කොරෝනා වසංගතය හමුවේ අමෙරිකාව කොතැනද? | දිනමිණ


 

කොරෝනා වසංගතය හමුවේ අමෙරිකාව කොතැනද?

අමෙරිකාව කොරෝනා වසංගතය වේගයෙන්ම පැතිරෙන රට වශයෙන් ද ඉදිරියෙන්ම සිටියි. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ චෝදනාව එල්ල වන්නේ එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙතය. ට්‍රම්ප්ගේ ක්‍රියා කලාපයන් නිසා අමෙරිකාවේ කොරෝනා ආසාදන අඩු වෙනවා වෙනුවට වැඩි වනවා දක්නට ලැබෙන බව මේ විවේචන එල්ල කරන අය කියති. අමෙරිකාවේ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ තිරසර සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය ජෙෆ්රි සැච්ස් මේ විවේචනය තදින්ම සිදු කරන බුද්ධිමතෙකි. තම රට වසංගතයට සුබදායී ප්‍රතිචාරයක් දක්වන තුරු එයින් ගොඩ යාමට නොහැකි බව මහාචාර්ය සැච්ස් පෙන්වා දෙයි.

වසංගතය පාලනය කිරීමට හෝ ආර්ථිකය නැවත පණගැන්වීමට අමෙරිකාවට තවමත් මූලික සැලැස්මක් නොමැත. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අසාර්ථක ය.

ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත අනුව බලන විට අප්‍රේල් මැද භාගයේ දත්ත අනුව බැලුවත් අමෙරිකාව සිටියේ ආසියානු රටවල්වලට වඩා පසුබාය. එවකට ජනගහනයේ මිලියන එකකට මරණ 62ක් වාර්තා විය. එම විශ්වවිද්‍යාලයේම දත්ත අනුව සමාන කාල සීමාවේ දී හොංකොං, ජපානය සහ තායිවානය යනාදී රටවල කොවිඩ් මරණ අනුපාතය ජනගහනයේ මිලියනයකට එකක සීමාවේ පැවැතිණි. චීනය, දකුණු කොරියාව සහ සිංගප්පූරුවේ මිලියනයකට මරණ 5කට අඩු මට්ටමේ පැවැතිණි.

ඉන්දියාව ද ඉතා වැදගත් තීරණයක් ගත්තේය. එනම් බිලියන 1.3ක එරට මහා ජනගහනයට සාපේක්ෂව මාර්තු 24 වැනිදා වන විට මරණ 10ක් පමණක් වාර්තා වී තිබුණත් කොරෝනා වසංගතය ප්‍රචලිත වීම වැළැක්වීමට සම්පූර්ණ රටම වසා දැමීමේ දුෂ්කර තීන්දුව එරට ගත්තේය. අප්‍රේල් මැද භාගය වන විටත් එරට මරණ 289කට නැතිනම් මිලියනයකට 0.2ක් පමණක් වාර්තා විය. මේ නිසා අමෙරිකාවේ මෙන් රෝගීන් පිරී ගොස් රෝහල් පද්ධතිය අඩපණ වූයේ නැත. ආසියානු රටවල් මෙන් නොව අවදානම දොරට තට්ටු කරද්දීත් වසංගතයට පිළියම් යෙදීමට ට්‍රම්ප් අපොහොසත් විය. ඉහළ අවදානම නොතකා හරිමින් ඊට නිසි පියවර නොයොදමින් තමන් සියල්ල පාලනයට නතු කළ බවට ට්‍රම්ප් පාරම්බෑවේය.

මෙම කර්තව්‍යයේ දී අමෙරිකාව තනි වූයේ නැත. ඔවුන් සමඟ හරි හරියට යුරෝපා රටවල් රැසක් ද සිටියේය. ඔවුහු ද නිසි කලට නිසි පියවර ගැනීමට අපොහොසත් වූහ. ඇතැම් රටවල් මුල් කාලයේ මිලියනයකට මරණ අනුපාතයෙන් අමෙරිකාව ද පසුකර ගියේය.

මහජන සෞඛ්‍ය විද්වතුන්ගේ සේවය නිසි ආකාරයට ලබා ගැනීමට ට්‍රම්ප් අසමත් විය. මහජන සෞඛ්‍යයේ මූලයන් නොසලකා හැරිය ඔහු මේ වසංගතය දේශපාලන සහ මැතිවරණ දෘෂ්ඨි කෝණයෙන් දැකීමට පුරුදු වී සිටියේය. තමන්ගේ අඩුපාඩු මතුවන විට ට්‍රම්ප් ඔහුට සුපුරුදු පරිදි අනුන්ට බැණ අඬගැසීමට පටන් ගත්තේය. ලොවපුරා රටවල්වල ආණ්ඩුවලට කොරෝනා වසංගතයට මුහුණ දීමට විශාල කාර්ය භාරයක් සිදු කරන ලෝක සෞඛ්‍ය සංවිධානයට ද ට්‍රම්ප් බැණ අඬ ගැසුවේය. තමන්ගේ නිවැරැදි නොවන වගකීමක් නැති ප්‍රතිපත්තිවලට නොගැළපෙන නිසා ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට දොස් පවරණ බව පැහැදිලිවම පෙනෙන්නට ඇති කාරණයකි. ඔහුගේ වගකීමක් නැති කොංග්‍රස් සගයෝ ද මේ මතයට අනුකූලව ම කටයුතු කරති. ට්‍රම්ප්ගේ ප්‍රචාරක කටයුතුවලට ම අනුබල දෙන නියෝජිතයන් වනවා වෙනුවට මේ අයට තම තමන්ගේ බල ප්‍රදේශවල කොරෝනා වසංගතය පාලනය කිරීමට වගකීමක් ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ප්‍රහාර එල්ල කිරීම නුවමනා දෙයකි. එම සංවිධානය යටතේ සෑම රටකටම එකම විට එක හා සමානව තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව හිමි වේ. අමෙරිකාව සහ යුරෝපයේ රටවල් අසාර්ථක වෙද්දී ආසියානු රටවල් මේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේ දැයි විමසා බැලීමට වටිනා කාරණයකි. මෙයට ඇත්තේ එක පිළිතුරකි, ඒ ශක්තිමත් ජාතික නායකත්වයක් තිබීම සහ මහජන සෞඛ්‍යයේ සූදානමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය එකම විට සෑම රටකටම තොරතුරු වාර්තා කරන්නකු නොවේ. එය ඇත්තෙන්ම අමෙරිකාව ඇතුළු සෑම රටකටම පොදු තොරතුරු මූලාශ්‍රයකි.

අමෙරිකාවට තමන්ගේම විශේෂඥයන් සිටියි, තමන්ගේම බුද්ධි අංශ පවතියි. තමන්ගේම වසංගත රෝග තොරතුරු ජාලයක් පවතියි. චීනය මේ වසංගතයට මුහුණ දීමට පියවර ගත් ආකාරය සෘජුවම නිරීක්ෂණය කිරීමට අමෙරිකාවට ඕනෑතරම් හැකියාව තිබිණි. ජනවාරි 23 වැනිදා චීනය වුහාන් වසා දැමූ පසු පවා අමෙරිකාවට සිතීමට දෙයක් එක් කළේය. ට්‍රම්ප්ට මෙහි තේරුම් ගැනීමට අසීරු වූ කොටස කුමක් ද?

සැබෑම කාරණය වන්නේ අනතුරු ඇඟවීම් දෙසැම්බර් අග භාගයේ ම දක්නට ලැබූ බවයි. තායිවානය 2019 දෙසැම්බර් 31 වැනිදා තරම් කලින් අවශ්‍ය පියවර සම්පාදනය ක‍ළේය. අමෙරිකාවේ බුද්ධි අංශ ජනවාරි මුල් භාගයේ දීම ට්‍රම්ප්ට අනතුරු ඇඟවීම් වාර්තා කළේය. ජනවාරි 3 වැනිදා චීනයේ රෝග පාලන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා අමෙරිකාවේ රෝග පාලන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා වෙත පෞද්ගලිකවම දුරකථනයෙන් අමතා අනතුර ගැන දැනුම් දුන්නේය. ට්‍රම්ප්ගේ ධවල මන්දිර උපදේශක පීටර් නවාරෝ වෛරසයේ අනතුරුදායක බව ගැන හදිසි මෙමෝවක් නිකුත් කළේය. මේ වාර්තාව හෝ මෙමෝ කිසිවක් තමන් දුටුවේ නැතැයි ට්‍රම්ප් කියයි. එය සැබෑවක් විය හැකිය. මක්නිසාද යත් ඔහු නිතරම ප්‍රමාදී පුද්ගලයකු වන නිසාය. ඔහු උනන්දු වන්නේ තමාගේ මහා රැලි ගැන හෝ රියැලිටි රූපවාහිනී ඉදිරිපත් කිරීම් ගැන හෝ ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත වීම ගැනය. කොටස් වෙළෙඳ පොළේ වර්ධනය හෝ අඩුවෙන් බදු අය කිරීම පමණක් යහපත් ලෙස සලකන ඉහළ පන්තියේ ආසාවන් සන්තර්පනය කිරීම ඔහුගේ අපේක්ෂාවයි.

ට්‍රම්ප් චීනයට දොස් නඟයි. එහෙත් චීනය තම රටේ වසංගතය පරාජය කළේය. අමෙරිකාවට එසේ කිරීමට හැකි වූයේ නැත. චීනය තම රටේ සිටි ඉහළම විද්‍යාඥයන් සහ අංක එකේ සමාගම් කොරෝනා සටනට දිරිමත් කළේය. කොටින්ම ට්‍රම්ප් පෙබරවාරි මාසය වන තෙක් චීනයේ කටයුතු පැසසුවේය, තමන්ගේ රටේ තත්ත්වය නරක අතට හැරෙන විට ඔහුගේ ආස්ථානය වෙනස් විය.

චීනය මහජන සෞඛ්‍ය විශේෂඥයන් වෙත හැරෙන විට අමෙරිකාවේ ට්‍රම්ප් තමන්ගේ උප ජනාධිපති මයික් පෙන්ස් සහ ජැරඩ් කුෂ්නර් බෑණා දෙසට හැරිණි. දහස් ගණන් අමෙරිකානුවෝ වසංගතයට නිරපරාදේ ජීවිතය පුද කළහ.

වසංගතයට මුහුණ දීමට ජාතික සැලැස්මක් අමෙරිකාවට නොතිබිණි. මහජන සෞඛ්‍ය පද්ධති, විශ්වවිද්‍යාල සහ අනිකුත් විද්‍යා මධ්‍යස්ථානවල පිහිට ලබා ගෙන ඒ අනුව කටයුතු කළේ ආණ්ඩුකාරවරු සහ නගරාධිපතිවරුන්ය. එහෙත් ජාතික සැලැස්මක් තිබුණා යැයි කීමට හැකියාවක් නැත.

අමෙරිකාව කළ යුතුව තිබුණේ හැකි තරම් කොරෝනා වසංගතයට ගොදුරු වූ අය හඳුනාගෙන නිරෝධානයට යොමු කිරීමයි. පිළිගත් මහජන සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ආරම්භයේ සිටම ක්‍රියාවේ යෙදවීමයි. එහෙත් ඒ කිසිවක් සිදු වූයේ නැත. ආසියානු රටවල් මේ අතින් සාර්ථක පියවර රැසක් ම ගෙන තම ප්‍රශ්න සෑහෙන දුරට විසඳා ගැනීමට සමත් විය.

නිව්යෝර්ක් නගරයේ මරණ ප්‍රතිශතය වැඩි වීමට බලපෑ ප්‍රධාන කාරණාවක් ලෙස එහි පවතින අධික ජන ඝනත්වය දැක්විය හැකිය. නිව්යෝර්ක් නුවර කොරෝනා ආසාදිත අනුපාතය මිලියනයකට 513කි. කැලිෆෝනියාවේ තත්ත්වය සමඟ සැසඳීමේ දී එය දැක්වෙන්නේ මිලියනයකට මරණ 17ක් ලෙසයි. පරීක්ෂණවලින් අනාවරණය වී ඇති පරිදි යුරෝපයෙන් පැමිණ ඇති කොරෝනා වසංගතය දම්වැලක ආකාරයට වේගයෙන් ප්‍රචලිත වී තිබේ. කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෝර්ජ් රදර්ෆර්ඩ් පවසන්නේ 100 දෙනකුට වඩා රෝගය පතුරුවා ඇති සුපිරි ආසාදිතයන් ද හමු වී ඇති බවයි. කෙටියෙන්ම පවසතොත් අමෙරිකාවේ කොරොනා වසංගතය මෙතරම් වේගයෙන් ප්‍රචලිත වීමට හේතුව නිසි කලට නිසි පියවර නොයොදා අයාලේ යාම බව පැහැදිලිවම පෙනෙන්නට ඇති කාරණාවකි.

බුද්ධි කරුණාරත්න

නව අදහස දක්වන්න