ජනවරම ඉල්ලන්නේ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමටයි | දිනමිණ


 

ජනවරම ඉල්ලන්නේ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමටයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  කරුණාරත්න පරණවිතාන

සමඟි ජනබලවේගය ජනවරමක් ඉල්ලන්නේ විපක්ෂය නියෝජනය කිරීමට නොව ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා පැවැසී ය.

ඒ මහතා මේ බව පැවැසුවේ කොළොන්න ප්‍රදේශයේ දී පසුගිය දා පැවති ජන හමුවකට එක් වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

ජනතාවට ළෙන්ගතු, පරණ වැරැදි නොකරන, අනාගත යුගයට ගැළපෙන, ජනතා හිතකාමී, ශක්තිමත් රාජ්‍ය පාලනයක් ගෙන යන ආණ්ඩුවක් අපි හදන්න ඕනැ. එයින් පසුව එම ආණ්ඩුවේ නායකයා හැටියට සජිත් ප්‍රේමදාස මහතා පත් කර ගන්න අවශ්‍යයි.

පසුගිය ජනාධිපතිවරණයේ දී අපි පරාජයට පත් වුණා. නමුත් විනාශ වුණේ නෑ. අපිට ලක්ෂ 59ක පමණ ඡන්ද ප්‍රමාණයක් වගේම මහජන කැමැත්තක් තිබෙනවා. දැන් මේ බොරු ආණ්ඩුව ජනතාව තේරුම්ගෙන තිබෙනවා. අපිට ඡන්දය දුන් අය පරාජය වුණාට පොහොට්ටුවට ඡන්දය දුන් මිනිස්සු රැවටුණා. රැවටීම භයානකයි. එ නිසා මේ රැවටුණු ජනතාව අසත්‍යයෙන් මුදවාගෙන සත්‍ය, යථාර්ථය වෙනුවෙන් එකතු කර ගන්න අවශ්‍යයි. මොකද මේ වන විට රට ඉවරයි. ඒකාධිපති වාදය, පවුල් වාදය, මිලිටරි වාදය, ගජමිතුරු වාදය අපට ගැළපෙන්නේ නෑ. ඒ නිසා මේ බොරුවෙන් ජනතා බලය කොල්ලකෑ ආණ්ඩුව බිමට නමන්න ඕනෙ. අපි අපේ අණ්ඩුවක් හදා ගන්න ඕනෙ. ඒකට තමයි අපි මේ පාර්ලිමේන්තු බලය ඉල්ලන්නේ.

දුරාචාර, අපචාර කළ පිරිස් දැන් අපෙන් වෙන් වී ගිහින්. දැන් අපි ශුද්ධ වූ පක්ෂයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ජාතික මට්ටමින් මේ සමඟි ජන බලවේගය ගොඩනඟන්න කියලා මම ඉල්ලා සිටිනවා. දුරකතනය ලකුණ වෙනුවෙන් ඔබේ ඡන්දය ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.

චන්දිමා කරුණාරත්න

නව අදහස දක්වන්න