සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය (MCC) සමාලෝචනය කිරීමේ කමිටුවේ අවසන් වාර්තාව | දිනමිණ

සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය (MCC) සමාලෝචනය කිරීමේ කමිටුවේ අවසන් වාර්තාව

8. මතවාද සමාලෝචනය

8.10 ඉඩම් ව්‍යාපෘතියට විවේචන එල්ල වුව ද, ප්‍රවාහන ව්‍යාපෘතිය එවැනි විචේචනයන්ට ලක් නොවන්නේ ඒ ව්‍යාපෘතිය වාසිදායක නිසාද?

MCC යෝජනාවලියේ ඉඩම් ව්‍යාපෘතිය මෙන් නොව ප්‍රවාහන ව්‍යාපෘතිය, විශේෂ වශයෙන් බස් සේවා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති කොටස, අවම වශයෙන් අදාළ අමාත්‍යාංශය තුළ හෝ මනාව අධ්‍යයනය වී තිබෙන බව නිරීක්ෂණය වෙයි. එ‍සේම, පොදු ප්‍රවාහන සංවර්ධනයට ගැනෙන එම බස් සේවා ව්‍යාපෘති කොටස මහාමාර්ග සංවර්ධන කොටසටත් වඩා සමාජමය වශයෙන් ප්‍රතිඵලදායක වීමට ඉහළ හැකියාවක් ඇත.

එ‍ෙහත්, රටේ බස් සේවා තුළ ඉතා විශාල මට්ටමේ කාන්තා හිංසනයක් සිදුවන බවක් සඳහන් වීම යථාර්ථය නො වේ. තව ද, එසේ යම් හිංසනයක් සිදු වුව ද, එය දුරු කිරීමට විදේශ ආධාර ව්‍යාපෘතියක් අවශ්‍ය යැයි තීරණය කිරීම හාස්‍යජනකය. තවද, බස් ව්‍යාපෘතිය ප්‍රතිලාභ සහිත වුවත් රටේ සමස්ත බහු-ක්ෂේත්‍රීය අධ්‍යයනයක් තුළින් එම ව්‍යාපෘතියේ ප්‍රමුඛතාව තීරණය වී ඇති බවක් නොපෙනේ. තව ද ව්‍යාපෘති නිමැවුම්වල බුද්ධිමය දේපොළ අයිතිය විදේශීය ආයතනයක් සතු වීමට අවශ්‍ය කොන්දේසි පනවා තිබීම මාර්ග ආරක්ෂණයට හා ප්‍රභූ ආරක්ෂාවට පවා අවදානම්කාරි විය හැකිය.

8.11 පාර්ලිමේන්තුවේ පනතක් ලෙස සරල බහුතරයෙන් සම්මත කිරීමෙන් MCC වැඩසටහන සඳහා අනුමැතියක් ලබා ගැනීම වඩ‍ාත් විනිවිද පෙනෙන, ප්‍රජාතාන්ත්‍රික හා ස්ථාවර ක්‍රමවේදයක් නො වේ ද?

ආයෝජනයන්ට ස්ථාවරත්වය ඇවැසි නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වගන්තියේ ප්‍රතිපාදන ඔස්සේ පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර අනුමැතියෙන් ලබාදිය හැකි ව තිබිණි. එසේ කිරීම වෙනුවට අප රට ආගන්තුක හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද පටහැනි බව පැහැදිලිව පෙනෙන නීති ප්‍රතිපාදන සහිත ගිවිසුමක් පනතක් ලෙස සරල බහුතරයෙන් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට දැරෙන ප්‍රයත්නය මහජනතාව සතු නීති හා ව්‍යවස්ථා සම්පාදනය උදෙසා වන අනුල්ලංඝනිය හා ස්වෛරි අයිතියට අවහිර කිරීමකි. වැලි ගැසීමකි.

9. නිගමන හා නිර්දේශ

9.1 ඉහත සඳහන් තොරතුරු සම්පාදනයන්, නිරීක්ෂණයන් හා ඇගැයීම් තුළින් පහත සඳහන් අන්වේෂණයන්ට හා නිගමනයන්ට එළැඹීමට කමිටුවට හැකි වෙයි.

1. ප්‍රාග්ධනය සම්පත් හිඟ සහ ණය බරින් තෙරපුණු ශ්‍රී ලංකාවේ මූලික ආර්ථික සංරෝධක දුරලීමේ ආයෝජන උදෙසා අවශ්‍ය මූල්‍ය සම්පත් රටේ විදේශ ණය බර වැඩ නොකරමින් සපයා ගැනීමේ හැකියාව MCC ප්‍රදානය තුළ ඇති නමුදු එහි අන්තර්ගත කොන්දේසි යටතේ හා යෝජිත ක්‍රමවේදයන් ඔස්සේ මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් හා අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් රටේ අනාගතයට, ජාතික ආර්ථිකයට හා ස්වෛරිත්වයට විය හැකි විවිධාකාර හා බහු-ක්ෂේත්‍රීය බලපෑම් ශ්‍රී ලංකාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ පාර්ශ්ව විසින් නිසි හා ප්‍රමාණවත් ලෙස අධ්‍යයනය කරනු ලැබ නැත.

ii. 2004 පමණ ඈත දී පළමුව ඉදිරිපත් කර ඇති මෙම MCC ප්‍රදාන යෝජනාව 2005 හා 2006 වසරවලදී නැවත ද ඉදිරිපත් වී ඇති නමුත් ඒ පිළිබඳව එවක පැවැති රජය කිසිදු ඉදිරි පියවරක් ගෙන නැත්තේ ගිවිසුමට අදාළ කොන්දේසි මාලාව තුළ ඇති මෙවැනි ගැටලුකාරී කොන්දේසි නිසා විය හැකි බව කමිටුව අනුමාන කරයි.

iii. MCC සංයුක්ත ගිවිසුමේ (MCC Compact), වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ගිවිසුමේ (PIA) සහ ක්‍රියාත්මක කිරීම් ඒකකය ලෙස යෝජිත MCA – Sri Lanka සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලියේ කෙටුම්පත් (වෙන් වෙන් වශයෙන් නොව) එක්ව විශ්ලේෂණය කිරීමේ දී , ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා රටේ පවත්නා නීති පද්ධතියට පටහැනිව සහ රට තුළ විදේශ සම්පත් කළමනාකරණය කෙරෙන රාජ්‍ය ආයතනික රාමුව මඟ හැරෙන පරිදි යෝජිත MCC සංයුක්තයේ ක්‍රමවේදයන් සැකැසී ඇති බව නිරීක්ෂණය වෙයි.

iv. 2019 ඔක්තෝබර් මස 29 වැනි දින MCC ගිවිසුම් අත්සන් කිරීමේ තීරණය අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබ ඇත්තේ එවැනි කොන්දේසි හා ක්‍රමවේදයන් හි තිබිය හැකි බලපෑම් සම්බන්ධයෙන් ගැඹුරු විමර්ශනයක් සිදු කිරීමකින් තොර ව සහ/ හෝ රජයක් විසින් මෙවන් අවස්ථාවල දී අනුගමනය කළ යුතු වන සැලකිලිමත් බවකින් හෝ පරීක්ෂාකාරී බවකින් තොරවය.

ඒ බව වඩාත් පැහැදිලි වන්නේ මෙහි තිබිය හැකි හානිකර තත්ත්වයන් පිළිබඳව එවක අතිගරු ජනාධිපතිතුමන් විසින් අමාත්‍ය මණ්ඩලය වෙත සහ විදේශ අමාත්‍යාංශය විසින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන් වෙත කර තිබෙන නිරීක්ෂණය හා නිර්දේශ ද නොසලකා හරිමිනි. එ බැවින්, අමෙරිකා එක්සත් ජනපද උපාය මාර්ගික අරමුණු (විශේෂයෙන්, ඉන්දු-පැසිෆික් මූලෝපාය) මත පදනම් වී තිබි හැකි සහ ACSA, SOFA ,US Peace Corps Volunteer Agreement හා Quadrilateral Security Dialog (QSD) වැනි ප්‍රවේශයන්ට අනුපූරක වීමට ඉඩ තිබිය හැකි බව පෙනෙන දැනට කෙටුම්පත් කරනු ලැබ ඇති ගිවිසුම කොන්දේසි යටතේ හා ව්‍යාපෘති යෝජනා සහිතව මෙම MCC ප්‍රදානය ලැබීම උදෙසා ගිවිසුම්ගත වීම නුසුදුසු ය.

v. විශේෂ වශයෙන්,

(අ) MCA-Sri Lanka සමාගම ශ්‍රී ලංකා රජයේ පාලනයෙන් දුරස් කර තැබෙන අයුරින් සහ එය MCC ආයතනයේ උපදෙස් මඟ පෙන්වීම - අනුමැතීන් යටතේ ක්‍රියාත්මක වන අයුරු ප්‍රතිපාදන සකසා ඒ සමාගම තුළින් මෙම ආයෝජන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට කෙරෙන යෝජනාව පිළිගත නොහැක.

(ආ) MCA – Sri Lanka වෙනුවට අප රට තුළ විදේශ සම්පත් කළමනාකරණය. කෙරෙන සාමාන්‍ය රාජ්‍ය ආයතනික ව්‍යුහය මෙම ප්‍රදානය වෙනුවෙන් ද යොදා ගැනීමට MCC ආයතනය එකඟ නොවන්නේ නම් ඒ තුළින් අප රටේ ජාතික අරමුණුවලට අගතිකාරි විය හැකි දේ සිදුවීමේ අවදානමක් පැන නඟී.

(ඇ) තව ද, මෙම ක්‍රමවේදයට ශ්‍රී ලංකාව එකඟවුවහොත් එය පූර්වාදර්ශයක් කර ගනිමින් අප රටට සංවර්ධන ආධාර සපයන චීනය, ජපානය, ඉන්දියාව හා යුරෝපා සංගමය වැනි අනෙකුත් සමීප දායකයන් ද එම ආකෘතිය ඒ අයගේ ප්‍රදානයන්ට අදාළ කර ගැනීමට ඇති ඉඩකඩ බැහැර කළ නොහැකිය. එ බැවින් මෙතුවක් ශ්‍රී ලංකාව විසින් පොදුවේ අනුගමනය කරන ලද විදේශ සම්පත් කළමනාකරණ ක්‍රමවේදයෙන් බැහැර වීමට කිසිදු විදේශ ආධාර යෝජනා ක්‍රමයකට අවසර නොදිය යුතුය.

9.2 ඉහතින් විස්තර කෙරුණු සමස්ත විමර්ශනයන් හි ප්‍රතිඵල අනුව, පහත දැක්වෙන අවසන් නිර්දේශයන් කමිටුව විසින් රජය වෙත ඉදිරිපත් කෙරෙයි.

(i) 2019 ඔක්තෝබර් මස 29 වැනි දින අමාත්‍ය මණ්ඩල තීරණය උදෙසා ඉදිරිපත් කෙරුණු සහ මේ වන විට ගොඩනඟනු ලැබ ඇති රාමුව, කොන්දේසි, ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය හා ආයෝජන ව්‍යාපෘතිවලින් සමන්විත MCC යෝජනාවලි ගිවිසුමට ශ්‍රී ලංකා රජය අත්සන් නොකළ යුතු ය.

(ii) MCC සංයුක්තයකට එළැඹීමට ශ්‍රී ලංකා රජය යම් හෙයකින් සලකා බලතොත්, ඉන් පෙර ශ්‍රී ලංකා රාජ්‍යයෙන් ස්වෛරීත්වය අවදානමෙ හෙළීමට ඉඩ ඇති හා අනාගත සමාජ ආර්ථික දේශපාලන ස්වාධීනත්වයට හා සුබ සිද්ධියට හානිකර විය හැකි සියලු වගන්ති, කොන්දේසි හා ව්‍යාපෘති ද, ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයන් ද, ඉවත් කෙරෙන ලෙස සංයුක්තය හා ඊට අදාළ සියලු ගිවිසුම් කෙටුම්පත් හා ව්‍යාපෘති යෝජනා ද සංශෝධනය කළ යුතුය.

(iii) එ වැනි සංශෝධනයක දී,

(අ) මෙම යෝජනාවලියට අදාළ ප්‍රදාන යොමු කිරීම සඳහා මෙතෙක් අප රට තුළ විධිමත් ව ක්‍රියාත්මක වූ විදේශ ආධාර කළමනාකරණය ක්‍රමවේදය යොදා ගැනෙන පරිදි සහ ඒ වෙනුවෙන් අදාළ ප්‍රදාන අරමුදල් රාජ්‍ය භාණ්ඩාගාරය ඔස්සේ කළමනාකරණය කෙරෙන පරිදි ප්‍රතිපාදන ඇතුළත් කළ යුතු අතර අදාළ ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ දැනටමත් ස්ථාපිත රාජ්‍ය ආයතනික ව්‍යුහයන් තුළින් මෙහෙයවෙන අයුරු කළමනාකරණ හා අධීක්ෂණ ව්‍යුහයන් සැකැසිය යුතුය.

(ආ) වෙනත් රටක බල පැවැත්වෙන නීති සහ / හෝ රෙගුලාසි ශ්‍රී ලංකාව තුළ කුමන ආකාරයකට හෝ බලාත්මක කිරීමකට තුඩු දෙන යන්ත්‍රණයක් කිසිදු අන්තර්ජාතික එකඟතාවක් නිසා ස්ථාපනය නොකළ යුතු ය.

(ඇ) ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හා ජාතික ආර්ථික ස්වයංපෝෂිතත්වයට හානි කර විය හැකි කිසිදු කොන්දේසියක්, වගන්තියක් හෝ ව්‍යාපෘතියක් යෝජනාවලිය තුළ නොති‍ෙබන වග තහවුරු කළ යුතුය.

(ඇ) ආයෝජනයට යෝජිත ව්‍යාපෘති තෝරා ගෙන ඇති පදනම සහ ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ පාර්ශ්වයෙන් අනුගමනය කර ඇති ක්‍රමවේදය අපැහැදිලි ය. එහි දී ජාතික ආර්ථිකමය වශයෙන් ප්‍රමුඛතා අධ්‍යයනයක් සිදු වී ඇති බවක් නිරීක්ෂණය නො වේ. එසේම, එම ව්‍යාපෘති අතර ජාතික හා සමාජ-ආර්ථික වශයෙන් අවදානම් සහගත අංග ද තිබෙන බව පෙනී යයි, එ බැවින්, සමස්ත යෝජනාවලිය හා ව්‍යාපෘති නැවත සැකසිය යුතු ය.

(ඉ) විශේෂයෙන්, මෙහි දී මතභේදයට ලක් වී ඇති සහ ඉඩම් සමුච්චයකරණය , කැබලිකරණය හෝ විදේශකරණය වැනි අවදානම්කාරී ප්‍රතිඵලවලට තුඩු දිය හැකි, ඉඩම් පිළිබඳ වැඩසටහන් අංගය සම්පුර්ණයෙන් ඉවත් කළ යුතු ය.

(ඊ) තව ද, ව්‍යාපෘති වත්කම් පිළිබඳ සියලු දත්ත හා තොරතුරු රජයේ බුද්ධිමය දේපොළක් පමණක් විය යුතු අතර ඒ පිළිබඳ කිසිදු අයිතියක් වෙනත් පාර්ශ්වයකට හිමි නොකිරීමට වග බලා ගත යුතු ය.

(iv) (අ) ඉහත (ii) හා (iii) හි නිර්දේශිත අයුරු ව්‍යාපෘතිය ‍යෝජනාවලට හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයන්ට අදාළ ගිවිසුම් කොන්දේසි සංශෝධනය කළ යුතු බවත්,

(ආ) එසේ සංශෝධනය කිරීමට MCC ආයතනය එකඟ වන්නේ නම්, ඒ සංශෝධනය විධිමත් වෘත්තියමය සහභාගිත්වයකින් යුතු ව සිදු කළ යුතු බවත්, එ සේ සැකැසෙන නව ව්‍යුහය හා ගිවිසුම් කෙටුම්පත මෙන්ම ව්‍යාපෘති යෝජනා ද , පුළුල් හා ගැඹුරු පරදු-දැරීම අධ්‍යයනයකින් පසුව පොදු මහජන සාකච්ඡාවකින් හා පාර්ලිමේන්තුවේ සුදුසු බහුතරයක අනුමැතියකින් යුතුව හැර අන් කිසි අයුරකින් අත්සන් කිරීමක් සහ/හෝ ක්‍රියාත්මක කිරීමක් සිදු නොවිය යුතු බවත්,

(ඇ) එසේ කිරීමට MCC ආයතනය එකඟ නොවන්නේ නම් ගිවිසුම ප්‍රතික්ෂේප කළ යුතු බවත් කමිටුව නිර්දේශ කරයි.

9.3 MCC යෝජනාවලිය සහ එහි ඇතුළත් ගිවිසුම් කෙටුම්පත් සමූහය සම්බන්ධ කිසිදු නිල තොරතුරක් 2019 ඔක්තෝබර් 29 දින එය අත්සන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගන්නා තෙක් පොදු මහජනතාවට පරිශීලනය කිරීමට හෝ අධ්‍යයනය කිරීමට විවෘත, කර නොතිබුණු බවත්, සංයුක්ත ගිවිසුමේ කෙටුම්පත හැර අනෙකුත් කිසිදු ගිවිසුම් කෙටුම්පතක් හෝ ලියවිල්ලක් මේ වන තුරු මහජනතාවට විවෘත කර නොමැති බවත්, කමිටුවේ අවධානයට යොමු වෙයි.

මෙසේ මෙම ගිවිසුම් කෙටුම්පත් මහජනතාවගේ අවධානයෙන් ඈත් කර තැබීම ශ්‍රී ලංකාව අනුගමය කරන ප්‍රජාතාන්ත්‍රික හා විනිවිද පෙනෙන රාජ්‍ය තාන්ත්‍රික අගයයන්ට නොගැළපෙන බවත්, ගිවිසුම් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවන තුරුම එම කෙටුම්පත් ප්‍රසිද්ධ නොකෙරුණේ එම ගිවිසුමේ ප්‍රතිපාදනයන් හි තිබිය හැකි ප්‍රතිවිපාක මහජනතාවගෙන් වසන් කර තැබීමේ අරමුණින් ද යන්න අප්‍රසන්න නමුත් සාධාරණ සැකයක් බවත් කමිටුවේ අදහසයි.

වර්තමාන භූ දේශපාලන-ආර්ථික සන්දර්භය තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල් ජාත්‍යන්තර බල කඳවුරුවල ගොදුරු බවට පත් වන්නේ සහ ඒ රටවල ජනතාව හා අනාගත පරම්පරාවන් අන්තර්ජාතිකව ණය කරුවන් හා වහලුන් බවට පත් කෙරෙන්නේ සෘජු යටත්විජිතකරණය ඔස්සේ නොව ප්‍රධාන වශයෙන් ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික අන්තර්ජාතික ගිවිසුම් හරහාය. එබැවින්, තමන් හා තම අනාගත පරම්පරාවන් වෙනුවෙන් රජයයන් විසින් අත්සන් කෙරෙන ගිවිසුම්වල කොන්දේසි පිළිබඳව පූර්ව වශයෙන් දැනුවත්වීමට ඒ රටවල මහජනතාවට පරම අයිතියක් ඇති බව කමිටුවේ අදහසයි.

එබැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව අනුල්ලංඝනීය වන ජනතා පරමාධිපත්‍යය හා අන්‍යකරණය කළ නොහැකි ජාතික ස්වෛරීත්වය හිමි පොදු මහජනතාවගෙන් මේ වැනි යෝජනා හා කෙටුම්පත් වසන් කර තැබීම නුසුදුසු බව ද, කමිටුව අවධාරණය කරයි. මේ ආකාරයේ වසන් කර තැබීම සඳහා දැනට අවකාශ සපයන 2016 අංක 12 දරන තොරතුරු දන ගැනීමේ පනතෙහි ඇති ප්‍රතිපාදන සුදුසු පරිදි සංශෝධනය කර එකී ඉඩකඩ නිසියාකාරව ඉවත් කළ යුතු බව කමිටුව යෝජනා කරයි‍.

තවද , ජාත්‍යන්තර ගිවිසුම් යෝජනා කෙටුම්පත් කිරීමේ දී, අධ්‍යයනය කිරීමේ දී හා අනුමත කිරීමේ දී ජාතික අරමුණු ඉටු වෙන බව හා රටේ සුබසිද්ධිය පෙරදැරි කෙරෙන බව තහවුරු කළ යුතු බැවින් එම කර්තව්‍යයේ දී අනිවාර්යයෙන් අනුගමනය කළයුතු විධිමත් වෘත්තීයමය හා පූර්ණ විනිවිදභාවයන් සහිත ක්‍රමවේදයක් නීතිගත කළ යුතු බව කමිටුව නිර්දේශ කරයි.

රාජ්‍යයක් අන්තර්ජාතික ගිවිසුමකට පිවිසීම යනු විධායක විෂයයක් පමණක් නොව මහජනතාව සතු අනුල්ලංඝනීය වූ නීති සම්පාදනය කිරීමේ ස්වාධිපත්‍යයට ද බලපෑම් තිබිය හැකි සහ ජාතියේ අනාගත පරපුරට පවා පරදු දැරීමට තුඩු දිය හැකි භාර ධූර කටයුත්තකි. එ බැවින්, ශ්‍රී ලංකා ජනරජය අන්තර්ජාතිකව බැඳීමකට ලක් කෙරෙන්නා වූ ගිවිසුමකට විධායකය විසින් අත්සන් කිරීමට පෙර අවස්ථානුකූලව බැඳීමකට ලක් කෙරෙන්නා වූ ගිවිසුමකට විධායකය විසින් අත්සන් කිරීමට පෙර අවස්ථානුකූලව පාර්ලිමේන්තුවේ ලබාගන්නා වූ සුදුසු බහුතර සම්මුතියකින් යුත් ව්‍යවස්ථාදායක අනුමැතියක් ලබා ගැනීම පූර්ව කොන්දේසියක් කෙරෙන පරිදි නීති හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන සම්මත කර ගැනීමට අත්‍යවශ්‍ය බව කමිටුවේ අවසන් නිර්දේශයයි.

ඇමුණුම්

1.කමිටුවේ නිල කටයුතුවලට අදාළ ලිපි ලේඛන

1A. අංක PMO/CM/64/2019 දරන හා 2019 දෙසැම්බර් 18 දිනැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සහ එයට අදාළ අනුමැතිය

1B. කාර්යභාර විස්තරය

1C. 2020 මාර්තු 29 දිනැති ලිපිය

1D. අවසන් වාර්තා කෙටුම්පත ලබාදීමේ කාලය දීර්ඝ කරන ලද අංක PMO/2/2/2/Rev.MCC හා 2020 අප්‍රියෙල් 17 දිනැති ලිපිය

2. ආරම්භයේ සිට පර්යන්ත යෝජනාව තෙක් MCC ක්‍රියාවලියට අදාළ ලිපි-ලේඛන

2A.අමෙරිකානු තානාපති විසින් එවන ලද 2004 පෙබරවාරි 11 දිනැති ලිපිය

2B. අමෙරිකානු තානාපති කාර්යාලය විසින් එවා ඇති අංක 373 දරන තානාපති සටහන

2C. අමෙරිකානු රජය විසින් එවන ලද 2005 දෙසැම්බර් 08 දිනැති ලිපිය

2D. අමෙරිකානු රජය විසින් එවන ලද 2006 දෙසැම්බර් 07 දිනැති ලිපිය

2E. 2015 දෙසැම්බර් 16 දිනැති MCC පාලක මණ්ඩල තීරණය

2F. අංක PMO/06/03/CM/56/2016 සහ 2016 ජූලි 05 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය

2G. MCC පර්යන්ත වැඩසටහන් කළමනාකරණ අධ්‍යක්ෂක විසින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත එවන ලද 2016 ඔක්තෝබර් 19 දිනැති ලිපිය

3. MCC සංයුක්ත යෝජනාව ගොඩනැඟීමට අදාළ ලිපි-ලේඛන

3A. වැඩසටහන සංයුක්තයක් බවට උසස් කිරීම පිළිබඳ 2016 දෙසැම්බර් 14 දිනැති MCC මාධ්‍ය නිවේදනය

3B. අග්‍රාමාත්‍ය කාර්යාලයේ සම්බන්ධීකරණ කාර්යාලයක් පිහිටුවීම සඳහා වූ 2017 මාර්තු 14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය

3C. PMO/06/03/CM/19/2017 අංක දරන හා 2017 පෙබරවාරි 28 දිනැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව

3D. 2019 අප්‍රියෙල් 25 දිනැති MCC ආයතනයේ කොංග්‍රස් මණ්ඩල දැන්වීම

3E. අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් MCC සංයුක්ත මෙහෙයම් දෙපාර්තමේන්තුවට යවනු ලැබූ 2017 මැයි 09 දිනැති සංකල්පීය සටහන්

3F. අංක MNPEA/2018/152 සහ 2018 සැප්තැම්බර් 17 දිනැති ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශය

3G. අංක MF/ERD/26/CM/2019/106 සහ 2019 මාර්තු 25 දිනැති අමාත්‍ය මණ්ඩල සටහන

4. MCC සංයුක්තය උදෙසා සැකැසී ඇති සංරෝධක ඇගැයීම් වාර්තාව

5. MCC සමඟ දැනටමත් අත්සන් කර ඇති මූලික ගිවිසුම් පිළිබඳ ලිපි ලේඛන

5A. 2017 ජූලි 26 දිනැති ප්‍රදාන හා ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම

5B. 2018 ජූනි 18 දිනැති සංශෝධිත හා යළි ප්‍රකාශිත ප්‍රදාන හා ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම

5C. අංක PMO/NC/09/2018 හා 2018 ජූනි 21 දිනැති අමාත්‍ය මණ්ඩල සටහන

5D. 2019 ඔක්තෝබර් මස 29 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීම් තීරණය

6. MCC සංයුක්ත ගිවිසුම ( Compacat Agreement)

7.වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම

(Program Implementation Agreement, or PIA)

8. MCA-Sri Lanka සමාගම වෙනුවෙන් කෙටුම්පත් කරනු ලැබ ඇති සාංගමික ව්‍යවස්ථාවලිය (Articles of Association)

9. මහජන මත විමසුම තුළින් කරන ලද තොරතුරු සම්පාදන සාරාංශ

9A. සංයුක්තය ගොඩනැගීමට දායක වූ රාජ්‍ය ආයතන/නිලධාරීන් සහ MCC නියෝජිතයන් වෙතින් ලබාගන්නා ලද තොරතුරු සාරාංශය

9B.මහජන මත විමසුමෙන් සම්පාදනය කෙරණු තොරතුරු සාරංශය

10. රාජ්‍ය ආයතන වෙතින් ලැබණු නිල තොරතුරු

10A.විදේශ සබඳතා අමාත්‍යාංශයේ වාර්තාව

10B.ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ වාර්තාව

10C.විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ වාර්තාව

10D.ඉඩම් අමාත්‍යාංශයේ වාර්තාව

10E.ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වාර්තාව

10F. ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වාර්තාව

10G.ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ වාර්තාව

10H. නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසකම් අමාත්‍යාංශයේ වාර්තාව

11. ගරු නීතිපතිතුමන් ගේ මතය හා උපදෙස් පැතූ විමසුම් ලිපි

12.MCC ගිවිසුම පිළිබඳව ජාතික ආර්ථික සභාවේ නිරීක්ෂණ

13.අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකා හා නිරීක්ෂණ

14.MCC ගිවිසුම ද ඇතුළු අමෙරිකානු ගිවිසුම් විමර්ශනය කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාට ලබා දී ඇති වාර්තාව

15. MCC වැඩසටහන්වල ප්‍රතිඵල පිළිබඳ සංසන්දනාත්මක ඇගැයීම්

15A. දැනට අත්සන් කර ඇති MCC වැඩසටහන් පිළිබඳ සංක්ෂිප්ත තොරතුරු

15B. MCC වැඩසටහන්වල ප්‍රතිඵල පිළිබඳ ආර්ථිකමිතික අධ්‍යයනයක්

16. 2003 ඉඩම් හිමිකම් පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය

17. MCC වෙතින් ගරු නීතිපතිවරයා වෙත වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා 2018 සැප්තැම්බර් මස 27 දාතමින් එවන ලද ලිපිය

18.MCC යෝජනාවලිය සම්බන්ධව මහාචාර්ය ඩබ්.ඩී.ලක්ෂ්මන් මහතා විසින් සකසනු ලැබ ඇති විශ්ලේෂණාත්මක ලිපිය (Biznomies; 2020 ජනවාරි)

19. “සහසර” ව්‍යාපෘති අධ්‍යක්ෂ විසින් මහනගර සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාගේ අවධානයට යැවුණු විමර්ශනාත්මක සටහන

උපලේඛන

1.කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තා හා සටහන්

1A. අතිගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලද මූලික සටහන (2020/01/13)

1B. කමිටුවේ ආරම්භක වාර්තාව (2020/02/14)

1C. ගරු අග්‍රාමාත්‍යතුමා වෙත ඉදිරිපත්කරන ලද අතරමැදි සටහන (2020/04/30)

2. අග්‍රාමාත්‍ය කාර්යාලයීය සංයුක්තය ගොඩනැඟීමේ කණ්ඩායම(CDT) විසින් 2017/11/10 දිනැතිව MCC ආයතනය වෙත යවනු ලැබ ඇති MCC සංයුක්ත වැඩසටහන උදෙසා වූ ව්‍යාපෘති යෝජනාව

3. විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් MCC යෝජනාවලිය සම්බන්ධයෙන් පවත්වාගෙන යනු ලැබ ඇති ලිපිගොනු

4. MCC වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම් වාර්තා

5. MCC වැඩසටහන ගොඩනැඟීම සම්බන්ධ අතිරේක ලේඛන හා වාර්තා

6. මහජනතාවගෙන් හා වෘත්තීමය ආයතනවලින් කමිටුව වෙත තැපෑලෙන් හා විද්‍යුත් තැපැල් මාර්ගයෙන් ලැබුණ අදහස්. ලිපි-ලේඛන හා වාර්තා

7. අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් 2019 ජූනි 01 දාතමින් නිකුත් කරනු ලැබ ඇති “ඉන්දු-පැසිෆික් මූලෝපාය”

8. MCC හි ඉඩම් ව්‍යාපෘති සංවර්ධන කණ්ඩායම විසින් ශ්‍රී ලංකා රජයේ නිලධාරීන්ට 2018 සැප්තැම්බර් 25 වැනි දින කර තිබෙන ඉදිරිපත් කිරීම‍

අවසානයි

නව අදහස දක්වන්න