එංගලන්තයත් කොදෙව්වන්ට සහාය වෙයි | දිනමිණ


 

එංගලන්තයත් කොදෙව්වන්ට සහාය වෙයි

ලබන සතියේ ඇරැඹෙන ටෙස්ට් තරගයේදී වර්ගවාදයට එරෙහිව සටනට සහාය දැක්වීමේ කොදෙව් ක්‍රියාවලියට තමන්ද එක්වන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය කියයි. ඒ එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන්ද තරග බිමේදී සිය කමිසයෙහි ‘Black Lives Matter’ ලාංජනය සහිතව ක්‍රීඩා කිරීමට සූදානම් වෙයි.

එංගලන්ත සහ වෙල්ස් ක්‍රිකට් ආයතනය මේ තීරණය ගෙන ඇති අතර, නිත්‍ය නායක ජෝ රූට්ගේ සහ පළමු තරගයේදී කණ්ඩායම මෙහෙයවන බෙන් ස්ටොක්ස්ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයෝ මේ සඳහා පූර්ණ සහයෝගය දක්වා තිබේ.

“බ්ලැක් ලයිව්ස් මැටර් යන පණිවිඩයට එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය පූර්ණ සහයෝගය දක්වනවා. එය සහයෝගිතාවයේ පණිවිඩයක් බවට පත්ව ඇති අතර, ප්‍රගතිය සහ සමාජ වෙනස සඳහා වූ තල්ලුවක් බවට පත්ව ඇත. සමාජයේ හෝ අපේ ක්‍රීඩාවේ ජාතිවාදයට තැනක් තිබිය නොහැකි අතර එය විසඳීම සඳහා අප තවත් බොහෝ දේ කළ යුතුයි.” මේ පිළිබඳ අදහස් දක්වමින් එංගලන්ත ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ටොම් හැරිසන් මහතා පවසයි.

අපගේ ක්‍රීඩකයන් බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ නැගී සිටිමින් මේ ලාංඡනය පැළඳීම ගැන අපි ආඩම්බර වනවා යැයිද ඔහු කියයි. මින් පෙර කොදෙව් ක්‍රීඩකයන් සිය කමිසයේ කරපටියෙහි ‘Black Lives Matter’ නම් ලාංඡනය සහිතව ක්‍රීඩා කිරීමට තීරණය කර තිබූ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මගින් ඊට අවසර ලබාදී තිබිණි.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් තරග ආරම්භ කරමින් මේ මස 8 වැනිදා සිට පැවැත්වෙන තරග 3කින් සමන්විත තරගාවලියේදී දෙපිලෙම ක්‍රීඩකයෝ මේ ලාංජනය සහිතව ක්‍රීඩා කරනු ඇත.

නව අදහස දක්වන්න