ව්‍යාපාරිකයාටත් යුතුකම් තිබේ! | දිනමිණ


 

ව්‍යාපාරිකයාටත් යුතුකම් තිබේ!

දේශීය කර්මාන්ත, ව්‍යාපාර හා සමාගම් යළි නඟා සිටුවීම සඳහා රජය යෝජනා කළ වැඩසටහන ඊයේ සිට ක්‍රියාත්මකය. මෙය සැලැකිය හැක්කේ වසංගතයෙන් පසු ආර්ථිකය නැංවීමට ගත් හොඳම පියවර ලෙසය. ව්‍යාපාර කර්මාන්ත හා සමාගම් යනු රටක ආර්ථිකයේ කොඳු නාරටියයි. ‍එම පද්ධතිය දුර්වල නම්, ආර්ථිකය ප්‍රසාරණය වන්නේ නැත. කොරෝනා වසංගත තත්ත්වය යටතේ සමස්ත ලෝකයේම ව්‍යාපාර, කර්මාන්ත හා සමාගම් අර්බුදයට ලක් වී ඇත. අර්බුදයෙන් ගොඩයෑමේ අභියෝගය එකිනෙක රටවල රාජ්‍ය තන්ත්‍රය භාරගත යුතුව තිබේ.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර හා කර්මාන්ත ගතහොත් වසංගතය නිසා ගැටලු සමූහයකට මුහුණ දී ඇත්තේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරයන්ය. මේවායින් බොහොමයක් බැංකු ණය මත පවත්වාගෙන යනු ලැබේ. ඒ අනුව ව්‍යාපාරය හෝ කර්මාන්තය හෝ ලාභ ලැබුවද නොලැබුවද ණය හා පොලී ගෙවිය යුතුය. ඊළඟ අභියෝගය වන්නේ වසංගතයෙන් බිඳ වැටුණු ව්‍යාපාර නැවත නඟා සිටුවීම සඳහා ද බැංකු ණය ලබා ගැනීමට සිදුවීමය. මීට ඇත්තේ විසඳුම් දෙකක් පමණි. පළමු විසඳුම වන්නේ ණය හා පොලී ගෙවීම සඳහා සහනයක් ලබා දීමය. දෙවන විසඳුම වන්නේ සහන පොලී මත අලුත් ණයක් ලබා ගැනීමට අවස්ථාව ලබා දීමය.

මහ බැංකුව හා රාජ්‍ය බැංකු පද්ධතිය අදියර කිහිපයක් යටතේ ව්‍යාපාරික සහන ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර තිබේ. වසංගත තත්ත්වය යටතේ නව මූල්‍ය ප්‍රතිපත්ති හා වැඩසටහන් ක්‍රියාවට නැංවිය යුතු බව ආර්ථික විශේෂඥයන්ගේ මතය වෙයි. මහ බැංකුව මෙන්ම රාජ්‍ය වාණිජ බැංකු ද කාලයක සිට ව්‍යාපාරිකයන් සඳහා භාවිත කර ඇත්තේ තද නීති රීති යැයි කිව හැකිය. එහෙත් සමස්ත ආර්ථිකය බිඳ වැටුණු අවස්ථාවක තවදුරටත් තද රීති සම්ප්‍රදායක හිරවී සිටීම සුදුසු නැත. මෙබඳු අවස්ථාවක ලිහිල්කරණයක් හා සහන පැකේජයක් ව්‍යාපාරිකයන් සඳහා හඳුන්වාදිය යුතුය. වාණිජ බැංකු පවතින්නේ ද ව්‍යාපාර හා කර්මාන්තවල මූල්‍ය ගනුදෙනු මතය. ඒ අනුව ව්‍යාපාර හා කර්මාන්ත නඟාසිටුවීමේ වගකීමෙන් කොටසක් බැංකු පද්ධතියට අයත් වේ.

රටක මූල්‍ය ප්‍රතිපත්ති හසුරවන හා ආර්ථික දිශානතිය පෙන්වා දෙන ආයතනය හැටියට මහ බැංකුව සැලැකිය හැකිය. මහ බැංකුවේ ක්‍රියාකාරීත්වය ජාතික ආර්ථිකය කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරයි. අපේ මහ බැංකුව කාලයක් තිස්සේ ක්‍රියාත්මක වී ඇත්තේ සාම්ප්‍රදායික විලාසයකටය. මූල්‍ය ප්‍රතිපත්ති හැසිරවීමේදී මහ බැංකුව කාලීන අවශ්‍යතා ඉටු කර නැතැයි චෝදනාවක්ද තිබේ. ජනාධිපතිවරයා මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා පියවර ගෙන තිබේ. එය සාධනීය ලක්ෂණයකි. ජනාධිපතිවරයා වරක් මහ බැංකු නිලධාරීන් ඉදිරියේ කියා සිටියේ හෙට වන විට ඔබලාගේ වැඩසටහන් මා වෙත භාරදිය යුතු බවය. මහ බැංකුව එතැන් සිට වෙනස් වී ඇතැයි කියන්නට පුළුවන.

රටේ සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම ජනාධිපතිවරයාගේ සෘජු අවධානය යොමු වී ඇත. නිදසුනක් ලෙස උපකාරක පන්ති ක්ෂේත්‍රය ගත හැකිය. ගෝඨාභය රාජපක්ෂ මහතා සමස්ත ලංකා දේශකවරුන්ගේ සංගමය සමඟ පෙරේදා සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී උපකාරක පන්ති යළි ආරම්භ කිරීම පිළිබඳ වැදගත් තීන්දු ගණනාවක් ගෙන තිබේ. උපකාරක පන්තිවලින් අය කර ගනු ලබන බදු පවා වෙනසකට ලක් කළ යුතු බව මෙහිදී පිළිගෙන තිබේ. උපකාරක පන්ති හෙවත් ටියුෂන් පන්ති රටේ අධ්‍යාපනයේ තීරණාත්මක සාධකයක් වන්නා සේම ව්‍යාපාර ක්ෂේත්‍රයේ ද තීරණාත්මක සාධකයකි. ඒ ඔස්සේ විශාල පිරිසකගේ ජීවනෝපාය සම්පූර්ණ වී ඇත. මේ ක්ෂේත්‍රයේ බිඳවැටීමකට ඉඩ තැබීම සුදුසු නොවේ.

ලෝක ආර්ථික පර්යේෂණ  ආයතන පෙන්වා දෙන අන්දමට දෙවන ලෝක යුද්ධයෙන් පසු දරුණුම ආර්ථික කඩාවැටීම වාර්තා වන්නේ කොරෝනා වසංගත තත්ත්වය යටතේය. මේ වසංගතයට වඩා බරපතළ පීඩනයකට ආර්ථික කඩාවැටීම හේතුවක් වනු ඇත. මේ වන විටත් දසලක්ෂ ගණනකට රැකියා අහිමි වී ඇත. ලෝකයේ බලවත්ම රාජ්‍යය වන අමෙරිකාවටද ආර්ථික පීඩනය තදින් දැනෙන්න පටන්ගෙන තිබේ. රැකියා අහිමි වන විට ජනතා සහන සලසන්න සිදු වේ. ඒ සඳහා රාජ්‍යයන්වලට මුදල් යෙදවීමට සිදු වන්නේ රාජ්‍ය ආදායම පිරිහෙමින් පවතින අවස්ථාවකය. අනාගත ලෝක ආර්ථික චිත්‍රය සුන්දර නැත. එය බුද්ධිමත් ලෙස විග්‍රහ කරගැනීම රාජ්‍ය නායකයන් මුහුණ දෙන බරපතළ ගැටලුවකි.

ඉතා දුරදක්නා ඥානයකින් ක්‍රියා නොකළ හොත් බරපතළ ඛේදවාචකයකට මුහුණ දෙන්න සිදුවීම අනිවාර්ය වෙයි. කොරෝනා වසංගතයට වඩා ආර්ථික අර්බුදය බලපෑම්කාරී වන බව තේරුම් ගැනීම කාලෝචිතය. ජනාධිපතිවරයා මේ අර්බුද දෙකටම මුහුණදීම සඳහා පෙ‍ර සූදානමක් ඇති කර ගත්තේය. කොරෝනා වසංගතය වැළැක්වීම සඳහා කාර්ය සාධක කමිටුවක් හා කාර්ය සාධක බළකායක් ඇති කළ ජනාධිපතිවරයා ආර්ථික පුනර්ජීවනය සඳහාද එවැනි කමිටුවක් ඇති කළේය; ආර්ථික විශේෂඥයන්ගේ සහයෝගය ඊට ලබා ගත්තේය. කො‍රෝනා වසංගතයට සාර්ථකව මුහුණ දුන් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට කීර්ති නාමයක් ලැබී ඇත. ආර්ථික පුනර්ජීවනය සම්බන්ධයෙන් ද එම කීර්තිනාමය ලබාගැනීමට ක්‍රියා කළ යුතුය.

ඊයේ සිට ලැබෙන ණය සහන, බදු සහන හා වෙනත් පහසුකම් නිසි ලෙස භාවිත කිරීමත් ඒ ඔස්සේ රටේ ආර්ථික ප්‍රසාරණයට දායක වීමත් ව්‍යාපාරික ප්‍රජාවගේ යුතුකම වෙයි. සහන මත ලබා ගන්නා ණය ආපසු ගෙවීමේ වගකීම ව්‍යාපාරික ප්‍රජාව වෙත පැවරෙයි. ලැබෙන බදු සහන ද වෙනත් පහසුකම් ද ව්‍යාපාරවල ව්‍යාප්තිය හා දියුණුව සඳහාම යොදාගත යුතුය. රජය සිය වගකීම් ඉටු කරන අතර පුරවැසියා තම යුතුකම් ඉටු කළ යුතුය. අර්බුදයෙන් ගොඩ යා හැකි එකම මාර්ගය එයයි.

නව අදහස දක්වන්න