ඓතිහාසික නඩු තීන්දුව! | දිනමිණ


 

ඓතිහාසික නඩු තීන්දුව!

ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික නඩු තීන්දුවක් ලබාදී ඇති බව ද, ඉන් ජනතා පරමාධිපත්‍ය තවදුරටත් තහවුරු වන බව ද නීති විශාරදයෝ පෙන්වා දෙති. මේ මතය ප්‍රකාශ වන්නේ ඊළඟ මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමත් සමඟ ය. පෙත්සම් පිළිබඳ කරුණු දැක්වීම දින දහයක් පුරා පැවැති අතර පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඉහත තීන්දුව ලබාදුන්නේය. පෙත්සම්කරුවන්ගේ අරමුණ වූයේ මැතිවරණය කල් තැබීම හා පරණ පාර්ලිමේන්තුව යළි කැඳවීම ය. එම අරමුණු දෙක ම නීතියට පටහැනි බව උක්ත තීන්දුව පෙන්වා දෙයි.

නඩු තීන්දුවෙන් හැඟවෙන තවත් කරුණු කිහිපයක් තිබේ. ඉන් පළමුවන්න නම්; පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට අදාළව ජනාධිපතිවරයා මෙතෙක් ගෙන ඇති සෑම පියවරක් ම නීතියට එකඟ බව ය. දෙවන්න නම්; පරණ පාර්ලිමේන්තුව යළි කැඳවීම දේශපාලන වශයෙන් අර්ථ-විරහිත ක්‍රියාවක් බව ය. තෙවන්න නම්; මහ මැතිවරණය කොවිඩ්-19 වයිරසයට මුවාවී දිගින් දිගටම කල් තැබීම ජනතා පරමාධිපත්‍යයට පටහැනි කටයුත්තක් බව ය. මීට අමතරව පෙනී යන පොදු කාරණයක් වන්නේ පෙත්සම්කරුවන්ගේ අභිලාසයන් දේශපාලනික බව ය. මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් අටෙන් හතරක් ම ඉදිරිපත් කරන ලද්දේ සමඟි ජන බලවේගයේ නියෝජිතයන් විසිනි.

ජනාධිපතිවරයා මුලසිටම පෙන්වා දුන්නේ මැතිවරණය පැවැත්වීමේ දින වකවානු මැතිවරණ කොමිසම තීරණය කළ යුතු බව ය. මැතිවරණය සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් කිරීමට තමන් ඉදිරිපත් නොවන බව ද ජනාධිපතිවරයා පැහැදිලිව කියා තිබිණි. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමැසිය යුතු යැයි තවත් මතයක් ඉදිරිපත් වූවද ‍ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහස වූයේ එවැනි පියවරක් ගැනීමේ අවශ්‍යතාවක් නැති බව ය. ව්‍යවස්ථාවට අනුව මැතිවරණය පැවැත්වීමේ බලය මැතිවරණ ‍ෙකාමිසමට පැවැරී ඇත. කොමිසමේ සාමාජිකයකු වන මහාචාර්ය හූල් මැතිවරණය කල් තැබීමේ උත්සාහයක නිරතව සිටිය ද‍ කොමිසමේ පොදු මතය එය නො වන බව පෙනී යයි.

ස්වාධීන රාජ්‍යයක පාලන තන්ත්‍රය කෙරෙහි බලපෑම් කරන ආකාර කිහිපයක් තිබේ. ඇතැම් විට බලවත් රටවල් හා ජගත් සංවිධාන එම බලපෑම කරයි. තවත් විටෙක රාජ්‍ය නො වන සංවිධාන විවිධාකාරයෙන් බලපෑම් කරයි. මේ අතර නීතියෙන් රාජ්‍ය තන්ත්‍රයේ වැඩ කටයුතු අවුල් කළ හැකි යැයි උපකල්පනය කරන පිරිසක් ද සිටිති. මැතිවරණය හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම යන සංසිද්ධීන් නීතිය හමුවේ අභියෝගයට ලක්වන්නේ ඉහත කී සංවිධානවල සාමුහිකත්වයෙන් බව පෙනී යන සත්‍යයෙකි. සංවිධාන පක්ෂ හා පුද්ගලයන් ඉදිරිපත් කළ අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් ජනතා පරමාධිපත්‍යය නොසලකා හරින ලද ඒවා ලෙස සැලැකිය හැකි ය. එහෙත් අවසන් ලෙස ජනතාවට ජයග්‍රහණය ලැබී තිබේ.

ලැබෙන නිල හා නොනිල ආරංචිවලින් හැඟවෙන්නේ මහ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකස් වී ඇති බව ය. මැතිවරණ කොමිසම ඡන්දය පැවැත්වීමට සූදානම් බව ද එම ආරංචිවලින් සනාථ වෙයි. කොමිසමේ සභාපතිවරයා ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් පෙන්වා දුන්නේ මැතිවරණ කල්දැමීමේ කිසිදු අවශ්‍යතාවක් කොමිසමට නැති බව ය. එලෙස ම ඡන්දය පැවැත්වීමට රුපියල් කෝටි හත්සියයක පමණ මුදලක් අවශ්‍ය බවත්; මූල්‍ය ගැටලු නැති බවත් සභාපතිවරයා පැහැදිලි කළේය. මහ මැතිවරණයෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිත බව ද එය පැවැත්විය යුත්තේ කොවිඩ්-19 වයිරසයට මුහුණ දෙමින් බවද සභාපතිවරයා අවධාරණය කරයි.

වසංගතයක් නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක්කිරීමට ඉඩ දිය යුතු නැතැ’යි මහින්ද දේශප්‍රිය මහතා වරක් කියා සිටි බව මහජනයාට මතක ය. මහින්ද දේශප්‍රිය මහතා පමණක් නො ව; රටේ බොහෝ දෙනා එම මතය දරති. ප්‍රජාතන්ත්‍රවාදය නාමමාත්‍රික වශයෙන් පැවැතීමෙන් ඵලක් නැත. එය රාජ්‍ය-තන්ත්‍රය තුළත්; රාජ්‍ය තන්ත්‍රය තෝරා පත්කරගන්නා ක්‍රමවේදය තුළත් පැවැතිය යුතු ය. දේශපාලන විශාරදයකු වූ ජෝන් ලොක් වරක් කියා සිටියේ නීත්‍යානුකූල ආණ්ඩු මහජන කැමැත්ත මත රඳා පැවැතිය යුතු බව ය. මහජනයාගේ අප්‍රසාදයට ලක්වන ආණ්ඩු හෝ පාර්ලිමේන්තු හෝ පවත්වා ගැනීම නීත්‍යානුකූල නොවන බව එහි යටි අදහස ය.

බලය පිළිබඳ තරගයේ දී ආණ්ඩුව හා විපක්ෂය දෙපැත්තක ගමන් කරන බව කවුරුත් දනිති. පොදු අත්දැකීමට අනුව ආණ්ඩුවක් හැමවිට ම උත්සාහ දරන්නේ මැතිවරණ කල් තබමින් තම බලය තහවුරු කරගැනීමට යැයි කිව හැකිය. විපක්ෂය හැමවිට ම උත්සාහ දරන්නේ මැතිවරණ පවත්වා බලය අල්ලා ගැනීමට යැයි කිව හැකි ය. මේ පොදු තත්ත්වය අද වනවිට වෙනස් වී ඇත. විපක්ෂය මැතිවරණ කල්තැබීමට උපාය මාර්ග සොයන අතර ආණ්ඩු පක්ෂය මැතිවරණ පැවැත්වීමට උත්සුක වෙයි. මැතිවරණ කල්තැබීමෙන් රටට සිදුවන යහපතක් නැත. එයින් සිදුවන්නේ රාජ්‍ය පාලනය අවුල්වී රටේ ඉදිරි ගමන අඩපණ වීම ය.

ලෝක වසංගත තත්ත්වයක් යටතේ වුව රට අගාධයට යා නොදී පවත්වා ගැනීමට හා අභියෝග ජයගැනීමට ජනාධිපතිවරයා ක්‍රියා කර ඇත. එය විපක්ෂයේ මධ්‍යස්ථ මතධාරීහු පවා ප්‍රසිද්ධියේ පිළිගනිති. එහෙත් ඉදිරියේදී රට මුහුණ දෙන ආර්ථික අභියෝගය බලවත් ය. එම බලවත් අභියෝගය ජයගැනීම සඳහා ශක්තිමත් ආණ්ඩුවක් පැවැතිය යුතු ය. ජනතා අභිලාසයන් දෙස බලන විට පෙනී යන්නේ අලුත් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට ඔවුන්ගේ කැමැත්ත පළ වන බව ය. දැන් සිදුවිය යුත්තේ ජනතාවගේ අභිමතය දැන ගැනීම සඳහා මැතිවරණය වහාම පැවැත්වීම ය.

නව අදහස දක්වන්න