ජරාජීර්ණ වූ මඩ දේශපාලනයෙන් මිදෙමු | දිනමිණ


 

ජරාජීර්ණ වූ මඩ දේශපාලනයෙන් මිදෙමු

සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු අපේක්ෂක  අසංක ජයවික්‍රම පෙරේරා

ජරා ජීර්ණ වූ මඩ දේශපාලනයෙන් මිදී, සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් නිසියාකාරව පිළිපදිමින් කටයුතු කරන්න කියා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලුම අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින බව සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු අපේක්ෂක අසංක ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවැසුවේ දිනමිණට අදහස් දක්වමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

මැතිවරණ කාලයේ ජනතාව අතරට අපි යෑම අත්‍යාවශ්‍ය කාරණාවක් වුවත් කොවිඩ්-19 වසංගතය නිසා මේ මොහොතේ එය යම් දුරකට අවම කර තිබෙනවා. මොකද සෞඛ්‍ය උපදෙස්වලට ගරු කරන්න ඕන නිසා. අපි මහජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු අපේක්ෂකයන් හැටියට ඒ දෙය මුලින්ම කළ යුතුයි.

ඒ නිසා මට සියලු ඡන්දදායකයන් පෞද්ගලිකව හමුවීමට හැකියාවක් නෑ. නමුත් සෞඛ්‍ය අංශවල මාර්ගෝපදේශනවලට අනුව මම හැකි උපරිමයෙන් ඡන්දදායකයන් වෙත ගොස් දැනුවත් කිරීමේ වැඩසටහන්වල නිරත වෙනවා. මේ කටයුත්ත වරදවා වටහා ගන්න එපා. මට ඔබ සියලු දෙනාම වටිනවා. නමුත් අපි මේ පවතින තත්ත්වයට මුහුණ දෙන්න ඕනෙ. අපේ ජනතාව වගේම රටත් මේ උවදුරින් මුදවා ගන්න ඕනෙ. ඒ සඳහා අපි අපේ සහාය හැකි උපරිමයෙන් ලබා දෙන්න ඕනෙ.

දශක ගණනාවක් පුරා අප සමඟ කාලය ගත කළ සියලු කුරුණෑගල ඡන්දදායකයන්ට මම හදවතින්ම ගරු කරනවා. ඔබ සියලු දෙනා වෙනුවෙන් ඇප කැප වී මගේ පොරොන්දුව ඉටු කරනවා. මා කෙරෙහි විශ්වාසය තබමින් ඉදිරියට යන්න එන්න. අවසාන වශයෙන් මම බුදු දහම ආරක්ෂා කිරීමට මෙන්ම අනෙකුත් ආගම්වලට ගරු කරමින් මේ සියල්ලෙහි උන්නතියට කටයුතු කරන බවට පොරොන්දු වෙනවා.

පසුගිය දිනවල ඇතැම් දේශපාලන වේදිකාවල කියැවුණු දේවල් අපි දැක්කා. නමුත් ආගම දහමට ගරු කරන්නේ නැතිව අපිට අනාගතයක් නෑ කියන දේ අපි සියලු දෙනා මතක තබා ගත යුතුයි. අපේ රට ආගම දහම සමඟ පෝෂණය වූ රටක්. අපේ ජනතාව අතර තිබෙන ආගමික විශ්වාස වගේම සුහදත්වය ඒ අතර කැපී පෙනෙනවා. විදේශිකයන් පවා අපේ රටට මෙතරම් කැමැති ඒකයි. මම පරමාදර්ශී දේශපාලනයක නිරත වෙනවා.

 

 

චන්දිමා කරුණාරත්න

නව අදහස දක්වන්න