උතුරේ ජනතාවට බුද්ධිය පහළ වේවා! | දිනමිණ


 

උතුරේ ජනතාවට බුද්ධිය පහළ වේවා!

අගමැති මහින්ද රාජපක්ෂ මහතා දෙමළ මාධ්‍යවේදීන් සමඟ කළ සාකච්ඡාව ර‍ටේ දේශපාලනය හා සංවර්ධනය පිළිබඳ නව ප්‍රවේශයක් සේ හඳුනාගත හැකි ය. රටේ උතුරු පළාතට හා නැ‍ඟෙනහිර පළාතට සිදු වී ඇත්තේ කුමක් ද? එහි ජනතාව මේ සම්බන්ධයෙන් සිහි නුවණින් ක්‍රියා කරන්නේ ද? යන ප්‍රධාන ගැටලු දෙක මෙහිදී මතු වෙයි. දේශපාලන ඉතිහාසය ගත හොත් උතුරට හා නැ‍‍ඟෙනහිරට මධ්‍යම රජය කුඩම්මාගේ සැලකිලි දක්වා ඇතැ’යි චෝදනාවක් පවතී. ඇත්ත කතාව මතු කරගන්නා විට එය සත්‍යයක් බව පෙනී යයි. උතුරේ සන්නද්ධ කැරැල්ල ඇති වන්නේ ද අසල්වැසි ඉන්දියාව ඊට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වන්නේ ද ඉහත කී නොසලකා හැරීම නිසාය.

අතීතය ගත හොත් ඉන්දියාව අපේ ගුවන් සීමාවට කඩාවැදුණේ ද, උතුරට පරිප්පු හෙළුවේ ද, පළාත් සභා ක්‍රමය හඳුන්වා දීමට බලපෑම් කළේ ද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයකය. 1977 සිට 1994 තෙක් ම උතුර හා නැ‍ඟෙනහිර පැවැතියේ මධ්‍යම රජයේ නොසැලකිල්ල යටතේය. මෙය ත්‍රස්තවාදයට, අන්තවාදයට හා රට බෙදා වෙන් කිරීමට උත්තේජකයක් ලෙස පැවැතිණි. බටහිර බලවත් රටවල් බෙදුම්වාදයට සහයෝගය දක්වන තැනකට තල්ලු වූයේ ද එවකට පැවැති රජයන් අනුගමනය කළ වැරැදි ප්‍රතිපත්ති නිසාය. එහෙත් අපේ දේශපාලන නායකයන්ගෙන් වැඩිදෙනා එය නිවැරැදිව වටහා ගත්තේ නැත.

මහින්ද රාජපක්ෂ පාලනය බෙදුම්වාදය හා ත්‍රස්තවාදය පරාජය කොට එහි දෙවන පියවර ලෙස උතුර හා නැ‍ඟෙනහිර සංවර්ධනය කරන්න පටන් ගත්තේ ය. ‘නැ‍ඟෙනහිර නවෝදය’ හා ‘උතුරේ වසන්තය’ යනු මෑතකාලයේ උතුරට හා නැ‍ඟෙනහිරට සංවර්ධනය ගෙන ගිය ප්‍රධාන වැඩසටහන් දෙක වෙයි. විනාශ වූ මහාමාර්ග සියල්ල පිළිසකර විය. දුම්රිය මාර්ග නැවත ඉදි විය. රජයේ ගොඩනැඟිලි හා රෝහල් නවීකරණය විය. සංචාරක කර්මාන්තය හා ධීවර කර්මාන්තය පියවර ගණනාවකින් ඉදිරියට ගියේය. අධ්‍යාපනය යථා තත්ත්වයට පත් විය. කෘෂිකර්මය ප්‍රාණවත් විය. මේ පළාත් දෙකෙහි ජනතාවගේ ඉල්ලීම වූයේ දකුණට සේම අපටත් සලකන්න යන්නය. මහින්ද රාජපක්ෂ පාලනය එය ඉටු කළේය.

ඉහත සඳහන් සාකච්ඡාවේදී අගමැතිවරයා පෙන්වා දුන්නේ උතුරට හා නැ‍ඟෙනහිරට දුන් සංවර්ධනය යහපාලන ආණ්ඩු සමය තුළ අක්‍රීය වූ බවය. සාමය, සහජීවනය හා තවත් දේවල් ගැන ඉතා ඉහළ සංවාදයක් යහපාලන ආණ්ඩු සමය තුළ පැවැතිය ද ආර්ථික හෝ සමාජීය සංවර්ධනය සඳහා සිදු කළ අලුත් දෙයක් නැත. මහින්ද රාජපක්ෂ මහතා කියා සිටින්නේ එදා ජනමාධ්‍ය පවා උතුර හා නැ‍ඟෙනහිර ගැන ප්‍රශ්න කිරීමකින් වැළකී සිටි බවය. ජනමාධ්‍යයේ වගකීම වන්නේ ජනතාව වෙනුවෙන් පෙනී සිටීම ය. හඬක් නැති ප්‍රජාවට හඬක් ලබාදීම ය. එහෙත් උතුර හා නැ‍ඟෙනහිර සම්බන්ධයෙන් සලකා බලන විට ජනමාධ්‍යයේ වගකීම ද ඉටු වී නැත.

මහින්ද රාජපක්ෂ මහතාගේ වචනවලින් කිව හොත් දකුණට ලැබෙන සංවර්ධන ප්‍රතිපාදනවලට සමාන ලෙස උතුරට හා නැ‍ඟෙනහිරට ද සංවර්ධන ප්‍රතිපාදන වෙන් කළ යුතුය. අලුත් වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය. විශේෂයෙන් එම පළාත් දෙකෙහි ජනතාවට ඇහුම්කන් දිය යුතුය. යහපාලන ආණ්ඩු සමය තුළ එබඳු ඇහුම්කන් දීමක් සිදු වී නැත. මෙහි දේශපාලන ගැටලුවක් ද පවතී. උතුරේ දෙමළ ජනතාව නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය පැවැතියේ යහපාලන ආණ්ඩුවේ කොටසක් හැටියටය. ආණ්ඩුව දේශපාලන වශයෙන් දුර්වල වන සෑම අවස්ථාවක ම දෙමළ ජාතික සන්ධානය ඊට පණදීමට ඉදිරිපත් විය. එහෙත් දෙමළ ජාතික සන්ධානය පවා යහපාලන ආණ්ඩුවෙන් ලබා ගත් දෙයක් නැත. මෙය දෙමළ ජනතාවගේ අවධානයට ලක් විය යුතු කාරණයෙකි.

උතුරේ ජනතාව ගිය ජනාධිපතිවරණයේදී මෙන් ම ඊට පෙර ජනාධිපතිවරණයේදී ද ක්‍රියා කර ඇත්තේ මහින්ද රාජපක්ෂ ප්‍රතිපත්තිවලට හා ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිපත්තිවලට එරෙහිව ය. ජනතාව කෘතගුණ සැලැකීමට ඉදිරිපත් නොවන්නේ මන්ද යනු සංකීර්ණ ගැටලුවකි. ඇතැම් විට එය දෙමළ ජාතික සන්ධානයේ බලපෑම මත සිදු වන්නට පුළුවන. ජනතාව දේශපාලන යථාර්ථයන් හඳුනා නොගැනීම නිසා ද එසේ වන්නට පුළුවන. 2014 දී උතුරේ ජනතාව හොඳට රැවටුණු බව 2019 වන විට තේරුම්ගත යුතුව තිබිණි. ගෙවී ගිය වසර පහකට ආසන්න කාලය තුළ උතුරට ලැබුණු අලුත් දෙයක් නැත. එහෙත් 2019 දී ද දේශපාලනයේ වෙනසක් කිරීමට උතුරේ ජනතාව ඉදිරිපත් වූයේ නැත. දේශපාලන වැටහීම පිළිබඳ ගැටලුවක් උතුරට තිබේ.

කලකට පෙර යාපනය පැවැතියේ රටේ හොඳම අධ්‍යාපන කේන්ද්‍රය ලෙසය. යාපනයේ පුස්තකාලය දකුණු ආසියාවේ හොඳ ම පුස්තකාලයක් ලෙස පැවැතිණි. එය උතුරේ ජනතාවගේ හදවත ලෙස ඇතැම්හු හැඳින්වූහ. ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේ එකී හදවත ගිනිබත් විය; යාපනයේ අධ්‍යාපනය කඩාවැටිණි. එහි යමක්-කමක් ඇති අය තම දූ-දරුවන් විදේශ අධ්‍යාපනයට යොමු කළහ. පුස්තකාලය විනාශ වීම නිසා ද, අධ්‍යාපනය කඩාවැටීම නිසා ද උතුරේ ජනතාවගේ බුද්ධිය මුවහත් නැතැ’යි සමහරු කියති. එය ඇත්තක් වුව නැත්තක් වුව ගෙවී ගිය කාලය තුළ එහි ජනතාවගේ දේශපාලන තේරීම් බුද්ධිමත් නැත.

උතුර හා නැ‍ඟෙනහිර සංවර්ධනයට අදාළ හොඳ ම හා ප්‍රායෝගික වැඩසටහන් දෙක ලෙස ‘උතුරු වසන්තය’ හා ‘නැ‍ඟෙනහිර නවෝදය’ හැඳින්විය හැකිය. එය නැවත ක්‍රියාත්මක කිරීමේ අදහස වත්මන් රාජ්‍ය නායකයාට තිබේ. මේ වැඩසටහන්වල කැපී පෙනෙන ලක්ෂණය වන්නේ දකුණට මෙන්ම උතුරට හා නැ‍ඟෙනහිරට ද සමාන සංවර්ධන අවස්ථා ලබාදීමය. සමාන අවස්ථා හා සමාන ප්‍රතිපාදන වැදගත් සංකල්පයකි. සංවර්ධනය ජනතාව අතර බෙදී යා යුත්තේ ප්‍රාදේශීය වාදයකින් තොරව ය. දැන් මේ සඳහා ජනතාවට අවස්ථාවක් උදා වී ඇත. ජනතාව බුද්ධිමත් නම්; ඉතා ඉක්මනින් ඔවුන් වෙත සැනසිල්ල උදා වනු ඇත.

 

නව අදහස දක්වන්න