නැගෙනහිර කෘෂිකාර්මික කටයුතු සදහා තාක්ෂණික දැනුම පාකිස්ථානයෙන් | දිනමිණ

නැගෙනහිර කෘෂිකාර්මික කටයුතු සදහා තාක්ෂණික දැනුම පාකිස්ථානයෙන්

ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහකොමසාරිස්  Maj.Gen (Retd.)Muhammad Saad Khattak සහ නැගෙනහිර පළාත් ආ‍ණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අතර විශේෂ හමුවක් ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී පසුගියදා (28) පැවැත්විණි.
 
දෙරටේ හමුදාමය සම්බන්ධතා ඉතා සාර්ථකව ක්‍රියාත්මක වුවද තමන්ගේ අවධානය නිරන්තරයෙන් යොමු වන්නේ ඉන් ඔබ්බට ගිය ආර්ථික සහ ආයෝජන අවස්ථා කෙරෙහි බව පාකිස්ථානු මහ කොමසාරිස්වරයා මෙහිදී කීවේය.
 
ඒ අතරම නැගෙනහිර පළාතේ කෘෂිකාර්මික කටයුතු වඩාත් සාර්ථක කර ගැනීම සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීමට උපකාර කරන බවද හෙතෙම කියා සිටියේය. පාකිස්ථානු ශ්‍රී ලාංකික සබදතා සමගින් උදාවි ඇති අවස්ථා සම්පූර්ණයෙන් ප්‍රයෝජනයට ගන්නා අවස්ථාවන් පෙනෙන්නට නොමැති බවත් එම අවස්ථා තවදුරටත් පුළුල් කළ යුතු බවත් මහකොමසාරිස්වරයා අවධාරණය කළේය.
 
නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්තය දියු‍ණු කිරීම සදහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්නැයි ආණ්ඩුකාරවරිය ඉල්ලා සිටි අතර ඒ සදහා හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවද මහකොමසාරිස්වරයා කිවේය.
 
බෞද්ධයන්ගේ වන්දනා භුමියක් වන “තක්ෂිලාව” කේන්ද්‍ර කර ගනිමින් බෞද්ධ සංචාරකයන් පාකිස්ථානයට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු මෙන්ම ඒ සදහා පහසුකම් සලසන බවද මහකොමසාරිස්වරයා මෙහිදී කියා සිටියේය. ශ්‍රී ලංකාවේ තේ පාකිස්ථානයට අපනයනය කිරීමට අවශ්‍ය කටයුතු තවදුරටත් පුළුල් කර දෙන ලෙසද ආණ්ඩුකාරවරිය මෙහිදී ඉල්ලා සිටියාය. ඊට සිය පූර්ණ සහයෝගය දෙන බව පැවසු මහකොමසාරිස්වරයා කියා සිටියේ “සිලෝන් ටී” නාමයට පාකිස්ථානයේ දැඩි කැමැත්තක් තිබූ බවත් පසුගිය වසර කිහිපය තුළ එම අවස්ථාව කෙන්යාව උදා කරගෙන ඇති බවත්ය.
 
ඊට අමතරව නැගෙනහිර පළාතේ දරුවන් සදහා පකිස්ථානු විශ්ව විද්‍යාලවල ශිෂ්‍යත්ව කිහිපයක් ලබාදිම ගැනද මෙහිදී සාකච්ඡා විය.
 
ඊට අමතරව කොවිඩ් - 19 වසංගතයෙන් පසු නැගෙනහිර පළාතේ ආර්ථික කටයුතු නගා සිටුවීම පිළිබදවද මෙහිදී සාකච්ඡා කිරීම විශේෂත්වයකි.
 

නව අදහස දක්වන්න