් ගම්මිරිස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. ජාතික ගීය සම්බන්ධ පනත එරට පාර්ලිමේන්තුවේ දෙවැනි වර විවාදයට ගැනීම ඊයේ සිදුවූ අතර ඊට එරෙහිව වීදි බැස උද්ඝෝණයට එක්වූ දහස් සංඛ්‍යාව හොංකොං වැසියන්ට මේ ගම්මිරිස් ප්‍රහාරයට මුහුණ දීමට සිදුවිය.

චීන ජාතික ගීයට පරිභව කිරීම අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට ගත හැකි බවට මේ පනත සම්මත කරගැනීමට කටයුතු යොදා ඇති අතර ඒ අනුව චීන ජාතික ගීයට අපහාස කිරීමේ වරදට හසුවන පුද්ගලයන්ට හොංකොං ඩොලර් පනස්දහසක දඩයක් හෝ වසර තුනක සිර දඬුවමක් පැනවිය හැකි බව කියැවේ.

හොංකොං රාජ්‍යයට ස්වකීය ජාතික ගීයක් නොමැති අතර එරට බොහෝ අවස්ථාවන් හීදි වාදනය වූයේ චීන ජාතික ගීයයි. එහෙත් දෙපාර්ශ්වය අතර ගැටුම් ආරම්භවීමෙන් පසුව චීන ජාතික ගීය වාදනය වූ අවස්ථාවලදී හොංකොං වැසියන් ඊට හූ හඬ නගමින් එය ප්‍රතික්ෂේප කිරීමක් සිදුවීය.

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියෙන් පසුව හොංකොං රාජ්‍යයට හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට චීනය කටයුතු කිරිමත් සමග හොංකොං නුවර නැවත උණුසුම් වූ අතර ජාතික ගීය සම්බන්ධ පනත හේතුවෙන් එහි තත්ත්වය තවත් දරුණු අතට හැරිණි. කැරලි මර්දන පොලීසිය විසින් විරෝධතාකරුවන් සියයකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

චීනය යටතේ පාලනය වන හොංකො රාජ්‍යය පසුගිය වසරේ සිට උද්ඝෝෂණ විශාල වශයෙන් සිදුවෙමින් පවතී. චීනයේ බොහෝ නීතිරීති හොංකොං රාජ්‍යයටත් ක්‍රියාත්මක කිරීමට චීන රජය පියවර ගැනීමෙන් එම තත්ත්වය උද්ගත විය. වසර 150කට අධික කාලයක් බ්‍රිතාන්‍ය කොලොනියක් බවට පත්වී තිබූ හොංකොං රාජ්‍යය 1997දි චීනයට පවරා දෙනු ලැබූ අතර ඉංග්‍රිසි සම්ප්‍රදායට අනුව හැඩ ගැසී සිටි හොංකොං වැසියන්ට සමාජවාදී චීන සම්ප්‍රදායට මාරුවීමේදී පැණ නැගුණ සංකීර්ණ ගැටලු සහගත තත්ත්වය හමුවේ දෙපාර්ශ්වය අතර වරින් වර ගැටුම් ඇතිවිය.

 

නව අදහස දක්වන්න