සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් නව විධායක නිලධාරි ප්‍රියන්ත විජේසේකර | දිනමිණ

සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් නව විධායක නිලධාරි ප්‍රියන්ත විජේසේකර

සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී ආයතනයේ නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස ප්‍රියන්ත විජේසේකර මහතා පසුගියදා වැඩ බාර ගත්තේය. මින් පෙර ඒ මහතා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ලීසිං අංශයේ විධායක උප සභාපති තනතුර හෙබවූ අතර, සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ආයතනයේ 2013 වසරේ පටන් ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළේ නලින් විජේකෝන් මහතාය.

බැංකුකරණ සහ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ වසර 20කට අධික කාලයක් පුරා නියැළී සිටින විජේසේකර මහතා, ලීසිං, ෆැක්ටරිං, රක්ෂණ, එකතු කිරීම්, ප්‍රතිසාධන සහ නඩු කටයුතු ආදී පුළුල් පරාසයක විහිදුණු අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන වෘත්තිකයෙකි. වෘත්තියෙන් නීතිඥවරයකු සහ සොලිසිටර්වරයකු වන ඒ මහතා, වාණිජ බේරුම් කිරීම් සහ නැව් නීතිය සම්බන්ධ හසළ දැනුමකින් යුතු වෙයි. මර්චන්ට් බැංකු සමූහය සමඟ සම්බන්ධ වෙමින් බැංකුකරණ සහ මූල්‍ය ක්ෂේත්‍රයට පා තබන විජේසේකර මහතා පසුව සිටි නැෂනල් ඉන්වෙස්ට්මන්ට් බැංකුවේ ප්‍රධාන නීති සහ අනුකුලතා නිලධාරී ලෙස එම බැංකුවේ සේවයට එක් වෙයි. 2001 වසරේ දී ඒ මහතා මර්චන්ට් ලීසිං ආයතනයේ නීති සහ මානව සම්පත් අංශයේ ප්‍රධානි ලෙස සේවයට එක් වන අතර, එහිදී සිදු වන ඒකාබද්ධවීම් සහ අත්කර ගැනීම් මාලාවක් හේතුවෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේත්, ජෝන් කීල්ස් සමූහයේත් කොටසක් බවට පත් වූයේය. ආයතනික මෙහෙයුම් කටයුතුවලට අමතරව විජේසේකර මහතා ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රජා සත්කාරක පදනමේ ද ප්‍රමුඛ පාර්ශ්වයක් බවට පත් වෙමින් අභ්‍යන්තර සහ බාහිර පාර්ශ්වකරුවන් වෙනුවෙන් ඒඩ්ස් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ආදී දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් මෙන්ම සමාජයේ දෘශ්‍ය අවශ්‍යතා සහිත පිරිස් වෙනුවෙන් නොමිලේ ජංගම අක්ෂි සායන ක්‍රියාත්මක කිරීමට ද සමත් වූයේය. ශාන්ත තෝමස් විද්‍යාලයේ දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩකයකු ද වන විජේසේකර මහතා වරෙක ශ්‍රී ලංකා ජාතික බැඩ්මින්ටන් ශූරයා වෙමින් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීමේ භාග්‍යය ද හිමි කර ගත්තේය.

 

නව අදහස දක්වන්න