පසුබෑමට ලක් වූ මෙරට ආර්ථිකය ගොඩනැඟීමට ජනපතිට හැකියාව තිබෙනවා | දිනමිණ


 

පසුබෑමට ලක් වූ මෙරට ආර්ථිකය ගොඩනැඟීමට ජනපතිට හැකියාව තිබෙනවා

කොළඹ දිස්ත්‍රික් අංක 01 ස්වාධීන කණ්ඩායමේ ලේකම් ශ්‍යාමලී පඬුවාවල

ලොව පුරා ව්‍යාප්ත වී තිබෙන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුබෑමට ලක්ව තිබෙන ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකියාව තිබෙන බව කොළඹ දිස්ත්‍රික් අංක 01 ස්වාධීන කණ්ඩායමේ ලේකම් ශ්‍යාමලී පඬුවාවල මහත්මිය ප්‍රකාශ කළාය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේ ද කීවාය.

ලෝක ආර්ථිකය දරුණු ලෙස කඩා වැටීමකට ලක්ව තිබෙන පසුබිමක ශ්‍රී ලංකාවේ ආර්ථිකය ද යම්කිසි මට්ටමකින් කඩා වැටීමකට ලක්ව තිබෙනවා. කොරෝනා ව්‍යාප්තිය සිදු වූ කාල සීමාවේ දී දේශීය මෙන්ම විදේශීය වශයෙන් ආදායම් ගලා ඒම සම්පූර්ණයෙන්ම නතර වී තිබෙනවා. එසේ නමුත් ආදායම් අහිමි වූ පුද්ගලයන් ලක්ෂ 70කට පමණ සහන ලබා දෙන්නට වත්මන් රජය ක්‍රියා කළා.

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය ඉතාම වැදගත්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම‘ ඉදිරියට ක්‍රියාත්මක කළ හැකි මන්ත්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තුවට තෝරා ගත යුතුයි. රටේ සහ ජනතාවගේ සුභසිද්ධිය උදෙසා සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට මා සූදානම්.

දශක තුනකට ආසන්න කාලයක් මේ රටේ පැවති ත්‍රස්තවාදයෙන් මිදුණු අප යළිත් කිසිදු අවස්ථාවක ත්‍රස්තවාදයට, අන්තවාදයට ඉඩ තැබිය යුතු නෑ. ඇතැම් අන්තවාදී පිරිස් උත්සාහ ගන්නේ කෙසේ හෝ රටේ යළි යුද ගිනි දැල්වීමටයි. එම තත්ත්වය අවබෝධ කර ගනිමින් අවශ්‍ය ක්‍රියාමාර්ග නිසි ලෙස ගැනීම අප සියලු දෙනාගේම වගකීම සහ යුතුකමයි.

බෙදුම්වාදීන්ගෙන්, ත්‍රස්තවාදීන්ගෙන්, අන්තවාදීන්ගෙන් රට ආරක්ෂා කර ගත යුතුයි. දේශප්‍රේමීන් පාර්ලිමේන්තුවට තෝරා පත් කරගෙන නිදහසේ, සාමයෙන්, සතුටින් ජීවත් විය හැකි රටක් බිහිකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දරණ උත්සාහයට පූර්ණ සහාය ලබා දිය යුතුයි. රටට සහ ජනතාවට හිතකර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ නම් වත්මන් රජයට තම කණ්ඩායමේ උපරිම සහාය හිමි වෙනවා. පසුගිය ආණ්ඩුව සමයේ රටට අත් වූ ඉරණම යළි ඇතිවීමට කිසි විටෙකත් ඉඩ තබන්නේ නෑ.

අද වන විට විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදිලා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේ කණ්ඩායම හොඳ සූදානමකින් පසු වෙනවා. සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ නිර්දේශ කර තිබෙන ආකාරයෙන් කොළඹ දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි ප්‍රචාරණ කටයුතු සිදු කරනවා. ස්වාධීන කණ්ඩායමක් වශයෙන් කණ්ඩායම් නායක ජයමිණි ජිනදාස මහතා ඇතුළුව ශක්තිමත් නියෝජිත පිරිසක් මෙවර ඉදිරිපත් වී තිබෙනවා.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න