වැරැදිකාරයා සේරු ඇල්ල ද? | දිනමිණ


 

වැරැදිකාරයා සේරු ඇල්ල ද?

අපේ තරුණ පරම්පරාවෙන් බාගයකට පමණ පිස්සුය. තවත් බාගයක් පමණ මෝඩය. මෙවැනි සාහසික කියමනක් ලියා තැබීම ගැන පාඨකයෝ කමත්වා! රිවස්ටන් පෙදෙසේ සේරු ඇල්ලට බිලි වූ තරුණ මනාලයාගේ සිද්ධිය ගැන බලන විට ඊට වැඩි යමක් අපට කිව නොහැකිය. ඉහත මරණය සිදු වී ඇත්තේ අතිශය මෝඩ ලෙස හැසිරීම නිසා බව අපගේ නිගමනය වෙයි. සරණ මංගල්‍යය අත ළඟ තිබියදී ප්‍රී-ෂූට් එකකට හෙවත් පෙර ඡායාරූප ගැනීමකට ගිය තරුණ මනමාලයා ඇල්ලේ වළට වැටී මියගොස් තිබේ. ‘ඡායාරූප ගැනීමට වෙන තැනක් තිබුණේම නැතිදැ’යි විමසන්නට අපට සිත් වේ. එහෙත් ප්‍රශ්න කිරීමෙන් පලක් නැත. දැන් සියල්ල සිදු වී හමාරය.

සරණ මංගල්‍යය හෙවත් විවාහෝත්සවය තරුණ ජීවිතවල සන්ධිස්ථානයකි. එහි මතක සටහනක් ලෙස ඡායාරූප ඇල්බමයක් සකස් කරගැනීම වරදක් නොවේ. එහෙත් ඡායාරූප ගැනීම ජීවිත අවදානමක් දක්වා ගෙන යා යුතු නැත. එලෙස ජීවිත අවදානමක් ගන්නා අයකු වෙතොත්; නිසැක ලෙසම ඔහුගේ හෝ ඇයගේ හෝ ඔළුව පරීක්ෂා කරගත යුතුය. කුමක් හෝ මානසික රෝගයක් තිබෙන්න පුළුවන. මෙබඳු තරුණ දූදරුවන් ආරක්ෂා කරගැනීමේ වගකීම ඔවුන්ගේ මාපියන් වෙත පැවැරී ඇත. ඉහත සිද්ධියේදී මාපියන් ක්‍රියා කර ඇත්තේ ද අතිශය මෝඩ ලෙසය. මාපියන් ද ප්‍රී-ෂූට් එකට හෙවත් පෙර ඡයාරූප ගැනීමට සහභාගී වී ඇත.

සේරු ඇල්ල යනු ස්වාභාවික සුන්දරත්වයෙන් අනූන එහෙත් අතිශය භයානක දිය ඇල්ලකි. නකල්ස් කඳුවැටියෙන් රූරා හැලෙන දැවැන්ත සැඩ පහරක් ඇල්ලෙන් කඩා හැලෙයි. මුළු පළාතම පින්නෙන් නැහැවී පවතින අතර, අවට ගල්තලා බෙහෙවින් ලිස්සනසුලුය. එම ගල්තලා මත ඇවිද යා යුත්තේ ආරක්ෂාකාරි ලෙසය. පුහුණුවක් නැති අය ඇල්ල ළඟට නොයා සිටීම ඉතා වැදගත්ය. මෙබඳු තත්ත්වයක් තිබියදී පිහිනීමේ හැකියාව පවා නැති කුරුණෑගල මනාලයා ඇල්ලේ ගල් තලාවක සිට දිය ඉසිමින් ඡායාරූපයක් ගැනීමට යෑම අතිශය මෝඩකමකි. පිස්සුවට බෙහෙත් ඇතත් මෝඩකමට බෙහෙත් නැතැ’යි කියමනක් තිබේ. ඉහත සිද්ධිය මේ බව තවදුරටත් තහවුරු කරයි.

මෙහිලා අපගේ අවධානයට යොමු විය යුතු තවත් විශේෂ කරුණක් තිබේ. එනම්; අපේ ජීවිතවල වැදගත් සිදුවීම් කෙසේ පෙළ ගැසිය යුතුදැ’යි තීරණය කිරීම වෙනත් පුද්ගලයන්ට භාරදීම හරිද යන්නය. කුරුණෑගල මනමාලයාගේ ප්‍රී-ෂූට් එක සැලැසුම් කර ඇත්තේ ඡායාරූප ශිල්පියාය. ඔහු වැඩ කරන්නේ මුදලටය. දුර-බැහැර ප්‍රදේශ, අවදානම් සහගත ස්ථාන හා සුන්දර ස්ථාන තෝරාගෙන ඡායාරූප ගැනීමෙන් වැඩි මුදලක් උපයාගත හැකිය. සිද්ධියට සම්බන්ධ ඡායාරූප ශිල්පියා සිදු කර ඇත්තේ ද ඒ ටිකය. මනාලයා ද මනාලිය ද ඔවුන්ගේ වැඩිහිටියන් ද යන සියලු දෙනා ඡායාරූප ශිල්පියා විසින් නටවනු ලැබ ඇතැ’යි කියන්නට පුළුවන.

වර්තමානය වන විට ජීවිතයේ සියලු සිදුවීම්වලට අදාළ වෘත්තීන් බිහි වී ඇත. අවමංගල්‍යයට අවමංගල අධ්‍යක්ෂවරු සිටිති. මංගල්‍යයේ විවිධ අවස්ථාවලට විවිධ අධ්‍යක්ෂවරු සිටිති. පෝරුවේ චාරිත්‍රවලට එක කට්ටියකි. සංගීතයට තව කට්ටියකි. පිළිගැනීමේ ගීතයට තවත් කට්ටියකි. හෝටල්වල මේ සියලු වෘත්තිකයෝ සිටිති. ඔවුන්ට අත්තිකාරම් ගෙවා සරණ මංගල්‍යය සැලැසුම් කළ යුතුය. මංගල්‍යය සිදු වන්නේ මනාල යුවළට අවශ්‍ය පරිදි නොව; ඉහත කී අංශවල කළමනාකරුවන්ට අවශ්‍ය පරිදිය. නැකත් චාරිත්‍ර හැදෙන්නේ ද ඉහත කළමනාකරුවන්ට අවශ්‍ය පරිදිය. මංගල්‍යය යුවළගේය. සල්ලි ඔවුන්ගේ මාපියන්ගේය. එහෙත් උත්සවය පැවැත්වෙන්නේ අධ්‍යක්ෂවරුන්ගේ සැලැසුමට අනුවය. ප්‍රී-ෂූට් යනු ද මේ ක්‍රියාවලියේ එක ජවනිකාවකි.

මීට දසක තුනකට පමණ පෙර ශ්‍රී ලංකාවේ සරණ මංගල්‍යයක් සිදු වූයේ නැකැත්වලට මුල් තැන දෙමිනි. පොරොන්දම් බැලීමේ සිට පෝරුවට නැඟීම තෙක් වූ චාරිත්‍ර-වාරිත්‍ර ගණනාවක් ඊට අයත් විය. විවාහයට පෙර මනාලයාට හා මනාලියට නිදහසේ හැසිරීමට එදා අවසරයක් තිබුණේ නැත. මනාලියගේ අයිතිය මනාලයාට පැවරෙන්නේ විවාහ උත්සවයේ පෝරුවේ චාරිත්‍ර සිදු වන අතරය. එතෙක් මනාලිය සමඟ යා හැක්කේ පන්සලට හෝ දේවස්ථානයට හෝ පමණි. දැන් ඒ ක්‍රමය මුළුමනින්ම වෙනස් වී ඇත. දැන් තරුණ ජෝඩු මධුසමයට පෙර මධුසමයේ අත්දැකීම් බෙදා-හදා ගන්න ද ඉදිරිපත් වෙති. අපේ සංස්කෘතියට අනුව එය මහා විකාරයකි.

සේරු ඇල්ලේ සිද්ධියත් සමඟ තවත් විශේෂ සාධකයක් කෙරෙහි අපගේ අවධානය යොමු විය යුතුව තිබේ. එනම්: දියේ ගිලී මිය යෑමය. ශ්‍රී ලංකාවෙන් වාර්තා වන දියේ ගිලී මිය යෑමේ ප්‍රමාණය අධිකය. වසරේ එක්තරා කාලයකදී ගංගා, දිය ඇලි, වැව්, පොකුණු ආදියට පමණක් නොව; කුඩා ඇළවල්වලට ද වැටී මිනිස්සු මිය යති. මෙලෙස මිය යන පිරිසගෙන් වැඩිදෙනා තරුණ පරම්පරාව නියෝජනය කරති. දිය නෑමට ගොස් ගිලී මිය යෑම ප්‍රකට සිදුවීමක් බවට පත් වී ඇත. අවදානම් සහගත ස්ථානවල දිය නෑම සේම පිහිනීමේ හැකියාවක් නැතිකම ද මීට හේතු-සාධක වෙයි.

ඉහත සිදුවීම් මාලාව හැඳින්විය හැක්කේ ඛේදවාචකයක් හැටියටය. රට-වටා මුහුදක් ද, රට අභ්‍යන්තරයෙහි ගංගා පද්ධතියක් ද ඇති රටක තරුණ තරුණියන්ට පිහිනීමට බැරි ඇයි ද යන්න සොයා බැලිය යුතු වැදගත් කාරණයකි. ‍අනෙක් අතින් තරුණ පරම්පරාව ජීවිතයේ වටිනාකම වටහා නොගෙන පිස්සු නටන්නේ මන්ද යන්න සොයා බැලිය යුතු තවත් කාරණයකි. තරුණ කාලය යනු අවදානම භාරගන්නා, විසේ ඇති කාලයක් බව සැබෑවකි. එහෙත් අවදානම භාරගත යුත්තේ තේරුමක් ඇතිවය. අර්ථයක් නැති සියල්ල ජීවිතයෙන් බැහැර කළ යුතු පාඩම අපේ තරුණ පරම්පරාවට නොවළහා වටහා දිය යුතුය. එහි වගකීම භාරගන්නෝ කවරහු ද?

නව අදහස දක්වන්න