සජිත් පරාජයේ වියරුව අබියස විවිධ මත ප්‍රකාශ කරනවා | දිනමිණ


 

සජිත් පරාජයේ වියරුව අබියස විවිධ මත ප්‍රකාශ කරනවා

හිටපු රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට මේ මැතිවරණයේ දී කියන කිසිම දෙයක් ක්‍රියාත්මක කරන්න බෑ. මොකද ඒවා ක්‍රියාත්මක කරන්න බලය ගන්න අවශ්‍යයි. පරාජයේ වියරුව අභියස විවිධ මත ප්‍රකාශ කරනවා. ඒවා කිසිවක් අද ජනතාව පිළි ගන්නේ නෑ. යැයි හිටපු රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

හිටපු රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ තම පාලනයක් යටතේ මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක් කරන බවට සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ ප්‍රකාශය සහ කොරෝනා කාලයේ දී ලැබුණු විදේශාධාර සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ප්‍රකාශය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීය.

සජිත් ප්‍රේමදාස මහතා 2019 ජනාධිපතිවරණයේ දී කියූ දේවල් දැන් ආපසු කියන්න පටන් ගෙන තිබෙනවා. බලය නොලැබෙන කණ්ඩායමක් බලය ගත්තාම කියන කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු නෑ. අනෙක සජිත් ප්‍රේමදාස මහතාගේ මරණ දඬුවම්වලට බිල්ලට ගියේ කවුද. බිල්ලට ගියේ එල්. ටී. ටී. ඊ. සංවිධානයට එරෙහිව අප රටේ නිදහස වෙනුවෙන් සටන් කළ අය පමණයි. ඒ නිසා සජිත් ප්‍රේමදාස අද අනවබෝධයෙන් සහ පරාජයේ වියරුව අබියස විවිධ මත ප්‍රකාශ කරනවා. ඒවා කිසිවක් අද ජනතාව පිළි ගන්නේ නෑ.

ඒ අයගේ පරාජය තමයි මේ පේන්න තිබෙන්නේ. නැතිනම් මැතිවරණයක් පැරදිලා ඒ මැතිවරණයේ කියූ දේවල් ඊළඟ මැතිවරණයට ඉදිරිපත් වුණාම කියන්න අවශ්‍යතාවක් නෑ. මේ රටේ මහා හොරකම් සිදු කළ අය හිතා ඉන්නවා අනෙක් අයත් රට පාලනය කරද්දී ඒ අය කළ දේවල්ම කරයි කියලා. ඒ නිසා හොරු විසින් ප්‍රශ්න කිරීම සාදාචාරාත්මක නෑ.

මේ කොරෝනාවල දී ලැබුණු ද්‍රව්‍යමය ආධාර සහ තාක්ෂණික ආධාර සියල්ල සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ ආණ්ඩුව යටතේ අගෝස්තු 05 වැනි දායින් පසුව රැස් වන පාර්ලිමේන්තුවේ දී අපි ඉදිරිපත් කරනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතාටවත්, බැඳුම්කරයට සම්බන්ධව ඒ හොරු බේරගන්න ගිය අයටවත් විදේශාධාර සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අයිතියක් නෑ. ඒ ලැබුණු අාධාර සියල්ලම නිවැරැදි ආකාරයට ගිණුම්ගත වී තිබෙනවා.

අමිල ප්‍රභාත් වනසිංහ - අනුරාධපුර අතිරේක

නව අදහස දක්වන්න