කුමන්ත්‍රණ ඉවර නැත! | දිනමිණ


 

කුමන්ත්‍රණ ඉවර නැත!

විමසුම් ඇසකින් රටේ සිදුවීම් දෙස බලන්න! බොහෝ දේ වටහාගත හැකි වනු ඇත. බහු ජාතික සමාගම් රටේ ආර්ථිකයේ එක් පැත්තක් හසුරවයි. මහජනයාගේ පරිභෝජන රටා වෙනස් කරයි. බලවත් රටවල් හා ජගත් සංවිධාන ‍රටේ දේශපාලනයට ඇඟිලි ගසයි; ජාතියේ ස්වාධීනත්වය, නිදහස හා උරුමය පාගා දමා උන්ගේ මොඩලය මෙහි ස්ථාපනය කිරීමට සැරසෙයි. පහළොස් වන සියවසේ සිටම බලවත් රටවල් සිදු කළේ ආසියාවේ, අප්‍රිකාවේ හා ලතින් අමෙරිකාවේ දිළිඳු රටවල් සූරාකෑමය. දහනව වන සියවසේදී නාමමාත්‍රික නිදහසක් ලබාදුන්න ද සූරාකෑම හා බලපෑම අලුත් ප්‍රවේශයකින් පටන්ගෙන තිබේ.

ඉහත පූර්විකාව ලියා තබන්න හේතුසාධක වූයේ අගමැතිවරයා මෑතකදී කළ කතාවකි. ඔහු පෙන්වා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ නායකත්වයට පත් වී ඇතත්, දේශීය හා විදේශීය වශයෙන් අටවන දේශපාලන කුමන්ත්‍රණවල අඩුවක් සිදු වී නැති බවය. දේශීයත්වයට මුල්තැන දෙන ආණ්ඩු සේම නායකයන් ද පරාජයට පත් කිරීම සඳහා බලවත් රටවල් හා ජගත් සංවිධාන වහා උනන්දු වන බව මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය. මෙය ආධාර කපාහැරීම වැනි ආර්ථික ක්‍රියාවලි පමණක් නොව; මතවාදීමය වශයෙන් ද සිදු කරනු ලබන බලපෑමක් සේ හැඳින්විය හැකිය.

2015 යහපාලන ආණ්ඩුව බිහි වන්නේ බටහිරයන්ගේ මැදිහත් වීම මත බව බොහෝ දෙනා දනිති. එය අසාර්ථක වී පාර්ලිමේන්තුව තුළ අවුල්සහගත තත්ත්වයක් ගොඩනැඟුණු විට තානාපති නිලධාරීහු යහපාලන නියෝජිතයන්ට උපදේශන ලබාදුන්හ; යහපාලනයට ශක්තියක් වෙමින් ආණ්ඩුව යළි තහවුරු කිරීමට සහ‍යෝගය දැක්වූහ. එහි අර්ථය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම නොව, බටහිරට ගැළපෙන නම්‍යශීලී පාලක පැළැන්තියක් අතට රටේ බලය අත්කර දීමය. යහපාලන ආණ්ඩු සමය තුළ බටහිර බලවතුන්ගේ ඕනෑ එපාකම් අකුරටම ඉටු කිරීමට පාලකයෝ වගබලා ගත්හ. හිටපු ජනාධිපතිවරයාට පවා එම චෝදනාවෙන් නිදහස් විය නොහැකිය.

මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනා මාලාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමට යහපාලන රජය එකඟ විය. ඒ අනුව ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් ගණනාවකට යුද අපරාධ චෝදනා එල්ල විය. සමහරු වැඩ තහනමකට ලක් වූහ. සමහරු අත්අඩංගුවට පත් වූහ. බුද්ධි අංශ දුර්වල කොට, අන්තර්ජාතික පොලීසියට යවා තිබූ කොටි ත්‍රස්තයන්ගේ නම් ලැයිස්තුව ඉල්ලා අස් කරගැනීමටද යහපාලන ආණ්ඩුව සමත් විය. මෙයින් සිදු වූ විනාශය බරපතළ වෙයි. ඉන්ටර්පෝල් නම් ලැයිස්තුවෙහි පාතාල නායකයන්ගේ නම් ද ඇතුළත්ව තිබූ බවත් ඔවුන්ගේ නම් ද ඉන්ටර්පෝල් ලැයිස්තුවෙන් ඉවත් වී ඇති බවත් පසුව වාර්තා විය.

ලෝකයේ කිසිදු රාජ්‍යයක් ස්වකීය ආරක්ෂක හමුදා පාවා දෙන්නේ නැත. ඉරාකය ආක්‍රමණය කළ අමෙරිකා හා බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන්ට බරපතළ යුද අපරාධ චෝදනා එල්ල වී තිබුණ ද එම රටවල නායකයෝ තම හමුදා නිලධාරීන් ආරක්ෂා කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළහ. ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට යුද අපරාධ චෝදනා එල්ල වී ඇත්තේ රටක් ආක්‍රමණය කිරීම නිසා නොවේ. රටක භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට සටන්වැදී ත්‍රස්තවාදය හා බෙදුම්වාදය පරාජය කළ නිසාය. මානව හිමිකම් කොමිසම හමුවේ මේ තත්ත්වය පැහැදිලි කිරීමට හැකියාවක් යහපාලන ආණ්ඩුවට තිබුණේ නැත. මානව හිමිකම් කොමිසම යෝජනා කළ සියල්ල යහපාලන නියෝජිතයෝ භාරගත්හ.

රට ඉදිරියේ ඇති දේශපාලන අභියෝගය තවම හරිහැටි ජය ගෙන නැත. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රාජ්‍ය නායකත්වය හා ඉදිරි ගමන වළක්වන බලපෑම් හා බාධාකිරීම් දිගටම සිදු වෙයි. ජනාධිපතිවරයා මිලිටරි නායකයකු ලෙස හුවාදැක්වීමේ කුමන්ත්‍රණයක් පවතී. එය ජනාධිපතිවරණයට පෙර සිටම ඔහු වෙත ආරෝපණය කරන ලද්දකි. ජනාධිපතිවරණයෙන් පසු තානාපති නිලධාරිනිය අතුරුදන් වීම ඒ කුමන්ත්‍රණයේ තවත් සන්ධිස්ථානයකි. එහි ඇත්ත කතාව පසුව හෙළිදරවු වූවද සිද්ධිය ලෝකය පුරා ප්‍රචාරය වූයේ ශ්‍රී ලංකා රාජ්‍ය තන්ත්‍රයට අහිතකර ලෙසය. කුමන්ත්‍රණකරුවන්ගේ ඉලක්කය ද එය වන්නට ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ මේ සියල්ල ජනතාව හොඳින් වටහාගත යුතු බවයි. ප්‍රධාන දේශපාලන කරුණු දෙස බලන ලෙස ද සිල්ලර සිදුවීම් ඉවත දමන ලෙස ද අගමැතිවරයා ඉල්ලා සිටී. මේ වන විට රටේ ප්‍රධාන අභියෝගය වන්නේ කොවිඩ්-19 වසංගතයෙන් පසු රටේ ආර්ථිකය ගොඩනැඟීමය. එය ඉතා විධිමත් සැලැසුමක් යටතේ ඉදිරියට ගෙන යෑමට ජනාධිපතිවරයා සමත් වී ඇත. කොරෝනා වසංගතය මර්දනය සඳහා ලෝකයේ ආදර්ශවත් වැඩසටහනක් ගෙන ගිය රටක් හැටියට ශ්‍රී ලංකාව හඳුන්වනු ලැබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා එය සඳහන් කර තිබේ. රාජ්‍ය නායකයාගේ මේ සාර්ථකත්වය කරුණා අම්මාන්ගේ දේශපාලන ප්‍රකාශය උපුටා දක්වමින් පරාජය කළ නොහැකිය.

රටේ ජාතිකවාදී සංකල්ප, මතවාද හා වැඩසටහන් පරාජය කිරීමේ වුවමනාව විදේශීය බලවතුන්ට පමණක් නොව; ඔවුන්ගේ දේශීය ඒජන්තවරුන්ටද බලවත් ලෙස පවතී. ඒ අනුව ජනාධිපතිවරයා මෙන්ම ඔහුගේ ප්‍රතිපත්ති ද දිගට හරහට විවේචනය කරනු ලැබේ. ඇතැම්විට හාස්‍යයට ලක් කරනු ලැබේ. ජනතාව සිහිබුද්ධියෙන් සිදුවීම් විග්‍රහ කරගත යුත්තේ ඒ නිසාය. අපේ රටේ අනාගතය රැඳී ඇත්තේ දේශීයත්වය පිළිගන්නා නිවැරැදි නායකත්වයක් මත බව පොදු ජනයා වටහාගත යුතුය. අගමැතිවරයාගේ කතාවේ හරයද එයම වෙයි.

නව අදහස දක්වන්න