අගමැති මෝදි හා අගමැති මහින්ද අතර දුරකතන සංවාදයක් | දිනමිණ

අගමැති මෝදි හා අගමැති මහින්ද අතර දුරකතන සංවාදයක්

ශ්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ජීවිතයට වසර 50ක් පිරීම නිමිත්තෙන් සුබ පතමින් සහ කෝවිඩ් – 19 වසංගත තත්ත්වය පාලනය කිරීමට ශී‍්‍ර ලංකාව සමත් වූයේ නිසි වේලාවට නිසි පියවර ගැනීම නිසා යැයි ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කරයි. 
 
දෙරටේ අග‍්‍රාමාත්‍යවරුන් අතර විනාඩි 30ක පමණ කාලයක් පසුගිය 27වනදා මෙම දුරකතන සංවාදය පැවැති අතර කොවිඞ් – 19 වසංගත තත්ත්වය පාලනය කිරීමට හැකිවීම සම්බන්ධයෙන් ද එහිදී ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සුබ පැතීය.
 
අභාවප‍්‍රාප්ත ශ‍්‍රී ලංකා කම්කරු කොංග‍්‍රසයේ නායක, ප‍්‍රජා සවිබල ගැන්වීම් හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අභාවය සම්බන්යෙන් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී ශෝකය පළ කළේය.
 
සාර්ක් සාමාජික රටවල සහභාගීත්වය ඇතිව කෝවිඞ් – 19 අරමුදල පිහිටුවීමට පුරෝගාමී වීම සම්බන්ධයෙන් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාට සිය ප‍්‍රසංසාව පල කළ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙරටේ සුබ සිද්ධිය වෙනුවෙන් මෙම සම්බන්ධතාවය අඛණ්ඩව පවත්වා ගත යුතු බව ද පෙන්වා දුන්නේය.
 
කොවිඩ් අර්බුදය අතරතුර ඉන්දියාවේ රැදී සිටි ශී‍්‍ර ලාංකිකයින් ශී‍්‍ර ලංකාවට ගෙන්වා ගැනීමේ දී ඉන්දීය රජයෙන් ලැබුණු සහාය අගය කරන බවද අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සදහන් කලේය.
 
වතුකරයේ නිවාස වැඩිදියුණු කිරීම සම්බන්ධව මේ වන විට රජයේ අවධානය යොමු වී තිබෙන බව අග‍්‍රාමාත්‍යවරයා එහිදී සදහන් කළ අතර ඒ සදහා ආධාර කිරීමට ඉන්දීය රජය සූදානම් බව ද ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ඊට පිළිතුරු දෙමින් සදහන් කර ඇත.
 
නායකයින් දෙදෙනා දෙරටේ සෞඛ්‍ය හා ආර්ථික ක්‍රියාවලීන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩිවිය වාර්තා කර ඇත.
 
 
 

නව අදහස දක්වන්න