ණය හා ආධාර ! | දිනමිණ


 

ණය හා ආධාර !

විදේශ ආධාර හා විදේශ ණය ලෝක ආර්ථිකය හසුරවන ප්‍රධාන සාධකයක් බවට පත් ව තිබේ. දියුණු රටවල් හා ජගත් මූල්‍යා’යතන ණය හා ආධාර ලබාදීමටත්; දියුණු වෙමින් පවතින රටවල් හෝ දුප්පත් රටවල් හෝ ඒවා ලබා ගැනීමටත් සදාචාරවත් ලෙස බැඳී සිටී. ලෝක ආධාර හා ණයවලින් තොරව දිළිඳු රටවලට හිස එසැවිය නොහැකි බව පිළිගත් මතයකි. කොවිඩ් - 19 ලෝක වසංගත තත්ත්වය යටතේ ණය හා ආධාරවල අවශ්‍යතාව වඩාත් තදින් දැනෙන්නට පටන්ගෙන තිබේ. ආසියානු කලාපය ඉදිරි දසක කිහිපය තුළදී ණය හා ආධාර අවශ්‍ය විශේෂ කලාපයක් බවට පත්වන්නේ වේගවත් සංවර්ධනයක් අපේක්ෂා කරන රටවල් ගණනාවක් ඊට ඇතුළත් බැවින් ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලවත් රටවල නායකයන්ගෙන් මෙන් ම ජගත් මුල්‍යායතනවල ප්‍රධානීන්ගෙන් ද ඉල්ලීමක් කර තිබේ. එනම්; මේ බැරෑරුම් තත්ත්වය වටහාගෙන සහන ලබාදෙන හැටියට ය. ජනාධිපතිවරයා මේ වන විට කිහිප වරක් ම ඉහත ඉල්ලීම සිදු කර තිබේ. එක අතෙකින් ගෙවීමට ඇති ණය හා පොලී වෙනුවෙන් යම් සහන ඇති කළ හැකි ය. තව අතෙකින් අලුත් සහන යටතේ ණය ලබාදීමට පියවර ගත හැකි ය. මෙය සැලැකිය හැක්කේ ගෝලීය ආර්ථිකය බලවත් කම්පනයකට පත් වූ අවස්ථාවක් හැටියට ය. එහි වැඩි බර දැනෙන්නේ දියුණු වෙමින් පවතින රටවලට ය.

ශ්‍රී ලංකාව මේ වන විට විශේෂ ආර්ථික අපහසුතා කිහිපයකට මුහුණ දී සිටී. ඒවා කොරෝනා වසංගතය නිසා හටගත් ඒවා නොව; ඊට පෙර පටන් පැවැති දුර්වලතා ලෙස හඳුනාගත හැකි ය. 2014 සිට 2019 දක්වා ජාතික ආර්ථිකයේ කඩා වැටීම, 2019 දී පාස්කු ප්‍රහාරය එල්ලවීම එහි කේන්ද්‍රීය සිදුවීම් ලෙස හඳුනාගත හැකි ය. ශ්‍රී ලංකාව ආදායම් උපදවන ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක් පසුගිය පස් වසර තුළ පසුබෑමට ලක් විය. අපනයන ක්ෂේත්‍රය, සංචාරක කර්මාන්තය හා ඉදිකිරීම් ක්ෂේත්‍රය ඒ අතරින් ප්‍රධාන වෙයි. පාස්කු ප්‍රහාරය නිසා සංචාරක කර්මාන්තය බිංදුවට ම පහළට ඇද වැටුණු බව එම ක්ෂේත්‍රයෙහි හෝටල් හිමියෝ කියා සිටිති. මේවා යළි පණගන්වන්නේ නැතිව ආර්ථිකය යථා තත්ත්වයට ගැනීම අපහසුය.

මේ අතර කඩා වැදුණු කොරෝනා වසංගතය නිසා ර‍ජයට තවත් අභියෝග කිහිපයකට මුහුණ දෙන්නට සිදු වී ඇත. ජනගහනයෙන් ලක්ෂ හැත්තෑ දෙකකට ජීවන - ආධාර සැපයීමට රජයට සිදු වී ඇත. කොරෝනා වසංගතය පිටු දැකීම සඳහා තවත් විශාල මූලධනයක් වෙන් කිරීමට සිදු වී තිබේ. ගෙවී ගිය මාස තුනකට ආසන්න කාලය තුළ ආර්ථිකයේ ඇතැම් ක්ෂේත්‍ර වසා දමා තිබිණි. තවත් ක්ෂේත්‍ර සම්පූර්ණ ලෙස ක්‍රියාත්මක වූයේ නැත. බදු අයකිරීම්, ණය පොලී අයකිරීම් ආදිය සඳහා ජනතා සහන ඇති කිරීමටත් රජයට සිදු විය. මෙහි සමස්ත පාඩුව දරා ගනිමින් ආර්ථිකය සක්‍රීය කිරීම රජය හමුවේ ඇති ප්‍රධාන අභියෝගය වෙයි.

කාලයක් තිස්සේ අපේ ආර්ථිකය ගැට ගැසී තිබුණේ ගෝලීයකරණ ප්‍රතිපත්තිවලට හා විවෘත ආර්ථිකයේ උපාය මාර්ගවලට අනුගතව ය. බලයේ සිටි සෑම ආණ්ඩුවක් ම සිය සංකල්ප ප්‍රතිපත්ති හා වැඩසටහන් නිර්මාණය කර ගත්තේ ඉහත ක්‍රම විධිවලට අඩු - වැඩි වශයෙන් අනුගත ‍වෙමින් යැයි කීම වඩා නිවැරැදි ය. එය දියුණුවේ මාර්ගය වූ බැවින් මග හැර යා නොහැකි තත්ත්වයක් ද පැවැතිණි. එහෙත් කොරෝනා වසංගතය හමුවේ සියල්ල ආපස්සට හැරී ඇත. ගෝලීය ගනුදෙනු බිඳ වැටී ඇත. ආහාර නිෂ්පාදනය හා ආදායම් උපයා ගැනීම් ජාතික ආර්ථිකයකට සීමා කිරීමට සිදු වී ඇත. දේශීය ආර්ථිකය කෙරෙහි වැඩි විශ්වාසයක් තබා කටයුතු සිදු කිරීමත් නව විලාසය වී ඇත.

‍වසංගත රෝග පිළිබඳ විශේෂඥයන්ගේ මතය වන්නේ තවත් වසර එකහමාරක පමණ කාලයක්වත් කොවිඩ් - 19 වෛරසය සමඟ සටන් වදිමින් ජීවත්වීමට මනුෂ්‍ය ප්‍රජාවට සිදු වන බව ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය ද ඊට වෙනස් නැත. එක අතෙකින් කොරෝනා වසංගතය වැළැක්වීමට වැඩසටහන් ක්‍රියාත්මක විය යුතු අතර තව අතෙකින් ආර්ථිකය පණගැන්වීමට වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සිදු වී ඇත. මෙය එකිනෙක රටවල් මුහුණ දෙන බලවත් අභියෝගයක් සේ සැලැකිය හැකි ය. රටවල් හා එම රටවල නායකයන් තමන්ගේ ක්‍රමවේද සකසා ගත යුතුව තිබේ. ඒවායෙහි අභියෝග ද භාරගත යුතුව තිබේ.

විදේශ ආධාර හා ණය ගත් කල එහි දෙපැත්තක් තිබේ. ණය හා පොලී ගෙවීම එක පැත්තකි. කොන්දේසි ක්‍රියාත්මක කිරීම තවත් පැත්තකි. ශ්‍රී ලංකාව අමෙරිකන් ඩොලර් බිලියන හතක පමණ ණය මුදලක් ගෙවීමට ඇති බව කියති. කුමන ආණ්ඩුවක් ණය ලබාගෙන තිබුණ ද පවතින රජය එම ණය හා පොලී ගෙවා දැමිය යුතුය. ණය හා පොලී ගෙවීම සඳහා සහන කාලයක් ලබා දෙන්නැ’යි රාජ්‍ය නායකයෝ රැසක් බලවත් රටවලින් ඉල්ලා සිටිති. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද එම ඉල්ලීම කර ඇත. එය සාධාරණ හා යුක්ති සහගත ඉල්ලීමකි. අවම ලෙස වසර තුනකවත් සහන කාලයක් අපේක්ෂා කෙරේ.

අපට ණය හා ආධාර ලබාදෙන බලවත් රටවල් කිහිපයක් තිබේ. චීනය, ඉන්දියාව, ජපානය, එංගලන්තය, අමෙරිකාව ඒ අතර ප්‍රධාන වෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල , ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව , ණය හා ආධාර ලබාගන්නා ජගත් මූල්‍යායතන වෙයි. ඉහත රටවල් සමඟ හොඳ හිත පවත්වාගැනීමට සේම ජගත් ආයතනවල විශ්වාසය රැකෙන අයුරින් ක්‍රියා කිරීමටත් ශ්‍රී ලංකාව සමත් වී ඇත. එය අප හමුවේ ඇති ප්‍රධාන වාසියක් ලෙස සැලැකිය හැකිය. කොරෝනා වසංගතය පිටු දැකීමේදී ශ්‍රී ලංකාව ලෝකයේ සෙසු රටවල්වලට වඩා ඉදිරියෙන් සිටීම තවත් වාසියකි. මේ අනුව බලවත් රටවල අවධානය මෙන් ම ජගත් මූල්‍යායතනවල සැලැකිල්ල ද ශ්‍රී ලංකාවට හිමි විය යුතුය.

නව අදහස දක්වන්න