ජනපතිත් අගමැතිත් වටා රටම එකතු වෙලා | දිනමිණ


 

ජනපතිත් අගමැතිත් වටා රටම එකතු වෙලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂක
හිටපු දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න

ළඟ එන මහ මැතිවරණයට සූදානම, විරුද්ධ පාර්ශ්වවල හැසිරීම, MCC ගිවිසුම ගැන මතු වන විවේචන ආදිය ගැනත් කරුණා අම්මාන්ගේ ප්‍රකාශය හා හිටපු ඇමැතිනී විජයකලා මහේශ්වරන් එල්ල කරන චෝදනා සම්බන්ධයෙනුත්, ජාතික ආර්ථිකය නඟාසිටුවන්න වත්මන් රජයේ වැඩපිළිවෙළ කවරක් ද යන්නත් පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂක, හිටපු දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති ප්‍රියංකර ජයරත්න සමඟ කළ සංවාදය.

*ඔබ මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව ආසනයෙන්. මෙවර මැතිවරණ ව්‍යාපාරයේදී ඔබට තිබෙන ප්‍රධාන අභියෝග මොනව ද?

අභියෝග රැසක් තිබෙනවා. මම සාමකාමි පුද්ගලයකු විදිහට පක්ෂයේ ජයග්‍රහණය සහ මගේ ජයග්‍රහණය සඳහා ඇප කැප වෙනවා.

*සමඟි ජනබලවේගයේ ප්‍රධාන ඉලක්කය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. ඔවුන් ඒ ඉලක්කය පසුපස වේගයෙන් හඹායනවා කියලා පේනවා. ඔබට ඒක අභියෝගයක් නෙවෙයි ද?

මගේ ආසනය හැමදාම ජයග්‍රහණය කළේ වාම දේශපාලනය. නමුත්, සමඟි ජනබලවේගය පිළිබඳ ජනතාවට පැහැදීමක් තියෙනවා කියලා පේන්න නැහැ. ඒ අය කොහොම ගියත්, ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ගෙන යන වැඩපිළිවෙළ වටා සමස්ත රටේ ම ජනතාව ඒකරාශී වෙලා තියෙනවා. ඒ නිසා අපිට සමඟි ජනබලවේගය පහසු අභියෝගයක්.

*මේ දිනවල නැවතත් MCC ගිවිසුම ගැන වේදිකාවේ කතා වෙනවා. ජනපතිවරණයට කලින් ඔබ පක්ෂය මේ ගිවිසුම ගැන බරපතළ විවේචන එල්ල කළා. එම ගිවිසුම මෙවර මැතිවරණයට කවර බලපෑමක් එල්ල කරාවි ද?

MCC ගිවිසුම කියන්නේ එක්සත් ජාතික පක්ෂය පැවැති රජයේ කාටත් හොරෙන් අත්සන් කරපු එකක්. මේ ගිවිසුම ගැන ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු වෙලා තියෙනවා. පසුගිය රජය මේ රටට කොයිතරම් අහිතකර දේවල් කරලා තියෙනවා ද කියලා ජනතාවට දැන් බලා ගන්න පුළුවන්. ඒ වගේ ම තමයි රටට අහිතකර අණ පනත් රාශියක් පැවැති පාර්ලිමේන්තුවේ සම්මත කරන්න කටයුතු කළා. ඒවා අහෝසි කරලා ජනතාවාදී පාලනයක් ඇති කරන්නයි අප ජනතාවගෙන් 2/3ක බලයක් ඉල්ලන්නේ.

*ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය යහපත් වුණත්, එතුමා යටතේ පාර්ලිමේන්තුවට තරග කරන බොහෝ දෙනෙක් දූෂිතයි කියලා චෝදනාවක් එල්ල වෙනවා. ඔබටත් දූෂණ චෝදනා එල්ල වුණා?

මට එල්ල වුණ චෝදනාව තමයි, මැයි දිනේට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් කෑම දුන්නා කියන එක. අනෙක් චෝදනාව තමයි රැකියාවක් සඳහා සභාපතිවරයාට ලියුමක් දුන්නා කියන එක. ඒවා දූෂණ චෝදනා නෙවෙයි. අද පොලිසියේ අය ම කියනවා නඩු දාන්න බලපෑම් කළා කියලා. ඒ නිසා මම දූෂිතයි කියලා කියන්න උත්සාහ කළාට මේ චෝදනා දූෂණ චෝදනා වෙන්නේ නැහැ.

*ලෝකය පුරා පැතිර ගිය කොවිඩ්-19 වසංගතය ශ්‍රී ලංකාවේදී හොඳින් කළමනාකරණය කළා කියලා විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් පවා ලක් රජය පැසසුමට ලක් කළා. නමුත් හිටපු අගමැතිවරයා කියනවා දෙවැනි රැල්ලක් ආවොත් රජයට ඒක පාලනය කරන්න බැහැ කියලා?

රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රට පාලනය කළා නම් මේ වෙනකොට ලක්ෂයකටත් වඩා මිය ගිහින්. මේවා කියන්නේ අපි නෙවෙයි, මහජනතාව. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ගැන කතා කරලා වැඩක් නැහැ. එයා ට්‍රම්ප් වගේ මිනිහෙක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තමන්ගේ කළමනාකරණ හැකියාවෙන් වසංගතය පාලනය කරන්න අවශ්‍ය පියවර ගත්තා. අද වෙනකොට සුව වී පිටව යන පිරිස දිනෙන් දින ඉහළ යනවා. අපේ රට තුළ රෝගය පාලනය කරගන්න හැකියාවක් අපිට තියෙනවා. නමුත්, අපේ ම සහෝදරවරු විදෙස්ගත වෙලා ඉන්නවා. ඒ අය මේ රටට ගෙන්නලා සුව කරන එක තමයි දැන් අපට තියෙන වගකීම.

*ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2/3 බලයක් පාර්ලිමේන්තුවට ඉල්ලනවා. කොරෝනා වසංගතය මේ මැතිවරණයට ආශිර්වාදයක් වුණා ද?

කොහොමටත් එහෙම ආශිර්වාදයක් වෙන්නේ නැහැ. රෝග බියෙන් ජනතාව තළා පෙළා අප දේශපාලනය කරන්නේ නැහැ. රටක් විදිහට මේ ව්‍යසනයේ දී ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ගත්තු තීන්දු තීරණවලට ජනතා ප්‍රසාදය වැඩි වෙලා තියෙනවා.

*වත්මන් ජනපතිවරයා සහ අගමැතිවරයාට යුද්ධය උතුරට රැගෙන ගියා කියලා හිටපු ඇමැතිනී විජයකලා මහේශ්වරන් මහත්මිය චෝදනාවක් එල්ල කළා. ඒ වගේ ම උතුර සංවර්ධනය කිරීම මේ නායකයන් දෙපළට පැවරෙන වගකීමක් කියලත් කියනවා?

විජයකලා මැරිලා ඉපදිලා ද කියන්න මම දන්නේ නැහැ. ඔය විජයකලාගේ මහත්තයා ඝාතනය කළෙත් එල්ටීටීඊ එකෙන්. යුද්ධය ඇති වුණේ ජේ. ආර්. ජයවර්ධන පාලන කාලයේ. විජයකලා කියන්නේ එල්ටීටීඊ එකට හොඳ කියපු කාන්තාවක්. ඒ නිසා ජනතාව මේ අය ගැන තීන්දුවක් ගන්න ඕනෑ.

*කරුණා අම්මාන් කියන්නෙත් එල්ටීටීඊයේ හිටපු ප්‍රබල නායකයෙක්. ඔහුගේ ප්‍රකාශ ඔබ පක්ෂයට ගැටලුවක් නෙවෙයි ද?

ඔහු යම් යම් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයක් කරනවා. වරදක් වෙලා තියෙනවා නම් පක්ෂය වුණත් ඔහු පිළිබඳ තීන්දු තීරණ ගනිවී.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ යහපත් කාරණා තියෙනවා කියලත් කියැවෙනවා. විධායක බලතලවලින් කොටසක් අගමැතිවරයාටත් තියෙනවා. එහෙම තියෙද්දිත් 19වැනි සංශෝධනය ඉවත් කරන්න හදන්නේ ඇයි?

ස්වාධීන කොමිෂන් සභා ගැන මහජනතාවට පැහැදීමක් නැහැ. මැතිවරණ කොමිෂන් සභාව ගත්තාම ඒකෙ ඉන්න එක සාමාජිකයෙක් කරන කියන දෑ දැක්කා ම සාධාරණත්වයක් දකින්න බැහැ. පොලිස් කොමිසමෙත් ගැන සාධාරණත්වයක් දකින්න පුළුවන් ද? 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමහර යෝජනා හොඳ බව අපි පිළිගන්නවා. නමුත් නැවත වරක් මේ ව්‍යවස්ථාව සංශෝධනය විය යුතුයි කියන තැන අප ඉන්නවා.

*පසුගිය පාර්ලිමේන්තුවේදී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වෙනකොට එක මන්ත්‍රීවරයෙක් විතරයි ඊට විරුද්ධව පෙනී හිටියේ?

අපි පක්ෂයක් හැටියට විපක්ෂයේ ඉදිද්දී අත ඉස්සුවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පක්ෂයක් විදිහට ගත්තු තීන්දුවක් අනුව අප එකඟ වුණා. 19 ගෙනාවේ මැතිවරණ ක්‍රමයත් සංශෝධනය කරනවාය කියන පොරොන්දුව මතයි. නමුත් මැතිවරණ ක්‍රමය සංශෝධනය නොකර 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට ලක් කළා. එදා පක්ෂයක් විදිහට විපක්ෂයේ ඉඳගෙන සංශෝධනයට එකඟ වුණා. පක්ෂයේ තීරණයට අපේ හැම මන්ත්‍රීවරයෙක් ම අත ඉස්සුවා.

*රටේ ආර්ථිකය බිඳවැටීම පාලනය කර නැවත නඟා සිටුවන්න වත්මන් පාලනය සෘජු තීන්දු තීරණ ගන්නවාය කියලා කියනවා. නමුත්, විපක්ෂය රාජ්‍ය නායකයාට ජාතික ආර්ථිකය ගැන සෘජු තීන්දු තීරණ ගන්න බැහැ කියලා චෝදනා නඟලත් තියෙනවා?

ජනාධිපතිවරයා තීන්දුවක් ගන්නේ හොඳට හිතලා බලලා. ඒ ගන්න තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්න රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. රාජ්‍ය නිලධාරීන්ගෙන් සැදුම්ලත් උපදේශක මණ්ඩලයක් ඉන්නවා. ආර්ථිකය පිළිබඳ විශේෂඥයන් වත්මන් පාලනයේ ඉන්නවා. ඔවුන් සමඟ සාකච්ඡා කරලා ගන්න තමයි රටේ නායකයා තීන්දු තීරණ ගන්නේ.

*වත්මන් ජනපතිවරයා රාජ්‍ය නිලධාරින්ට වැඩ බැරි නම් යන්න කියලා කියනවා. රාජ්‍ය සේවයේ නිලධාරින් මේ සම්බන්ධයෙන් කනසල්ලෙන් කියලත් සඳහන් වුණා?

අද රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි. ඒක පක්ෂ විපක්ෂ භේදයකින් තොරව කවුරුත් පිළිගන්න ඕනෑ. කවුද මේ රාජ්‍ය සේවය අකාර්යක්ෂම කළේ. ඒක කළේ පසුගිය රජය. ඔවුන් කළේ මොකක් ද රාජපක්ෂවරුන්ගෙන් පළිගන්න රටට හිතැති විදිහට වැඩ කළ රාජ්‍ය සේවකයෝ හැමෝම අල්ලගෙන ඇවිත් හිරේ දැම්මා. ඊට පස්සේ රාජ්‍ය සේවකයෝ වැඩ කරන්න බය වුණා. රාජ්‍ය යාන්ත්‍රණය ම අකාර්යක්ෂම වුණේ ඒ නිසයි. දැන් ජනාධිපතිතුමා අරන් තියෙන තීන්දුව හොඳයි, වැඩ කරන්න බැරි අය ගෙදර යන්න ඕනෑ. මේ සිදුවීමට විශාල ජනතා ප්‍රසාදයක් තියෙනවා.

*ඔබ ශ්‍රීලනිප හිටපු මන්ත්‍රීවරයෙක්. බණ්ඩාරනායක මැතිනියගේ ජනරජ ව්‍යවස්ථාව මේ රටේ ආර්ථික හා සමාජීය පරිවර්තනයක් සිදු කරන්න උත්සාහ කළා. හැබැයි 77 විවෘත ආර්ථිකයත් එක්ක ඒ සියල්ල අහිමි වෙලා යනවා. අද රට තියෙන තත්ත්වය ගැන ඔබේ මතය මොකක් ද?

කොරෝනා අපට හොඳ පාඩමක් ඉගැන්නුවා. මේ රටේ සියලු ම පුරවැසියෝ නිවෙස්වල වගා කරන්න ගත්තා. මමත් ගෙවත්තේ පැළ සිටවන්න පෙලඹුණා. බණ්ඩාරනායක මැතිනියගේ වැඩපිළිවෙළ ඉදිරියට ගියා නම් රට ස්වයංපෝෂිත වෙනවා. නමුත්, ආණ්ඩු පෙරළියත් එක්ක විවෘත ආර්ථිකය ඇවිත් අපේ රට විපතට පත් කළා. මත්කුඩු පවා ආවේ මේ විවෘත ආර්ථිකය නිසයි. අසංවර රටක් වුණේ මේ විවෘත ආර්ථිකයේ බලපෑමෙන්. අද ජනතාව එක තැනකට ඇවිත් තියෙනවා. ඒ නිසා නැවත මේ රට සවිබලගැන්වීමට මාවත විවර වෙමින් තියෙනවා.

*වත්මන් රජය ආනයන සීමා කරන්නේ දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය පණ ගන්වන්න යැයි කියනවා. ඒ ගැන ඔබේ අදහස මොකක් ද?

මම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. ආයුර්වේදයට ඕනෑ කරන, අපිට වගා කළ හැකි හැම දෙයක් ම ඉන්දියාවෙන් ගෙන්වනවා. අපේ රටේ කෘෂිකර්මාන්තය තුළ දේශීය වෛද්‍ය ආයතනවලට අවශ්‍ය හැම දෙයක් ම වගා කරන්න පුළුවන්. අපි කොත්තමල්ලි, ඉඟුරු, කහ වගේ දේවල් හැමදාම ආනයනය කළා. සීමා දැම්මට පස්සේ දේශීය ගොවියාට පුළුවන් මේවා වගා කරන්න. දේශීය ගොවියා ශක්තිමත් කරලා දිරිමත් කරන එක අපේ ආණ්ඩුවේ වගකීමක්. 77ට කලින් අපේ රටේ වාහන පවා හැදුවා. ඒවා නැති කළේ කවුරු ද?

*වත්මන් ජනපතිවරයාට ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය ඇති කිරීමේ දැක්මක් තියෙනවා කියලා ඔබලා කියනවා. එහෙත් මහ මැතිවරණයෙන් පස්සේ එතුමාගෙ කකුලෙන් අදින්න පිරිසක් ලැහැස්ති වුණොත් මොකද වෙන්නේ?

කකුලෙන් අදින්න කාටවත් බැහැ. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඉන්නෙ එකම පක්ෂයක. චන්ද්‍රිකා ජනපතිතුමියගේ ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ කකුලෙන් ඇද්දා. මෛත්‍රී ජනපතිගේ ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ කකුලෙන් ඇද්දා. අපේ ආණ්ඩුවේ එහෙම වෙන්නෙ නැහැ. අද අප සතුටුවෙනවා රාජපක්ෂවරු දෙන්නෙක් මේ රට පාලනය කරනවා. ඒ සහෝදරත්වය රට දිනවන්න කටයුතු කරනවාය කියන විශ්වාසය අපිට තියෙනවා.

*ඔබ ආ ගමන් මඟට අනුව අද තීරණාත්මක අවදියක ඉන්නවා. ඔබේ ඡන්ද දායකයන්ට දෙන පණිවිඩය මොකක් ද?

පසුගිය කාලේ පාර්ලිමේන්තුවේ 225 දෙනා ගැන ම දැඩි අප්‍රසාදයක් ගොඩනැඟුණා. මම 1993දී පළාත් සභාවට ආවා. 2000දී පාර්ලිමේන්තුවට ගියා. ඒ ගියපු ගමනේ දී නියෝජ්‍ය අමාත්‍යවරයෙක්, නියෝජ්‍ය කතානායකවරයා, රාජ්‍ය ඇමැතිවරයෙක්, කැබිනට් අමාත්‍යවරයකු විදිහට කටයුතු කළා. සමහර අවස්ථාවල දී පාර්ලිමේන්තුවේ හැසිරීම් ගැන මම කනගාටු වෙනවා. මෙවර පාර්ලිමේන්තුවට දූෂණයෙන් තොර පිරිසක් එවන්න කියලා හැම පාර්ශ්වයක්ම ඉල්ලනවා. ඒ නිසා මම ජනතාවගෙන් ඉල්ලන්නේ කුමන දේශපාලන පක්ෂය නියෝජනය කළත්, දූෂණයෙන් තොර පිරිසක් පාර්ලිමේන්තුවට එවන්න කියලයි. ඡන්ද දායකයාගේ තේරීම තමයි පාර්ලිමේන්තුවට එන්නේ. ඒ නිසා ජනතාව බුද්ධිමත් තීරණය, නිවැරැදි වෙලාවට ගත යුතුයි. ඒක ජනපතිවරයාගේ ඉදිරි ගමනට රුකුලක් වේවි.

දුමින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න