MCC සමාලෝචන කමිටු වාර්තාව ගැන අදහස් වෙන වෙනම කියන්න | දිනමිණ

MCC සමාලෝචන කමිටු වාර්තාව ගැන අදහස් වෙන වෙනම කියන්න

ජනපති ඇමැතිවරුන්ට කියයි

MCC (මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්) ගිවිසුම පිළිබඳ කමිටුවේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් ඇමැතිවරුන් තමන් දරණ අදහස් වෙන් වෙන්ව ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයි ජනාධිපති ගෝඨාශය රාජපක්ෂ මහතා ඇමැතිවරුන්ට දැනුම් දී ඇත. මේ පිළිබඳ සම්පූර්ණයෙන්ම අධ්‍යයනයක් කළ යුතු බවද ඉන් අනතුරුව ඇමැතිවරුන් දරන අදහස් ලබන කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කෙරෙනු ඇති බවත් තොරතුරු සහ ජනමාධ්‍ය, උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (2) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවැසීය.

කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව මේ පිළිාබඳ පසුගියදා සිය අවසන් වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ අතර එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (1) අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ද ඇමැතිවරයා කීය.

එම සම්පූර්ණ වාර්තාවේ ඇතුළත් නිර්දේශ පිළිබඳ අමාත්‍ය මණ්ඩලයේ සියලුම සාමාජිකයන්ගේ අදහස් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල හමුවේ දී තීරණය වූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි, රටේ ස්වාධීනත්වයට තර්ජනයක් වන, ආර්ථිකයට තර්ජන එල්ලවන මොනම ගිවිසුමකටවත් අස්සන් නොකිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව සඳහන් කළ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, තවදුරටත් ප්‍රකාශ කළේ, වත්මන් රජය සෑම රාජ්‍යයකටම පොදු විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.

බුද්ධිකා ඉඹුලාන, සිතාරා සේනානි

නව අදහස දක්වන්න