විදේශ රැකියා සඳහා ලාංකික ශ්‍රමිකයන්ට නව පුහුණුවක් | දිනමිණ


 

විදේශ රැකියා සඳහා ලාංකික ශ්‍රමිකයන්ට නව පුහුණුවක්

කමල් රත්වත්තේ සභාපති, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

කොරෝනා වසංගතය නිමා කොට රට නැවත පණ ගැන්වීමේ කටයුතු ආරම්භ වී තිබේ. මෙරටට විදේශ විනිමය විශාල වශයෙන් ලබා දෙන විදෙස් රැකියා සඳහා යන පිරිස වැඩි කිරීමේ නව ක්‍රමවේද හඳුන්වා දීමට රජය සැරසෙයි. කොරෝනා වසංගතය හමුවේ මැදපෙරදිග රටවල තෙල් මිලපහළ බැසීම හේතුවෙන් රැකියා අඩපණ වුවද නැවතත් නව ව්‍යාපාර ඇරඹීමට එම රටවල් සූදානම් වේ. එම නිසා අප රටේ ශ්‍රමිකයන් එම රටවලට යැවීමේ දී එම අලුත් රැකියා සඳහා පුරුදු පුහුණු කළ යුතුය. මේ සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ පිළිබඳ අදහස් දැක්වූයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ මහතාය.

"ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන් බොහෝ දෙනෙක් රැකියාව කරන්නේ මැද පෙරදිග රටවල. තෙල් මිල අඩුවීම හේතුවෙන් එම රටවල ආර්ථිකය විශාල වශයෙන් කඩා වැටී තිබෙන අවස්ථාවක තමයි කොරෝනා වසංගතය පැමිණියේ. දැන් එම රටවල ආර්ථිකය ඊටත් වඩා පහළ මට්ටමකට වැටී තිබෙනවා. ඉදිරියේදී කෘෂි කර්මාන්තයට නැඹුරුවන ව්‍යාපාර විශාල වශයෙන් ඒවායේ ඇතිවිය හැකි බැවින් අපි ඒ සඳහා සූදානම් විය යුතුයි.

මැද පෙරදිග රටවල් කෘෂි කර්මාන්තය අතින් සිටින්නේ ඉතා අඩු මට්ටමක. තෙල් මිල බැස තිබීමත් එය නංවා ගැනීමට ඇති නොහැකියාවත් මත එම රටවල් ඉදිරියේ දී වෙනත් ව්‍යාපාර සොයා ගත යුතු වෙනවා. ඒවා රෝස මල්, එළවළු, වෙනත් කෘෂි කාර්මික භෝග වගා විය හැකියි. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය ශ්‍රමික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඔවුන් කොරියාව, ජපානය, ඊශ්‍රායලය වැනි රටවල අස්වනු නෙළන කාලසීමාවට පමණක් ශ්‍රමිකයන් ඉල්ලා සිටිනවා. එවැනි අවස්ථාවන්වල මාස 4ක් හෝ 5ක් වැඩ කොට ආපසු පැමිණිය යුතුයි. ඊළඟ වසරේ දී නැවත ගෙන්වා ගන්නවා.

ඊශ්‍රායලය කෘෂි කර්මාන්තය සඳහා ප්‍රසිද්ධ රටක්. ජෝර්දානය, සයිප්‍රස්, මොරොක්කෝ වැනි රටවල් දැනටමත් කෘෂි කර්මාන්තයට අතගසා තිබෙනවා. මේ රටවලට ද කෘෂි කර්මාන්තය සඳහා ශ්‍රමික ඉල්ලුමක් තිබෙනවා. මෙම ඉල්ලුම ඉදිරියේ දී තුන් ගුණයකින් පමණ වැඩි විය හැකියි.

කර්මාන්ත වැඩි වශයෙන් තිබෙන්නේලෙබනන්, ජෝර්දානය, සයිප්‍රස් යන රටවල. ඇඟලුම් සහ නිෂ්පාදන කර්මාන්ත මේ රටවල කරගෙන යනවා. අනෙක් රටවලත් නිෂ්පාදන කර්මාන්ත බිහිවීමට ඉඩ තිබෙනවා. ඉදිරියේ දී ඩුබායි රාජ්‍යයේ ආර්ථිකය ඉදිරියේ දී නොසිතූ ආකාරයට වෙනස් විය හැකියි. ඔවුන් නිෂ්පාදන සහ කෘෂි ආර්ථිකයට නැඹුරුවීමට ඉඩ තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල ආර්ථික කොරෝනා වසංගතය නිසා කඩා වැටුණාත් චීනය සහ කොරියාව කඩා වැටුණේ නැහැ. සිංගප්පූරුව පවා දැඩි ආර්ථික පරිහානියකට පත්වුණා. ඒ රටවල කර්මාන්ත ඔවුන් විසින් වැඩි දියුණු කරගන්නවා මිස ඒවා පිටට යෑමට ඉඩ හරින්නේ නැහැ. එමැද පෙරදිග රටවලට නම් අලුත් ව්‍යාපාර සොයා ගත යුතු වෙනවා.

ලංකාවේත් මුඛ ආවරණ නිෂ්පාදනය අලුතින් අරඹා අද මිලියන 6ක පමණ මුඛ ආවරණ ප්‍රමාණයක් මසකට පිටරටට යවනවා. ඇඟලුම් ඇණවුම් ලැබෙන තුරු සියලු කර්මාන්ත ශාලාවල මුඛ ආවරණ නිෂ්පාදනය සිදු කෙරෙනවා. අපේ අය පවා විකල්ප නිෂ්පාදන පිළිබඳ සිතීමට පටන් අරගෙන. උදාහරණයක් ලෙස අත් සේදුම්කාරක (hand sanitizer) නිෂ්පාදනය හඳුනාගත හැකියි. සවුදි අරාබිය, ඕමාන්, බහරේන් වැනි රටවල් තෙල්වලින්ම යැපුණු රටවල්. ඉරාකයේත් තෙල් මිල බිංදුවට බැහැලා. පොළොව යට තෙල් තිබුණත් විකුණා ගැනීමට නොහැකි වීම නිසා ඔවුනුත් විකල්ප ව්‍යාපාරවලට නැඹුරු විය හැකියි. නමුත්, ඊජිප්තුව, ඉරාකය කෘෂි කර්මාන්තයෙන් ඉතා දියුණු රටක්. ඊශ්‍රායලයට ද එවැනි ගැටලුවක් නැහැ. මෙම ප්‍රශ්නය වැඩිපුරම බලපාන්නේ මැද පෙරදිග රටවලටයි. සිංගප්පූරුව හැරුණුවිට ආසියාවේ අනෙකුත් රටවල ද ඉඩම් තිබෙන නිසා එම රටවලට ද මෙම අර්බුදය බලපාන්නේ නැහැ.

අපේ ශ්‍රමිකයන් සඳහා ඉල්ලුම වැඩිපුරම තිබෙන්නේ මැද පෙරදිග රටවලට නිසා නව ව්‍යාපාර සඳහා ශ්‍රමිකයන් යැවීම සඳහා පුරුදු පුහුණු කිරීමේ වැඩපිළිවෙළක් අපි ආරම්භ කොට තිබෙනවා. අපට අවශ්‍ය ශ්‍රමිකයන්ට පුහුණුව ලබාගැනීම සඳහා අප වෘත්තීය පුහුණු ආයතනය (Vocational Training Centre) සමඟ පසුගිය දා ගිවිසුමකට එළඹුණා. වඩු කාර්මිකයන්, මේසන්වරුන්, හෙදියන් මීට ඇතුළත්. කොරෝනා වසංගතය හේතුවෙන් ලෝකයේ හෙදියන් සඳහා විශාල ඉල්ලුමක් තිබෙනවා. ඉදිරියේ දී වෛද්‍යවරුන්ටත් මෙවැනිම ඉල්ලුමක් ඇතිවෙන්න පුළුවන්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ රැකියා සඳහා මේ කාලෙදිත් අපට ඉල්ලුමක් තිබෙනවා. එංගලන්තයේ හෙද වෘත්තියට දැනට ලංකාවෙන් 2000ක පමණ පිරිසක් යවා තිබෙනවා. ඕමාන්වල සිට නිවාඩුවට ලංකාවට පැමිණි වෛද්‍යවරුන් පිරිසක් නැවත ඕමාන් රටට යාමට නොහැකිව ඉන්නවා.

මේ වසංගතය නිසා ලංකාවට විවිධ අවස්ථා උදාවෙනවා. ලෝකයේ දැන් වයස්ගත මිනිසුන් සංඛ්‍යාව (Ageing popularity) වැඩිවෙමින් පවතිනවා. මේ නිසා ඔවුන් රැකබලාගන්නා පිරිසකගේ (care givers) ඉල්ලුමත් වැඩිවෙනවා. අපි ජපානයට ඊශ්‍රායලයට, හොංකොං සහ සයිප්‍රස් වැනි රටවලට එවැනි පිරිස් යවනවා. අපි එන වසරේ සිට මේ අංශයේ ප්‍රවර්ධනය ගැන සිතිය යුතු වෙනවා. රුමේනියාවෙන් අපට මෙතෙක් ලැබී නොතිබි ශ්‍රමික ඇණවුම් දැන් තිබෙනවා. රුමේනියාව ලෝකයේ ප්‍රසිද්ධ වුණේ දුම්රිය සෑදීම සඳහා යි. ඒ කර්මාන්තයට පෑස්සුම්කරුවන්, තහඩු නමන අය සඳහා විශාල ඉල්ලුමක් තිබෙනවා.

හංගේරියාවේ විශාල වශයෙන් පලතුරු යුෂ නිෂ්පාදනය කරනවා. 'බෙරි' වෙළෙඳ නාමයත් එම රටේ නිෂ්පාදනයක්. ඇපල්, මිදි සහ දොඩම් විශාල වශයෙන් වගා කරනවා. විශාල වතු සංඛ්‍යාවක් තිබෙනවා. ඒවාට ශ්‍රමිකයන් අවශ්‍යයි. අප ඊට සූදානම්. දැනට අපි කුඩා ප්‍රමාණයෙන් පුහුණුකිරීම් ආරම්භ කළා. ඉදිරියේ දී පුහුණුකිරීම් කටයුතු පුළුල් කරගෙන යාමට බලාපොරොත්තු වෙනවා. අපේ පුහුණු කිරීම් මධ්‍යස්ථාන 18ක් දිස්ත්‍රික්ක 18ක තිබෙනවා. මීට අමතරව වෘත්තීය පුහුණු ආයතනය සමඟ සම්බන්ධ වී පුහුණු කිරීම් කටයුතු දිගටම කරගෙන යාමට බලාපොරොත්තු වෙනවා. ඉදිරීයේ දී සෞඛ්‍ය අමාත්‍යංශය සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමඟ හෙදියන් පුහුණු කිරීම පිළිබඳ සාකච්ඡා කරනවා. පෞද්ගලික රෝහල්වල හෙදියන් පුහුණු කිරීම් තිබුණත් විදෙස් සේවය සඳහා එම පුහුණුව ප්‍රමාණවත් නැහැ.

ඉදිරියේ දී ගෘහ සේවිකා යන නාමය වෙනස් කිරීමට අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් තිබෙනවා. ඔවුනට හෙදියන්ගේ තත්ත්වයට පුහුණුවක් ලබාදීම සම්බන්ධව වැඩපිළිවෙළක් සකසන ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. වැඩිහිටියකු බලාගැනීමට, කෑම පිසීම සහ හදිසි අවස්ථාවක දී ප්‍රථමාධාර ලබාදීම පිළිබඳවත් පුහුණුවක් ලබාදීමට වැඩපිළිවෙළක් සකසනවා. ගෘහ සේවිකා (house maid) කෙනකු නොව නිවාස පාලිකා (house keeper) කෙනකු ඉදිරියේ දී පුහුණු කරනවා. එවිට එම කාන්තාවට එරට දී මෙන්ම මෙරටදීත් යම් පිළිගැනීමක් තිබෙනවා. 2022 වන විට ගෘහ සේවිකාවන් ලෙස රට යැවීම නතර කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. ඒ සඳහා අප මේ දිනවල පුහුණු වැඩසටහන් සකස් කරනවා.

මෙතෙක් අප ගොඩනැඟිලි තැනීම් කටයුතු සඳහා ශ්‍රමිකයන් යවනු ලැබුවේ වැලි හැලීම, සිමෙන්ති ඇනීම වැනි කටයුතු සඳහා යි. නමුත් අප දැන් එය වැඩි දියුණු කොට ගොඩනැඟිලි තැනීම් පිළිබඳව වඩාත් හොඳ පුහුණුවක් ලබා දීමට වැඩසටහන් සකසමින් සිටිනවා. කෘෂී කර්මාන්තය සඳහා ශ්‍රමිකයන්ට පුහුණුව ලබාදීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ ආයතනයට අනුබද්ධ ආයතනයක සහාය ලබා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

තව මාස කිහිපයකින් කොරෝනා තත්ත්වයේ අඩුවීමක් සිදුවන බවට විශ්වාසයක් අපට තිබෙනවා. එක දිගටම ගේට්ටු වසාගෙන සිටීමට බැහැ. අගමැතිතුමාගේ අදහස වුණෙත් ඉක්මනින් ගුවන් තොටුපළ විවෘත කොට කුමක් හෝ ක්‍රම වේදයකට යායුතු බවයි.

පසුගිය දින දකුණු කොරියාවේ සිට නිවාඩුවට පැමිණි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් කොරෝනා තත්ත්වය හේතුවෙන් ආපසු යාමට නොහැකිව සිටියා. අප ඔවුන් මත්තල ගුවන් තොටුපළ හරහා නැවත කොරියාවට පිටත් කර හැරීමට පියවර ගත්තා. එවැනිම තවත් පිරිසක් සිටිනවා, අප ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ කතා කොට ඔවුන් ද නැවත කොරියාවට යැවීමට ඉක්මනින්ම පියවර ගන්නවා.

විදෙස් රටක රැකියාවකට යෑමේ දී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වී රට රැකියා සඳහා පිටත්ව යන ලෙස මම සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ලෝකයේ බොහෝ රටවලට කොරෝනා වසංගතය පැතිර යාමත් සමඟ බොහෝ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දැඩි ලෙස අසරණභාවයට පත්වුණා. ඔවුන්ට එම රටවල රැකියා අහිමි වුණා. ගෘහ සේවිකාවන් නිවෙස්වලින් එළියට ඇද දැමුවා. මෙවැනි අවස්ථාවන්හිදී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වී ගිය අයට පමණයි වන්දි මුදල් හිමි වූයේ. ඒ වගේම මෙරටට ගෙන්වා ගැනීමට අප මූලිකත්වය ගත්තේත් කාර්යාංශයේ ලියාපදිංචි වූ අය පමණයි.

හොර ඒජන්සි මාර්ගයෙන් විදෙස් රැකියා සඳහා පිටත්ව ගිය බොහෝ පිරිසක් එම රටවල අසරණභාවයට පත්වුණා. නමුත්, අපට කරන්න දෙයක් නැහැ. අපටත්, රජයටත් වගකීමක් ගත හැක්කේ කාර්යාංශයේ අනුදැනුම මත යන අය පිළිබඳ පමණයි. කිසිවකුගේ මුදල් තව කෙනකුට දීමට නොහැකියි. එය අසාධාරණයි. මෙම කොරෝනා වසංගත තත්ත්වයේ දී ඇති වූ ගැටලු ආදර්ශයට ගනිමින් ඉදිරියට රට රැකියා සඳහා පිටත්ව යෑමේ දී කාර්යංශයේ ලියාපදිංචි වී ඇති රැකියා ඒජන්සි මාර්ගයෙන් පමණක් විදෙස්ගත වන ලෙස මම දැඩි ලෙස ඉල්ලා සිටිනවා.

විදේශ සේවා නියුක්ති කාර්යංශය මඟින් කෙරෙන රැකියා පුහුණු පාඨමාලා නවීකරණය කොට නිපුණතා සහිත පුද්ගලයන් විදේශ රැකියා සඳහා යොමු කිරීම රජයේ අරමුණයි. විදේශ රැකියා පුහුණු පාඨමාලා සඳහා කොරෝනා වැනි වසංගත තත්ත්වයනට මුහුණ දෙන ආකාරය මෙන්ම ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍ය පුරුදු පිළිබඳත් ඇතුළත් කෙරෙනු ඇත. කොරෝනා වසංගතය හමුවේ විදෙස් රටවල වෙසෙන ශ්‍රමිකයන් මුහුණ දුන් ගැටලුකාරී තත්ත්වයන් මඟහැර ගැනීම සඳහා විදේශ සේවා කාර්යංශයේ අනුමැතිය ලද එහි ලියාපදිංචි රැකියා ඒජන්සි මාර්ගයෙන් විදෙස්ගත වීම ඉතා යෝග්‍ය මෙන්ම ප්‍රඥාගෝචර ද වේ.

 

චතුමී පිටිපන
ඡායාරූපය - රොෂාන් පිටිපන

නව අදහස දක්වන්න