දළදා පෙරහරේ බොදු අබිමන් | දිනමිණ


 

දළදා පෙරහරේ බොදු අබිමන්

ශ්‍රී ලංකාවේ ශ්‍රී විභූතිය ලෝකයට පෙන්වන උත්තුංග අවස්ථාවක් ලෙස ශ්‍රී දළදා මහ පෙරහර සැලකිය හැකිය. මහින්දාගමනය හේතු කොට ගෙන ශ්‍රී ලංකාව තුළ ඇති වූ බෞද්ධාගමික ප්‍රබෝධයෙන් පසුව විශේෂිත පුද පූජා රැසක් මෙරට මුල් බැස ගත්හ. ඒ අනුව දළදා පූජාව, චෛත්‍ය පූජාව, ගිරිභණ්ඩ පූජාව, හා බෝධි පූජාව ආදී විවිධ පුද පූජා ක්‍රම කාලානුරූපිකව ජනප්‍රිය විය.

දාඨා වංශය කෘතියේ අතිපූජනීය දළදා වහන්සේ පිළිබඳව ඓතිහාසික තොරතුරු රැසක් සඳහන් වේ. සාමාන්‍ය සිංහල ජනයාට දළදා වහන්සේගේ ඉතිහාසය පිළිබඳ කරුණු පැහැදිලි කරදීම සඳහා දාඨා වංශය නමැති කෘතිය රචනා කෙරිණ. ඉන්දියාවේ ගුහසීව රාජ්‍ය පාලන සමයෙහි ඇති වූ අරාජිකත්වය හේතු කොටගෙන දන්ත කුමරු හා හේමමාලා කුමරිය විසින් අතිපූජනීය වූ ශ්‍රී දළදා වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩමවන ලදී. එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ බෞද්ධාගමේ පුනරුදය හා බෞද්ධාගමික පුනර්ගමනය ද බුදුදහමේ අනන්‍යතාවයද ප්‍රකාශ වුයේ ශ්‍රී දළදා වහන්සේ ගේ පූජනීයත්වය හේතුවෙනි. අතිපූජනීය ශ්‍රී දළදා වහන්සේ, ජීවමාන බුදුරජාණන් වහන්සේ මෙන් පූජනීයත්වයට පාත්‍රව ලංකාද්වීය තුළ අදටත් විරාජමානව වැඩ සිටිති.

දළදා වහන්සේගේ තේවාව පවත්වන පුද්ගලයා ශ්‍රී ලංකාද්වීපයේ නායකයා හැටියට සැලකිණ. අතීතයේ විවිධ අවධීන්හි දී ඇතැම් පුද්ගලයන් අතිපූජනීය දළදා වහන්සේ තමා භාරයට ගන්නට උත්සාහ කරනු ලැබුවේ ද, මෙරට නායකත්වය බලාපොරෙත්තුවෙනි. එතරම් සුවිශේෂීත්වයක් දළදා වහන්සේ සතුව පවතින්නේ අතීතයේ සිටය.

ඉතිහාසයේ දළදා වහන්සේ පිළිබඳව විස්මයජනක පුරාවෘත්තීන් ද සඳහන් වේ. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ දී සිදු වූ දළදා ප්‍රාතිහාර්යය හේතුකොට ගෙන ‘දළදා වතුර’ නම් වූ කෘතිය රචනා විය.

බෞද්ධයකු වශයෙන් ඕනෑම කෙනෙක් ජීවිතයේ එක් වතාවක් හෝ ඊට වැඩි වතාවක් දළදා වහන්සේ වන්දනා මාන කරයි. ශ්‍රී ලාංකේය මානව ජීවිතය බෞද්ධ උරුමය ට අනුගතව සකස් වීමට දළදා වහන්සේගෙන් ලැබෙන්නේ අපිරිමිත පිටිවහලකි. වර්තමානයේ ද දියවඩන නිලමේවරයා මෙරට පළමු පුරවැසියා ලෙසට සලකනු ලබන්නේ ද අතිපූජනීය දළදා වහන්සේට පුද පූජා හා තේවා පවත්වන ගිහි පුද්ගලයා ද ඔහු වන බැවිනි. වාර්ෂිකව පවත්වන දළදා පෙරහර සිංහල දළදා සංස්කෘතියේ අභිමානවත් බලපරාක්‍රමය පිළිඹිබු කරන අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකි ය. ශ්‍රී ලාංකේය ජනතාව මෙන්ම විදේශිකයන් ද මේ උතුම් පෙරහර මංගල්‍යය නැරඹීමට ඒකරාශී වෙති. පෙරහරේ සංස්කෘතික අංග සඳහා දායකත්වය සපයට පාරම්පරික ශිල්පීන් පිරිසක් සිටින අතර ඔවුන් ජීවත්වන්නේ ද දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙනි. පැරැණි රජවරුන් විසින් ගම් නියම්ගම් දළදා හාමුදුරුවන් වහන්සේ වෙත පූජා කළේ ද, දළදා වහන්සේට තේවාව සිදුකරමින් ජීවත් වන එම පිරිසේ ජීවනෝපාය සරිකර ගැනීම පිණිස ය.

ජාතික නවෝදයේ කේන්ද්‍රස්ථානය වන්නේ ද අතිපූජනීය වූ දළදා මාලිගාව ය. ශ්‍රී දළදා මාලිගාව, සිංහල ජාතියට සහ දේශයට යහපත, ආශිර්වාදය, යහජීවනය ලබා දෙන සුවිශේෂී ස්ථානයක් ලෙස නොමද ගෞරව බහුමානයට පාත්‍ර වේ. මෙරට නිදහස ලැබූ මුල් අවධියේ සිට වර්තමානය දක්වාම දේශපාලන නායකත්වය දළදා පෙරහර නවෝදයේ කොටස් කරුවෝ වන අතර දළදා පෙරහර නිවැරැදිව කිරීමට සූදානම් කරවීමත් දක්නට ලැබේ. දියවඩන නිලමේ ඇතුළු පිරිස ශ්‍රී ලාංකේය ජනාධිපතිවරයාට එය දැනුම්දීම සුවිශේෂී චාරිත්‍රයකි. දළදා තේවාව හා දළදා පෙරහර පිළිබඳ තොරතුරු විමසා බැලීම ජනාධිපතිතුමාගේ ප්‍රධාන කාර්යභාරයක් ද වේ.

ස්වර්ණමාලි චෛත්‍යරාජයාණන් වහන්සේ අබිමුව වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිවුරුම් දීමෙන් අනතුරුව එතුමා විසින් පැවැත්වූ පළමු ප්‍රකාශය බෞද්ධ ජනතාවගේ හදවත් තුළ සදානුස්මරණීයව පවතින බව නොඅනුමාන ය. සිංහල බෞද්ධ ජනතාවගේ ජන්ද ප්‍රමුඛ කොටගෙන ජනාධිපති පදවියට පත් එතුමාගේ අභීත ප්‍රකාශයේ ශ්‍රී ලාංකික දළදා පූජනීයත්වය, හිස මුදුනින් ම පිළිගන්නා බව පැහැදිලි වේ. එබඳු බෞද්ධ රාජ්‍ය නායකයකුගේ නොමද අනුග්‍රහය යටතේ මෙවර දළදා පෙරහර පැවැත්වීම රටටත්, ජනතාවටත් මහා ආශිර්වාදයක් ගෙනදෙන අවස්ථාවක් ලෙස සඳහන් කළ යුතුය.බෞද්ධ නායකයකු වශයෙන් ජනාධිපතිතුමා සිංහල බෞද්ධ සංස්කෘතික අදහස් ක්‍රියාත්මක කිරීමට කැපවී කටයුතු කිරීම යහපත් ප්‍රවණතාවකි. මෙතරම් කාල පරිච්ජේදයක් තුළ සියල්ල පිටරටින් ලැබෙන තෙක් බලා සිටීම වෙනුවට, ශ්‍රී ලාංකික ශ්‍රමය, දැනුම මව්බිමේ දියුණුව සඳහා ම යෙදවිය යුතුය යන චින්තනය එතුමා විසින් දැරීම රටට වාසනාව ගෙනදෙන්නකි.

මහාවංශ මූලාශ්‍රයෙන් පැහැදිලි වන්නේ සිංහල රට තුළ දළදා වහන්සේට හිමි ව තිබූ ගෞරවයත්, අභිමානයත් කෙතරම් ද යන්නය. සිංහල රට පාලනය කළ රජවරුන් දළදා වහන්සේ වෙනුවෙන් දක්වන ලද උනන්දුවත්, දළදා වහන්සේ ආරක්ෂා කරගැනීමට ස්වාමීන් වහන්සේලා ගිහි ජනතාව සමඟ ඇපකැප වී කටයුතු කළ ආකාරයත් ඉතිහාසයෙන් උගත හැකිය. සුදුජාතිකයන් විසින් රචනා කරන ලද ඇතැම් කෘතිවල සිංහල සංස්කෘතිය නොදන්නාකම හේතුකොට ගෙන දළදා වහන්සේ ඇට කැබැල්ලක් ලෙස සඳහන් කළද ඇතැම් සුදු ජාතිකයන් දළදා වහන්සේට ගෞරව දැක්වූ ආකාරයත්, යටත්විජිත සමයෙහි සිටි ඇතැම් ආණ්ඩුකාරවරුන්ගේ නොමඳ ගෞරවයට පාත්‍ර වූ ආකාරයත් මූලාශ්‍රය ග්‍රන්ථවලින් අනාවරණය වී තිබේ.

දළදා වහන්සේ වෙනුවෙන් සිංහල සංස්කෘතිය තුළ වෙනම සාහිත්‍යයක් ද ගොඩනැඟී තිබිණි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙහි වූ සතර දළදා වහන්සේලා වැඩසිටින ස්ථාන පිළිබඳව මෙසේ සඳහන් වේ.

ඒකා දාඨා තිදස පුරේ
ඒකා නාග පුරේ අහු
ඒකා ගන්ධාර විසයෙ
ඒකාස පන සීහළේ

යනුවෙන් එක් දළදා වහන්සේ නමක් දිව්‍ය ලෝකයේ ද, එක් නමක් නාග ලෝකයේද, එක් නමක් ගන්ධාර දේශයේද, තවත් නමක් ‘සීහළ රටේ‘ ද වැඩ සිටින බව සඳහන් වේ. ‘සීහළ රටේ‘ යනුවෙන් සඳහන් කර ඇත්තේ ද ශ්‍රී ලංකාද්වීයට ය. ශ්‍රී ලංකාව යනු දළදා වහන්සේ ය. මෙරට ජනවිඥානයෙන් දළදා වහන්සේ නිරූපණය වන අතර දළදා වහන්සේගෙන් ශ්‍රී ලංකාව වෙන් කළ නොහැකි ය.

දළදා පෙරහර යනු, චාරිත්‍රවාරිත්‍ර සමුදායකින් සමන්විත මහත් සිංහල ප්‍රෞඪත්වයක් පිරුණු අභිමානවත් ඉතිහාසයක් සහිත මහා සංස්කෘතියක් විදහාපාන උතුම් මංගල්‍යයක් ය. එබැවින් ඓතිහාසික වශයෙනුත්, සංස්කෘතික වශයෙනුත්, ජාතික චින්තනනය වෙනුවෙනුත්, දළදා පෙරහර සිංහල දීපය හා බැඳී පවතී. පෙරහර ඉදිරියට ගමන්ගන්නා සේම, සිංහල සංස්කෘතික ප්‍රෞඪත්වයත් ඉදිරියට ගමන් කරන බව මින් පැහැදිලි වේ.

හේමමාලා රන්දුනු

නව අදහස දක්වන්න